සිංහල භාෂාව නව අරුත් නිෂ්පාදනය කළ නොහැකි තරමට රටේ ශාපලත් පරිසරය තුළ නිර්වින්දනය වී තිබේ. කුසට නොකා, නෙතට නිදි නොලැබ, දූවිල්ලෙන් හා දාහයෙන් පිරීගත් මහ පාරවල්වල පෝලිම් ගැසී සිටින පීඩිත ජන කැලකගේ කැලැතෙන දුක්ඛ දෝමනස්ස වචන බවට පෙරැළිය නොහැකි තරමට භාෂාව අරුත් පිරිහුණු අවතාරමය ශබ්ද ඝෝෂාවක් පමණි. එහෙයින්ම ඒ හඬට සංවේදී වන බවක්ද නොපෙනේ. ප්‍රවෘත්ති හා විශේෂාංග මගින් ද මෙම තීරුව මගින් ද විද්‍යුත් මාධ්‍ය නාළිකා ඔස්සේ ද ජන දුක කෙතරම් ප්‍රබලව ගලා ගියද එය තුනී දුමාරයක්ව පාව යන්නක් බවට පත්ව තිබේ.
පෙරේදා අප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තලය වූයේ “ඩීසල් - ගෑස් හිඟය දිග්ගැසේ, තැනින් තැන දිගු පෝලිම්” යනුවෙනි. “වාහන තදබදයෙන් පාරවලුත් හිරවෙයි” යනුවෙන් අනු සිරස්තලයකි. රටේ සැබෑම තත්ත්වය එම සිරස්තලවලින් මනාව පැහැදිලි වේ. මෙබඳු සිරස්තල පත්තර පිටු පුරා ගලා යෑමට පටන්ගෙන දැන් සෑහෙන කලකි. එහෙත් විසඳුම් පෙනෙන මානයක හෝ නැත. ඒ අතරවාරයේදී ඉන්ධන පෝලිම්වල නිරා දුක් විඳි රටේ පුරවැසියෝ සිවු දෙනෙක් අවසන් ගමන් ගියහ. මේ ශාපලත් පරිසරය තුරන් කිරීමට තව මිනිස් බිලි කීයක් ගත යුතුද යන්න අතරින් පතර අකුරු අතුරුදන් වූ හරස්පද ප්‍රහේළිකාවක් බඳුය.
අපි හේතුඵලවාදය පිළිගන්නා සමාජයක් වෙමු. එසේ නම් රටේ නිමාවී නැති අර්බුදයට හේතු තිබේ. එම හේතු සොයා පිළියම් යෙදිය යුතුය. රට කරවන ඇත්තන්ගේ පරම වගකීම වන්නේ එයයි. සෑම පක්ෂයකම ආර්ථික ‘ඔස්තාර්ලා’ සිටිති. ඒ ඒ පක්ෂ ආණ්ඩු බලය ඉල්ලා සිටිනුයේ එම ආර්ථික ඔස්තාර්ලාගේ විද්‍යාත්මක හා නිවැරැදි ආර්ථික විග්‍රහවලට යටත්වය. එසේනම් මෙම ආර්ථික අර්බුදය කලින් දැකීමේ හැකියාව තිබිය යුතුය. එයට කල් ඇතුව සූදානමින් සිටිය යුතුය. ‘ආණ්ඩුකරණය’ යනු එයය. එහෙත් එවැන්නක් රට තුළ තිබෙන බවක් නොපෙනේ.
“ඉන්ධන මෙන්ම ගෑස් ද ඇති තරම් තිබෙනවා” යැයි ඇමැතිවරු කියති. “ඉන්ධන මිල වැඩි කළාට ජනතාවගෙන් විරෝධයක් නෑ” යනුවෙන් ප්‍රකාශ කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාය. මෙම ප්‍රකාශ දුක් විඳින ලක්ෂ සංඛ්‍යාත සාපිපාසිත ජනයාගේ ළය විනිවිදින කිණිසි තුඩක් බඳුය. පෝලිම්වල දුක් විඳින ජනයා, ගෑස් නොමැතිව බතක් පිස ගැනීමට නොහැකි ජනයා, විදුලිය නොමැතිව හද්ද අමාරුවේ වැටී සිටින ජනයා පවසන්නේ “ටික ටික නොමරා එකවර මරා දමන්න” යනුවෙනි. ඔවුන් විඳින පීඩනය එපමණටම බලවත්ය.
ඉන්ධන පෝලිම් නිසා විශාල වාහන තදබදයක් දිවා රාත්‍රී වෙනසකින් තොරව දක්නට ලැබේ. වෙනදාට පැයක් ගතවන ගමනට දෙතුන් පැයක් ගත කිරීමට සිදුවන තරමට වාහන තදබදය උග්‍ර ය. මේවා බොහෝ අතුරු ප්‍රශ්න නිර්මාණය කිරීමට හේතුවන ඒවාය. වරු ගණන් පෝලිම්වල රැඳී සිට ලබාගන්නා ඉන්ධන එක ගමනකින්ම අහවර වෙන බව රියැදුරෝ කියති. මෙය චක්‍රයකි. මෙය නිවැරැදිව දැකිය යුතුය. සර්ව සම්පූර්ණ විසඳුමක් නිර්මාණය කරගත හැකි වන්නේ ප්‍රශ්නයේ සියලු පැති නිවැරැදිව විග්‍රහ කර ගැනීමෙනි.
ගෑස් මෙන්ම, භූමිතෙල් පෝලිම්වල දක්නට ලැබෙන සුලබ දසුනක් වන්නේ ගැබිනි මවුවරුන් මෙන්ම කිරි දරුවන් වඩාගත් මවුවරුන්ද දුක් විඳින බවය. එය වූ කලී මනුෂ්‍යත්වයේ අසරණකම කියාපාන්නකි. මිනිස් ජීවිතවලට මෙහෙම නිගරු කළ යුතු නැත. ජනතාව විඳින දුක් පීඩා දෙස බලා ක්ෂණික විසඳුම් ලබාදිය යුතු එකොළොස්වැනි පැය එළැඹ තිබේ.
කරුණු කාරණා එපරිදි වුවද අසන්නට දකින්නට ලැබෙන්නේ දේශපාලන ගාලගෝට්ටි ය. මේ මොහොතෙත් අශුද්ධ දේශපාලන බල පොරයක නියැලෙනවා මිස රටේ ජනතාවට තමන් සතුව ඇති විසඳුම් කියා දෙන දේශපාලනඥයකු නොමැති තරම්ය. ජනතාවගේ ප්‍රශ්නවලට වඩා ඔවුන්ගේ දේශපාලන ප්‍රශ්න ඔවුන්ට වැදගත් වී තිබේ. මෙම තත්ත්වය ජන කෝපය අවුළුවාලීමට හේතුවකි. ජනයා අසහනයට පත් කරන්නකි.
මේ මොහොතේ ජනයා අපේක්ෂා කරනුයේ ක්ෂණික විසඳුම් ය. මන්දයත් සෑහෙන කාලයක පටන් විඳවන ජීවිතයෙන් ජනයා හෙම්බත්ව හා ඔත්පළව සිටිති. එක පැත්තකින් ඉන්ධන, ගෑස් හිඟ ය. කීයක් ගෙවා හෝ ඒවා මිලදී ගැනීමට නොහැකි වීමෙන් ද තත්ත්වයේ බරපතළකම පැහැදිලිය. ‘සන්තුෂ්ඨි පරමං ධනං’ යැයි බුදු පියාණෝ වදාළහ. එනම් පරම ධනය සතුට යන්න ය. අද ජනයාට ඒ සතුට අහිමි ය. එපමණක් නොව මෙම පරිසරය තුළ ‘ආරෝග්‍යා පරමා ලාභා’ යැයි වදාළ පරිදි පරම ලාභය වන නීරෝගි බව ද අහිමිව ගොස් තිබේ.
(***)