ශ්‍රී ලංකාවේ සටන්කාමී ජන නායකයකු වූ අභාවප්‍රාප්ත පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වැනි ගුණානුස්මරණ උත්සවය අද (29) කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
144 වැනි රාජකීය ශාන්ත තෝමස් නිල් මහ සටන පසුගියදා නිමාවුණේ රාජකීයයන්ට විශිෂ්ට ජයක් අත්කර දෙමිනි. මෙවර තරගය රාජකීයයන්ට සුවිශේෂී වන්නේ තරගය ජයග්‍රහණය කිරීම වාගේම රටේ ජනාධිපති, අගමැති හා විපක්ෂ නායක යන තිදෙනාම රාජකීය ආදි ශිෂ්‍යයන් වන අවස්ථාවක ජයග්‍රහණය ලැබීමය.
මෙවර තරගය නැරඹීමට මා මිත්‍ර ඉංජිනේරු හෙමින්ද ජයවීරගේ දිරි ගැන්වීම නිසා මට ද අවස්ථාව හිමි විය. එහිදී පැරණි මිහිරි මතක බොහෝමයක් යළි කතා බහට ලක්විය. ඉන් එකක් පහත ලියමි.
70 දශකයේ මැද හරියේ මම පාසල් ජීවිතය ඇරඹුවෙමි. බාලාංශ පන්තිවල ඉගෙන ගන්නා කාලයේ සිදු වූ සටහනක් මට හොඳින් මතකය. දිනය ෂැංග්‍රිලා හෝටලය ඉදිරිපිට ඇති බණ්ඩාරනායක පිළිරුව විවෘත කළ දිනයට ආසන්න දිනයකි. ඒ මතක තිබෙන්නේ අපේ පාසලේ ළමයින් ද එයට සහභාගි වූ නිසාය. අපි පාසලේ විවේක කාලයේ අපේ පන්තිය අවට ක්‍රීඩා කරමින් කතාබහ කරමින් සිටියෙමු.
එක්වරම හීයක වේගයෙන් පැමිණි අල්ලපු පන්තියේ වීරයා අපේ පන්තියේ වීරයාට වැරෙන් පහරක් ගසා හීයක වේගයෙන් පලා ගියේය.
සිද්ධිය වූයේ මමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ඩිලාන් රත්නායක, සෙලාන් බැංකුවේ මහා පුටුවක ඉන්න මලිත් වික්‍රමනායක ජනෝද තෝරදෙණිය හා බුවනෙක කොලොන්නේගේ ඇස්පනාපිටය.
අපේ පන්තියේ වීරයා වරුණ පූජිත ගුණවර්ධන ය. ඔහු තංගල්ලේ දොන් කරෝලිස් පූජිත ගුණවර්ධන පඬිතුමන්ගේ ඥාති පුත්‍රයෙකි.
බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා පූජිත ගුණවර්ධන පඬිතුමාය.
බෞද්ධ කොඩිය නිර්මාණය කර මේ වසරට වසර 138ක් ගතවෙයි.
අල්ලපු පන්තියේ වීරයා පුන්‍යක රූපසිංහ ගුණවර්ධන නම් විය. ඔහු දැන් එංගලන්තයේ පදිංචිව සිටි.
පහර දී පලා යන ගුණවර්ධන හඹා ගිය අපට ඔහුගේ පන්ති භාර ගුරුතුමිය හේමා හඳුන්නෙත්ති මහත්මිය එම පන්තියේ එවෙලෙ සිටි නිසා පසු බසින්නට සිදු විය. සියලු සටන් හා අමනාපකම් එතැනින් නිමා විය.
එය රාජකීයයන්ගේ හැටිය. පාසලෙන් අස් වූ පසුද එම ගතිගුණය ඔවුන් තුළ පිහිටන බව ඔවුන් ඔප්පු කර ඇත.
ඊට දින කිහිපයකට පසු පවුලේ මිත්‍රයකු වන එච්.ඩී. සුගතපාල මහතා හා මහත්මිය කුමක් හෝ කරුණකට අප නිවසට පැමිණියහ.
ඔහු ජාතික රැගුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි. කොළඹ නව රඟහලේ නිර්මාතෘය. රාජකීය කනිෂ්ඨ පාසලේ හිටපු විදුහල්පති ය. මා පාසල් ජීවිතය පටන් ගත් බව දැනගත් සුගතපාල මහතා කොහොමද පුතේ ඉස්කෝලේ අලුත් යාළුවෝ ගොඩක් ඉන්නවා දැයි ඇසීය. මම පාසලේ සියලු අත්දැකීම් එතුමාට කීවෙමි. ඒ අතර ගුණවර්ධන හටන ද ඇතුළත් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක අනුර බණ්ඩාරනායක යන මහත්වරුන්ට එකම පන්තියේ දී අකුරු උගන්වා ඇති සුගතපාල මහතා ජාත්‍යන්තර අධිකරණයේ ලංකා නාමය සටහන් කළ විනිසුරු ක්‍රිස්ටි වීරමන්ත්‍රීගේ ද ආදරණීය ගුරුවරයෙකි.
සුගතපාල මහතාගේ කතාව හිමින්ය. නිස්කලංකය. පුස්තකාලයක් කතා කරනවා වැනිය. ගුණවර්ධන හටන ගැන කියූ විගස පුන්‍යක රූපසිංහ ගුණවර්ධන පෙරළිකාර ගුණවර්ධන පරපුරේ කෙනෙකු බව ඔහු කීවේය.
පෙරළිකාර යන වචනයේ තේරුම බාලාංශ පන්තියේ සිටි මට තේරුණේ නැත. අසල සිටි මගේ පියාගෙන් මම එහි තේරුම ඇසුවෙමි. එහි තේරුම වෙනස් විදිහේ වැඩ කරන අය බව තාත්තා කීවේය. එහෙම කෙනෙක් වෙන්න මටත් යටි හිතෙන් ආසා හිතුණ ද ප්‍රසිද්ධියේ එය නොකීවේ අසල සිටි මගේ මව එයට එකහෙලා විරුද්ධ බව දන්නා නිසාය. ඇය දැනුදු එලෙසමය. එම නිසා මම බොහෝ දේ දැනුදු කරන්නේ ඇයට හොරෙන්ය.
පෙරළිකාර පිලිප් ගුණවර්ධන.
පෙරළිකාර ගුණවර්ධනලා ගැන සුගතපාල විදුහල්පතිතුමා සුපුරුදු ස්වරයෙන් මට එවෙලේ කියා දුන්නේය. ඒ කරුණු බොහෝමයක් මට අදටත් මතකය. පළමුවෙන් බොරලුගොඩ සිංහයා යන වචනය මුලින්ම ලාබාල මට මැවී පෙනුණේ සිංහ හිසක් සහිත උස මහත පුරුෂයෙකි. ඊළඟට ඔහු බොරලුගොඩ රාළහාමි ගැන ද කීවේය. රාලහාමි මිය යන විට ඔහුගේ අලි පැටව් බලාගන්නා ලෙස කාට ද පැවරූ බව කීවා මතකය. බොරලුගොඩ රාලහාමිට හුරතල් අලි පැටව් ඉන්න ඇති යැයි මා උපකල්පනය කළේ අගමැති ජෝන් කොතලාවල ට එහෙම අලි හිටපු බව දන්නා නිසාය.
විදුහල්පතිතුමා පවසා ඇත්තේ අද ගුණ සමරන පිලිප් ගුණවර්ධන, ඔහුගේ පියා හා සහෝදරයන් ගැන බව වැඩි වියට පත්වන විට මම අවබෝධ කර ගතිමි. මා මිත්‍ර පුන්‍යක එක අලි පැටියකුගේ හිමිකරුවෙකි.
සුගතපාල මහතා යටත් විජිත යුගයේ වූ සිදුවීමක් පවසා එය මා දන්නා ගුණවර්ධන සටනට යා කළේය.
මහා බ්‍රිතාන්‍යයේ පැවති එක්තරා සම්මන්ත්‍රණයක දී බ්‍රිතාන්‍ය ජාතික නිලධාරියකු ශ්‍රී ලංකාවට, ලාංකික සංස්කෘතියට ලංකාවේ අභිමානවත් ඉතිහාසයටත් අපහාස කරමින් කතාවක් පවත්වා ඇත. එකෙනෙහිම සභාවේ සිටි තරුණයකු වේගයෙන් වේදිකාවට නැඟ සුද්දාට වැරෙන් පහරක් දී ලංකාවේ අභිමානය ගැන කෙටි දේශනයක් කර හීයක වේගයෙන් නික්ම ගොස් ඇත. ඒ අන් කවරකු හෝ නොව පිලිප් ගුණවර්ධන මහතාය. අල්ලපු පන්තියේ ගුණවර්ධනලාගේ ඉතිහාසය එලෙසින් මම ඉගෙන ගතිමි.
බිතු සිතුවම් රූ වැනි මිතුරන්.
වැඩිවිය පත් වූ පසු ලංකාවේ ගැටුම් හා ඒවා නිරීක්ෂණය ගැන අධ්‍යයනය කරන්නට මම පෙළඹුනෙමි. මාගේ අධ්‍යාපනය ද එයමය. යටත් විජිත යුගයේ දී එක්තරා අවස්ථාවක පිලිප් ගුණවර්ධන. එන්.එම් පෙරේරා හා කොල්වින් ආර් ද සිල්වා වැනි අය සිරගත කර ඇත. ඒ බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව පෙරළිකාර වැඩ කරන නිසාවෙන් බව කියැවේ. එසේ සිරගත කළ අවස්ථාවක ඔවුන්ට සිරගෙයින් පැන යන්නට යතුර කපා දී ඇත්තේ අදටත් බත්තරමුල්ලේ පිහිටා ඇති ප්‍රින්ස් මෙටල් (prinzmetal) නම් පිත්තල වැඩපල පවත්වාගෙන ගිය පෙරේරා මහතාය.
එලෙස හිරෙන් පැන ගිය පිලිප් ගුණවර්ධන ඇතුළු පිරිස ලංකාවේ අනාගතයට වැදගත් වන පියවර කිහිපයක් ගෙන ඇති බව දැන් විශ්ලේෂණය කරන විට පෙනී යයි.
පිලිප් ගුණවර්ධන මහතා එකල තමන්ගේ රටේ නිදහස වෙනුවෙන් සටන් කරමින් සිටි චීන කොමියුනිස්ට් පක්ෂයට උපකාර කර ඇත.
එවකට දකුණු චීනය පාලනය කළේ ප්‍රංශ අධිරාජ්‍යයයි. ප්‍රංශ පාලනයෙන් දකුණු චීනය මුදවා ගැනීමට උරෙනුර ගැටී සටන් කිරීමට ලංකාවේ පිලිප් එක් වී ඇත. 1948දී ලංකාවට නිදහස හිමිවිය. 1949 දී මහජන චීනය බිහිවිය. 1956 පෙරළියෙන් පසු පිලිප් ඇමති පදවියට පත් විය. ඒ අවස්ථාවේ දී අඳ ගොවියන් වෙනුවෙන් පිලිප් බොහෝ වෙහෙස ව ක්‍රියා කළ බව සුගතපාල මහතා මට කීවේ 1970 දශකයේදීය. අඳ ගොවියා යන වචනය මා ඉගෙන ගත්තේ ද එම අවස්ථාවේය.
1956 බලයට පත් රජය මහජන චීනය සමග රාජ තාන්ත්‍රික සම්බන්ධතා ඇරඹීය. එයට පිලිප් ගුණවර්ධන සාධකය ඉතා වැදගත් විය. අදට එම සම්බන්ධතාවලට වසර හැට හයක් ගතවී ඇත. ආපසු හැරී බලන විට චීනය වැනි දුකේදීත් සැපේදීත් සිටින මිතුරන් ලංකාවට ලබා දීමට පිලිප් ගුණවර්ධන මහතා කළ මෙහෙවර කිසි දා අමතක නොකළ යුතුය.
සමාජයේ ගුණාත්මක බව වැඩි කිරීමට නීතිය හා සාමය පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට මෙන්ම 1952 අත්සන් කළ රබර් සහල් ගිවිසුම මගින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සාගින්න නිවීමට ද පිලිප් ගුණවර්ධන මහතා දී ඇති දායකත්වය ඉතා ඉහළය.
පිලිප් ගුණවර්ධන ජීව විද්‍යාත්මකව වසර 51 කට පෙර අප හැර ගිය ද ශතවර්ෂ බොහෝ ගණනාවක් ඔහු අප සමග ජීවත් වනු ඇත.