ශ්‍රී ලංකාවේ මසක ගෑස් ඉල්ලුම මෙට්‍රික් ටොන් 35000 කි. එහෙත් මේ වනවිට මසකට ගෑස් මෙට්‍රික් ටොන් 1000 ක් පමණක් ලැබෙන බව සඳහන්ය. රට පුරා ගෑස් හිඟය ද ගෑස් පෝලිම් ද එහි නියත ප්‍රතිඵලයකි. සාමාන්‍යයෙන් රටේ ගෑස් පෝලිමක ගෑස් සිලින්ඩර ඉල්ලුම 500 ක් පමණ වේ.
එහෙත් සැපයුම ගෑස් සිලින්ඩර 50 කි. මෙම පරිසරය තුළ රටේ පොදු මහජනතාව බලවත් පීඩාවට පත්ව සිටිති. විසඳුමක් පෙනෙන මානයක නොමැතිවීමත් ජනයා අසහනයට පත් කරන්නකි. ඇතැම් තැන්වල ජනයා ප්‍රකෝපකාරීව හැසිරෙනු දැකිය හැකිය. ගෑස් හිඟය තවදුරටත් නොසලකා සිටිය නොහැක.
නගරවල පෙට්ටි කඩයේ සිට මහා පරිමාණ අවන්හල්වල ද තරු පන්තියේ හෝටල්වල ද ගමේ පොල්අතු කඩේ ද ආහාර පිසින්නේ ගෑස් වලිනි. මහල් නිවාසවල සිට ගමේ ගොඩේ පොල්අතු සෙවිලි කළ කුඩා නිවාසවල ද බත ඉදෙන්නේ බොහෝ සෙයින් ගෑස්වලිනි. ගෑස් එපමණටම ජන ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී තිබේ. ගෑස් හිඟය මුළුමහත් සමාජයේම පැවැත්ම සැළුම් වෙවුළුම් කවන්නට සමත්වී තිබෙන්නේ එහෙයිනි.
ඉක්ම යන පැයට අදාළව ප්‍රමුඛතා ලැයිස්තුවක් කඩිනමින් සකස් කළ යුතුය. ගෑස් ඉන්ධන හා විදුලිය සැපයීම ඉන් ප්‍රධානය. කතා සාප්පුවලින් මෙම අර්බුදය ජයගත නොහැකිය. අර්බුදයේ දිග පළල එයට හිමි නිසි බරින් හඳුනාගෙන ක්ෂණිකව විසඳුම් සැපයීම අනිවාර්ය වේ.
තව දවස් දෙක තුනකින් තෙල් ගෑස් හා විදුලිය ප්‍රශ්නය විසඳනවා වැනි කයිවාරුවලින් ප්‍රශ්නය විසඳිය නොහැක. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ දේශපාලන අධිකාරිය ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ අර්බුදයේ ඇත්ත තත්ත්වය හඳුනා ගැනීමෙන් තොරව බවය.
රටකට අර්බුද පැමිණිය හැකිය. එහෙත් ඒවාට විසඳුම් දිය යුතුය. කාලය ප්‍රශ්න විසඳාවි යන්න මේ අර්බුදයට වලංගු නොවන්නකි. මෙම අර්බුදයට කල් ගැනීමම මාරාන්තික වරදකි. පත්තර පිටු පුරාත් විද්‍යුත් නාලිකා ඔස්සේත් ගලායන පීඩිත ජනයාගේ දුක්මුසු ප්‍රකාශ ඔවුන් විඳින වේදනාවේ තරම කියාපාන්නකි. ගෑස් නොමැතිවීමෙන් දූදරුවන්ගේ බඩගින්දර නිවා දැමීම ඉදිරිපිට අසරණව සිටින මවුවරුන්ගේ කඳුළු සිනාවකටත් පියවරුන්ගේ වේදනාව බලාපොරොත්තුවකටත් පරිවර්තනය කළ යුතුය.
බොහෝ නගරවල මෙන්ම ගම්බදද ආපනශාලා, හෝටල් ගෑස් හිඟය නිසා වසා දමා තිබේ. ගෑස් නොමැතිව ආපනශාලා, හෝටල් විවෘත කර තැබීමෙන් ප්‍රයෝජනයක් නැත. එමෙන්ම ආපනශාලා හා හෝටල් ආශ්‍රිතව බඩවියත රැකගන්නා පවුල් සංඛ්‍යාව ලක්ෂ ගණනකි. එමෙන්ම ගෑස් අලෙවිසල් පවත්වාගෙන යමින් ද ගෑස් සිලින්ඩර ප්‍රවාහනය කිරීමෙන් ද යැපෙන පිරිස ද ලක්ෂ ගණනකි. ගෑස් හිඟය නිසා මේ සියල්ලන්ගේම රක්ෂා අහිමිවී තිබේ.
ඔවුහු නිකම්මු බවට පත්ව සිටිති. ඔවුන් ජීවත් වන්නේ කෙසේද? ඔවුන්ගේ දරු පවුල් ජීවත්වන්නේ කෙසේද? යන්න කිසිලෙසකින් හෝ මගහැර යා හැකි ප්‍රශ්න නොවේ. සැබැවින්ම ඔවුහු රටට අමතර ප්‍රශ්නයක් බවට පත්ව සිටිති. අප කළ යුතු වන්නේ එකක් පසුපස එකක් වශයෙන් ප්‍රශ්න නිර්මාණය කර ගැනීම නොව තිබෙන ප්‍රශ්න එකින් එක විසඳීමය.
කොළඹට මෙන්ම නගරවලට රැකියා සඳහා පැමිණෙන පිරිස් හි දිවා ආහාරය බොහෝවිට ආයතනයේ ආපනශාලාවකිනි. නැතහොත් පෙට්ටි කඩයකින් හෝ හෝටලයකිනි. මේ දිනවල එම පිරිස්වල සාතිශය බහුතරයකට දිවා කාලය ගෙවා දැමීමට සිදුවී තිබෙන්නේ කුස ගින්නේය. බත් පැකට්ටුවක් මිලදී ගැනීමට කිලෝමීටර ගණන් ඇවිද ගියද බත් පාර්සලයක් සොයා ගැනීමට නොහැකි වූ මිනිසුන්ගේ දුක්බර ඉරණම පත්තර පිටුවලත් විද්‍යුත් නාලිකාවලත් දිගහැරේ.
ගෑස් හිඟය මුළු රටේම පොදු ප්‍රශ්නයකි. විදුලිය කප්පාදුව නිසා රයිස් කුකර් ආදියෙන් අවශ්‍ය වෙලාවට බතක් ඉදවාගත නොහැක. මාළුවක්, මැල්ලුමක් සකස්කර ගත නොහැකිය. මෙම ප්‍රශ්න මොහොතින් මොහොත අලුත්වන ප්‍රශ්න වේ. මෙම ප්‍රශ්න නිසාම ජනයා අධික ලෙස ආතතියට පත්ව සිටිති. කොරෝනා වසංගතයේ මාරක ස්වරූපය තුරන් වී ගිය පසු මෙවන් කටුක වේදනාබර අත්දැකීම් සහිත දුක්බර ජීවිතයක් කිසිවෙක් අපේක්ෂා නොකළහ. එහෙත් නොවැළැක්විය හැකි ලෙසම ඒ ජීවිතය උරුම වී තිබේ.
දැන් අවශ්‍යවන්නේ කළ යුත්තේ කුමක්ද යන්න නිවැරැදිව විග්‍රහ කර ගැනීමය. ප්‍රශ්නය සරලම අංශුවට කඩා විග්‍රහ කරගත යුතුය. පළමුව විසඳිය යුත්තේ කුමන ප්‍රශ්නයද? යන්න නිවැරැදිව වටහාගත යුතුය. එසේ වටහා ගැනීමකින් තොරව කටයුතු කරන්නේ නම් අර්බුද වගුර කැළඹී බොහෝ අතුරු ප්‍රශ්න නිර්මාණය කරනු ඇත. දැනටමත් එහි අඳුරු සෙවණැලි පතිත වෙමින් තිබෙන බව අවධාරණය විය යුතුය.
(***)