ගී ලොව වියැකී ගිය රන් ටිකිරි සිනාව


මීට ටික කලකට ඉහතදී විශාරද නීලා වික්‍රමසිංහ ප්‍රසංග වේදිකාවට නැගෙද්දී නැගුණේ විශාල අත්පොළසන් නාදයකි. ඇය වේදිකාවේ ඉතා ප්‍රිය දසුනක් විය.

සිනාවත් චාම් පෙනුමත් නිරතුරුවම ඇඳි ඔසරිය හෝ සාරියත් ඇගේ පියකරු පෙනුම තවත් වැඩි කළේය. එසේම ඇගේ ලයාන්විත ගායනය හදවතට කතා කරන්නට විය. ඒ සියල්ලටම වඩා රසික සිත් තුළ ආදරය වැඩි කරන හේතුවක් වූයේ ඇය පෝලියෝ රෝගයට ගොදුරුවීම නිසා වේදිකාවට නැගුණු අපහසුතාවයි.

ගමන් කිරීමේදී ඇති ඒ ආබාධය පිළිබඳව කිසිම හැඟීමක් නොමැතිව ඇය ගී ගයා වේදිකාවෙන් බැස ගියේද ප්‍රේක්ෂක ආදරය තව තවත් වැඩි කර ගනිමිනි. 

නීලා සිංහල ගීත කලාවේ වෙනසක් කිරීමට පැමිණි පිරිස අතර සුවිශේෂී කාර්ය භාරයක් කළ බව කිව යුතුමය.
හින්දි ගීත අනුකරණවලට පුරුදු වී සිටි රසිකයන්ට නැවුම් ගීත රසයක් ඇය ලබා දුන්නාය. ඇගේ කටහඬ සරල ගීතවලින් පමණක් නොව ජන ගායනා ගැයීමෙන් දේශීයත්වයට වඩාත් ළං වී තිබිණ.

සරල ගීතයෙන්, කැසට් පටවලින් චිත්‍රපට ගීතවලින් පමණක් නොව ජන ගායනාවලදී ද ඇය එක සේ දස්කම් දැක්වූවාය. ඇගේ ගීත මේ යයි හඳුන්වා දිය යුතු නැත. එම ගීත එතරම්ම ජනප්‍රියය.

චිත්‍රපට ගීත ගායනයේ ඇය ඉදිරියෙන් සිටියාය. ‘කීන දම් මිටක්’ ගීතයේ පටන් විවිධ චිත්‍රපට ගීත ඔස්සේ ඇය ජනප්‍රියත්වයට පත්වූවා පමණක් නොව සම්මානයට ද පාත්‍ර වූවාය. 

ඇය ගායනා කළ චිත්‍රපට ගී අතර ඈතින් ඈතට (බෝධියේ විහාරයේ) චිත්‍රපටය සඳහා 1984දී ද 1986දී දොළොස්මහේ පහන චිත්‍රපටය සඳහා ද ලැබූ සරසවි සම්මාන සුවිශේෂීය. ඒ හැරුණ විට 1996 දී ඇය සුමති සම්මාන උළෙලේදී සංක්‍රාන්ති සමය ටෙලි නාට්‍ය සඳහා ද සම්මාන ලැබුවාය.
කැස්බෑව කෝඳුරුවාවේ උපන් නීලාගේ පවුලේ ඇයට සිටියේ වැඩිමහල් සොහොයුරියක පමණි. පියා නොමැති පවුලේ තම දියණියන් දෙදෙනා සමඟ මව ජීවත් වූයේ විශාල වගකීම් රැසක් දරාගෙනය.

නීලා මීට වසර ගණනාවකට පෙර සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ එකල ගෙදර ගීත අසන්නට රේඩියෝවක් නොතිබූ බවයි. ඇය කුඩා කල සිටම නන්දා මාලිනීගේ ගීතවලට ප්‍රිය කළාය. එහෙත් එකල ගීතයක් අසන්නට ලැබුණේ ගුවන් විදුලියෙන් පමණකි. ගෙදර ගුවන් විදුලි යන්ත්‍රයක් නැති නිසා බොහෝ විට ඇය ගීත ඇසුවේ තම වැඩිමහල් සොහොයුරියගේ හඬිනි.

ඇය එදා පැවැසුවේ නීලාට එකල ගීත ගයන්නට නොහැකි බවය. එහෙත් තම වැඩිමහල් සොහොයුරියට ගීත ගැයීමේ හැකියාව උපතින්ම පිහිටා තිබුණි. මේ නිසා බහ තෝරන වියේ සිටම නීලා කාන්සිය මකා ගත්තේ තම එකම අක්කා ගායනා කරන නන්දා මාලිනීගේ ගීත ඇසීමෙනි. එය ඇයට කාන්සිය මකා ගැනීමට පමණක් නොව ගීතය කෙරේ සිත ඉබේම ඇදී යන්නටද හේතු විය.

ඒ නිසා නීලා එදා පැවැසුවේ ඇය නන්දාගේ ගීත අනුකරණය කළේ අක්කා ගායනා කරන ආකාරයෙන් බවයි. අක්කාත් තමාත් හදා වඩා ගන්නට කරන පවුලේ සටනට අමතරව තවත් බාධකයක් වූයේ කුඩා කලදී පෝලියෝ රෝගය වැළඳීම නිසා නීලාගේ පාදයේ ආබාධයක් ද ඉතිරි වීමයි. එය මවකට කෙතරම් කම්පනයට හේතුවන්නට ඇද්ද.

මේ සියලු බාධක මධ්‍යයේ වුවද නීලා තම එකම සොහොයුරිය සමග අධ්‍යාපනය හැදෑරීමට ගියේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයටය. නීලා අධ්‍යාපන කටයුතුවලදී කැපී පෙනෙන දස්කම් දැක්වූවාය.

පිළියන්දල විද්‍යාලයේ ඉගෙන ගනිද්දී වූ සුවිශේෂ සිදුවීමක් එකල එහි ඉගෙන ගත් බොහෝ දෙනාට මතකය. විද්‍යාලයෙන් කාව්‍ය රචනා තරගයක් පැවැත්වීය. එහිදී ජයග්‍රාහී කවිය ගායනා කිරීමට සිදුවූයේ නීලාටය. එමෙන්ම එදින සුවිශේෂී පුද්ගලයෙක් එම උත්සවයට පැමිණ සිටියේය. ඒ පණ්ඩිත් අමරදේවයන් ය. ශිෂ්‍යාවක වූ නීලා, අමරදේවයන් ඉදිරියේ ජයග්‍රාහී කවි පන්තිය ගායනා කළාය. එය කොතරම් මිහිරි වීද යත් අමරදේවයන්ගේ සිත ආකර්ෂණය කරන්නට විය.

නීලාට සංගීතය ඉගෙන ගැනීමටත් ගායනාවටත් සුවිශේෂී කැමැත්තක් ඇතිවන්නට ඇත්තේ අමරදේවයන්ගේ ඒ අගය කිරීමත් සමග විය යුතුය. අක්කා හැමවිටම තම එකම නැගණියට සංගීතය උගන්වන්නට උත්සාහ කළාය. ඒ නිසාම ඇය විෂයයක් ලෙස සංගීතය ඉගෙන ගත්තාය.

වින්සන්ට් සෝමපාල හා ආනන්ද ජයසිංහ යන ගුරුවරුන් යටතේ සංගීතය හැදෑරූ ඇය මුලින්ම ‘ආධුනික පැය’ වැඩසටහනේ ගීතයක් ගැයුවාය. ඒ නිසා ඇයට ගුවන් විදුලියේ ගීත පටිගත කරන්නට අවස්ථාව ලැබිණ. ඉන්පසුව ඇය ඒ ශ්‍රේණියේ ගායිකාවක ලෙස ගුවන් විදුලි පරීක්ෂණයෙන් සමත් වූවාය. ඉන්පසු ඇය විශාරද සංගීත උපාධිය දිනා ගත්තාය. 

නීලා, විශාකා විද්‍යාලය ඇතුළු විදුහල් කීපයකම සංගීත ආචාර්යවරියක ලෙස සේවය කළාය. ජනප්‍රියත්වයත් ප්‍රසංශාවත් ලබාගත් නීලාගේ සුවිශේෂී කාර්ය භාරය වන්නේ ශ්‍රී ලංකාවෙන් පෝලියෝ රෝගය තුරන් කිරීම සඳහා එම සංවිධාන කටයුතුවලට සහභාගි වී ගී ගායනා කිරීම පමණක් නොව එම දැන්වීමට ද පෙනී සිටිමය. එමෙන්ම ඇය සමාජ කටයුතුවලද නිරත වූවාය. ඇය පිහිටු වූ සංවිධානයකින් විවිධ සමාජ සේවා කටයුතු ද කෙරිණි.

මේ සියලු කටයුතු අතරේ ඇගේ පෞද්ගලික ජීවිතයේ විවිධ බාධකවලට මුහුණ දෙන්නට සිදුවිය. මේ හැලහැප්පීම්වලින් වඩාත් ප්‍රබල සිදුවීම වූයේ ඇය පිළිකා රෝගයකට ගොදුරු වීමයි. එහිදී ඇගේ පෙනුම පවා වෙනස් විය. ඇගේ කෙස් කළඹ කාලයකට ඇයට අහිමි විය. පසුකල නීලා අප දුටුවේ ඒ නව පෙනුම සමගිනි.

2012 වසරේදී ඇය ඇගේ සංගීත ජීවිතයට 45 වසරක් පිරීම නිමිත්තෙන් ‘මාස්ටර් සර්’ නමින් සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළාය. පසුගිය කාලයේ ඇය දේශපාලන කටයුතුවල නිරතවීම නිසා විවිධ විවේචනවලට බඳුන් විය. සමාජ මාධ්‍ය ඔස්සේ ඇය ලැබූ විවේචන සුළුපටු නොවේ. ඇය ඉතාලියේ මිලානෝ නගරයේදී කොන්සල් ජෙනරල් තනතුර ලැබීම නිසා ඒ විවේචන වඩාත් දරුණු විය. ඇගේ ගායන හැකියාව ජනප්‍රියත්වය අභිබවා මේ විවේචන නැගී ආවේය.

ඇය පසුගිය 10 වැනිදා නව තනතුරේ වැඩ භාර ගත්තේ මිලානෝ නගරයේදීය. එහෙත් ඇයට එම තනතුරේ වැඩ කිරීමට ලැබුණේ සතියක පමණ කාලයකි. 1950 මාර්තු 30 වැනිදා උපන් ඇය පසුගිය 17 වැනිදා  අභාවප්‍රාප්ත වූයේද්‍ ඉතාලියේ මිලානෝ නගරයේදීය.

දේශපාලන කටයුතුවල නිරත වූ කලාකරුවන් රැසකි. ගාමිණී, ජෝති, එම්.එස්., සිරිල් වික්‍රමගේ ආදී සුවිශේෂී කලාකරුවෝ ඒ අතර වෙති. එහෙත් නීලාට මෙතරම් දරුණු විවේචන එල්ල වූයේ ඇයි?


රොඩ්නි විදානපතිරණ