ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් රටේ අටවැනි ජනාධිපතිවරයා ලෙස පත් කරනු ලැබ අදට අවුරුද්දක් සම්පූර්ණ වේ.
පදවි ප්‍රාප්තිය පිළිබඳ රාජ්‍ය හෝ පෞද්ගලික මට්ටමින් කිසිදු උත්සවයක් පැවැත්වීම ජනාධිපතිවරයා විසින් තහනම් කරනු ලැබ ඇත. ජනාධිපතිවරයාගේ නමට මුලින් අතිගරු වැනි කිසිදු ගෞරවාර්ථ නාමයක් නොයෙදිය යුතු බව ජනාධිපති පදවියට පත් වීමෙන් පසු වික්‍රමසිංහ මහතා නිකුත් කරන ලද ප්‍රථම නියෝගයේ සඳහන් වේ.
ඒ ආකාරයට නම හා බැඳුණු පුහු ආටෝප ඉවත් කිරීම මගින් ද උත්සව පැවැත්වීමකින් තොරව වර්ෂ පූර්ණය ගෙවී යාමට ඉඩ දීම මගින් ද රටේ මේ දක්වා දකින්නට ලැබුණු භාවිතයන් බැහැර කර අනවශ්‍ය වියදම හා නාස්තිය වැළැක්වීමේ ආදර්ශයක් ලබා දී ඇතැයි සිතමි.
තම පදවි ප්‍රාප්තිය පිළිබඳ උත්සව පැවැත්වීම වෙනුවට ජනාධිපතිවරයා අද තීරණාත්මක හමුවකට පියවර තබා තිබේ. අසල්වැසි ඉන්දියාවේ කෙටි සංචාරයක් ආරම්භ කරන ඔහු එහිදී රටවල් දෙක අතර සහයෝගිතාව වර්ධනය කරන ගිවිසුම් පහක් අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟය පිළිබඳ ගැටලුවලට මුහුණ දුන් අවස්ථාවේ සිටම මෙරට මහජනතාවගේ අත්‍යවශ්‍ය සැපයුම් ලබාදීම සඳහා මූල්‍යමය වශයෙන් මෙන්ම ද්‍රව්‍යමය වශයෙන් ද ඉන්දියාව අපට ආධාර ලබා දුන්නේය. ඒ අසීරු අවස්ථාවේ ඉන්දියාවේ සහයෝගය රට මුහුණ දී සිටි බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම සඳහා බෙහෙවින් ආධාර විය. එසේ වුව ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය නායක හමුවක් පැවැත්වීම සඳහා අවස්ථාවක් මේ දක්වා ලැබී තිබුණේ නැත. එබැවින් ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත්ව වසරක් සම්පූර්ණ වන අවස්ථාවේ දී දෙරට අතර සම්බන්ධතා තහවුරු කිරීම සඳහා කටයුතු යොදා තිබීම තවත් තීරණාත්මක අවස්ථාවකට මග පාදනු ඇතැයි සිතිය හැකිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටවී යාමටත්, ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමටත් හේතු වූ ආර්ථික අර්බුදයේ පීඩනය සහ මහජනතාවට විඳීමට සිදු වූ දුෂ්කරතා පිළිබඳව යළි යළිත් දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීමට බලාපොරොත්තු නොවෙමි. ඒ එම මතකය තවමත් බොහෝ දෙනකුගේ සිත්වලින් ඉවත් වී ගොස් නොතිබීමත් මුහුණ දුන් කටුකත්වය මුළු ජීවිත කාලය තුළම මතකයට නැගෙන සිදුවීම් වලින් යුක්ත වීමත් නිසාය. ඉන්ධන පෝලීම්වල අසනීප වූවන් ද මියගිය සංඛ්‍යාව ද සැලකිය යුතු සංඛ්‍යාවකි. ගෑස් සහ විදුලිය නොමැතිව කොළඹ සහ අනෙකුත් නගරවල වැසියන් මුහුණ දුන් දුක්ඛදායක තත්ත්වය පිළිබඳව මතකය ඔවුන්ට ජීවිත කාලය පුරාම ලැබුණ අත්දැකීමක් වීමට ඉඩ තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු කාලය තුළ කිසිසේත්ම විසඳා ගැනීමට නොහැකි යැයි ප්‍රචාරය කරන ලද බොහෝ දේවල් මේ වන විට විසඳී තිබේ. ගල් අඟුරු මිලදී ගැනීමට නොහැකි වන තත්ත්වයක් ඇති වන බැවින් මේ වර්ෂයේ මුල සිට විශාල විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදු වනු ඇතැයි විදුලි වෘත්තීය සමිති ද විදුලි ඉංජිනේරුවෝ ද ප්‍රකාශ කළහ.
එහෙත් එවැන්නක් සිදු නොවීය. ඒ ආකාරයට මවන ලද බිල්ලන්ගේ සංඛ්‍යාවද ඉතා විශාලය. අද දක්වාම ඒ ආකාරයට බිල්ලන් මැවීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක වේ. IMF ණය නොලැබෙන බවට, ණය ලැබුණ පසු භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ යන බවට, දේශීය බැංකු බිඳ වැටෙන බවට, මැවූ බිල්ලන් සියල්ලම පදනම් විරහිත කරුණු මත ගොඩනැගූ අසත්‍ය ප්‍රවෘත්ති බව මේ වන විට පැහැදිලි වී තිබේ.
විපක්ෂය කුමක් කීවද විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ දේශීය විදේශීය ජනමාධ්‍ය කුමක් කීව ද රට පිළිබඳව අපට නිගමනවලට එළඹීමට සිදු වන්නේ Facebook, Twitter, Tiktok, YouTube හෝ කටකතා මතම නොව සත්‍ය තොරතුරු පදනම් කරගෙනය. ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු දේශීය මූල්‍ය ආයතනවල ද තක්සේරුව වූයේ මේ වසරේ දී ශ්‍රී ලංකාව සියයට 4.3 ක සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි යන්නයි.
ඒ හේතුවෙන් ආර්ථිකයේ විශාල හැකිලීමක් සිදු වනු ඇතැයි අපේක්ෂා කරන ලදී. එසේ වුව ද මේ වසරේ පළමුවැනි හා දෙවැනි කාර්තුවල සිදුව ඇති ආර්ථික වෙනස්කම් සලකා බලන විට තෙවැනි හා හතරවැනි කාර්තුවල ආර්ථික ඇස්තමේන්තුවල සැලකිය යුතු වෙනසක් සිදු වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි තත්ත්වයක් දැන් පෙනෙන්නට තිබෙන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය සතියේ දී ප්‍රකාශ කළේය.
ලෝක බැංකුව පවා ඇස්තමේන්තු කළ සංඛ්‍යාවලට වෙනස්ව යන ආකාරයෙන් ආර්ථිකයේ ප්‍රගතියක් දක්නට ලැබෙන්නේ පසුගිය කාල පරිච්ජේදය තුළ සාර්ව ආර්ථික කළමනාකරණය ඉතා හොඳ මට්ටමක පවත්වා ගෙන යාම හේතුවෙනි. ඩොලරයේ වටිනාකම විනිමය අර්බුදයෙන් පසු රුපියල් හාරසියයට ආසන්න වන තෙක් ඉහළ ගියේය. එහෙත් අද වන විට ඩොලරයක විකුණුම් මිල රුපියල් 327.00 ට ආසන්නට මට්ටමට පත්ව තිබේ. පසුගිය කාලපරිච්ජේදය තුළ රටේ උද්ධමන අනුපාතය ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට ඉහළ ගොස් ලෝක වාර්තාවක් තබමින් සැප්තැම්බර් මාසයේ දී සියයට 73.7 ක් දක්වා ඉහළ ගියේය.
ශ්‍රී ලංකාව ඉහළම උද්ධමනයක් පවත්නා රටවල් පහට පවා ඇතුළත් වී තිබුණි. එහෙත් ජුනි මාසය වන විට එය සියයට 12.0 දක්වා අඩු වී තිබේ. ආහාර උද්ධමනය සැප්තැම්බර් මාසයේ 85.8 ක් දක්වා ඉහළ ගිය ද මේ වන විට සියයට 4.1 දක්වා පහළ වැටී තිබේ. උද්ධමනය පාලනය කිරීම සඳහා රජයට පොලී අනුපාත ඉහළ දැමීමට සිදුවිය. ජුනි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය සියයට 15.5 ක් වූ අතර, ණය පහසුකම් පොලී අනුපාතිකය සියයට 16.5 ක් විය.
මේ වන විට තැන්පතු පොලී අනුපාතය සියයට 13 දක්වා ද ණය පහසුකම් පොලී අනුපාතය සියයට 14 දක්වා ද අඩු කර තිබේ. විපක්ෂයේ ඇතැම් අය උද්ධමනය අඩු වූයේ නම් එය මහජනතාවගේ එදිනෙදා පරිභෝජනය ද්‍රව්‍යවල පිළිඹිබු විය යුතු යැයි ප්‍රකාශ කරති. එහෙත් කුකුළු මස්, මාළු, බිත්තර සහ තවත් භාණ්ඩ කිහිපයක හැර බොහෝ භාණ්වලට මිල ගණන් අඩු වී තිබේ.
පසුගිය වසරේ ජනවාරි මැයි දක්වා මාස පහේ දී රටට ලැබුණු විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 1336 ක් විය. එහෙත් මේ වසරේ ජනවාරි සිට මැයි මාස පහේ දී එය ඩොලර් මිලියන 2347 දක්වා සියයට 75.7 කින් ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 32856 ක් වූ අතර, මේ වසරේ දී ජුනි මස සංචාරක සංඛ්‍යාව 100388 ක් විය.
රට දැඩි ලෙස ගැටලුවලට මුහුණ දුන්නේ විදේශ සංචිත සම්බන්ධයෙනි. මහබැංකුව සතු සියලු සංචිත අත්‍යාවශ්‍ය භාණ්ඩ පාලනය කිරීම සඳහා යොදා ගැනීමට සිදු වූ බැවින් තෙල් නැව්වලට, ගෑස් නැව් වලට මුදල් ගෙවීම සඳහා දින ගණන් බලා සිටීමට සිදු විය. එහෙත් මේ වසරේ ජුනි මාසයේ රටේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3483 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රටට ලැබෙන ණය සහ ආධාර මුදල් ද රට තුළට පැමිණෙන විදේශ ආයෝජන ප්‍රමාණය ද ඉතා දරුණු ලෙස පහළ වැටීම විදේශ විනිමය අර්බුදය ඇති වීම සඳහා බොහෝ දුරට හේතු විය. එහෙත් දැන් IMFණය මුදල අනුමත වී ඩොලර් මිලියන 338 ක ප්‍රථම ණය වාරිකය ලැබී තිබේ. ලෝක බැංකුව ඩොලර් මිලියන 700ක ණය මුදලක් අනුමත කර එහි මුල් කොටස ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 400 ක අරමුදල් ණය වශයෙන් ලබා දී තිබේ.
කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය ජපන් ආධාර යටතේ නැවත ආරම්භ කිරීමට කටයුතු සලසා තිබේ. වරාය නගරය සඳහා දැනට ඩොලර් මිලියන 1200 ක පමණ ආයෝජන අනුමත කර තිබේ. රටට මෙපමණ විදේශ විනිමය ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුළ පැමිණි අවස්ථාවක් මීට පෙර නොමැති තරම්ය. වසරක් තුළ ආර්ථිකය තුළ සිදු වූ වෙනස්කම් යළිත් රටේ ජන ජීවීතය සාමාන්‍ය තත්ත්වයකට පත් කිරීම සඳහා හේතු වී තිබේ.
රට තුළ දේශපාලන ස්ථාවරභාවය, පාරදෘෂ්‍යභාවය, යහපාලනය, වගවීම වැනි ගුණාංග වර්ධනය කිරීම සඳහා පසුගිය වසරක කාලය තුළ ගෙන ඇති පියවර පිළිබඳ සඳහන් කළ හැක්කේ ඒ තුළින් විශිෂ්ට ප්‍රතිඵල අත් කරගෙන ඇති බවය. පාර්ලිමේන්තුවේ එක ඡන්දයක් පමණක් ඇති පක්ෂයකින් පැමිණි ජනාධිපතිවරයකු වුවද විසිඑක්වැනි සංශෝධනය හඳුන්වා දී ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කර හැරියේය. ඡන්ද වියදම් පාලනය කිරීම සඳහා වූ පනත සම්මත කර ගත්තේය.
දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සඳහා කටයුතු කර තිබේ. පාර්ලිමේන්තුව තුළ මුදල් පාලනය සඳහා විවිධ විෂයන් යටතේ කාරක සභා ඇති කර රජයේ පාලන කටයුතු පිළිබඳව බලතල විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද තරුණ තරුණියන්ට ද ලබා දී තිබේ.
ජනාධිපතිවරයා පෙරේදා (18) රට තුළ තවමත් නොවිසඳී ඇති ජනවාර්ගික ගැටලුව පිළිබඳව උතුරු නැගෙනහිර නියෝජන කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ජා කළේය. ඔහු එහිදී ප්‍රකාශ කළේ තමාට අවශ්‍ය දේශපාලන වාසි ලබා ගැනීමට නොව උතුරේ ප්‍රශ්නය විසඳීමට බවයි.
ජනාධිපති ධුරයට පත් වී වසරක් තුළ රට බංකොළොත්භාවයෙන් මුදා ගෙන, සැලකිය යුතු මට්ටමක ආර්ථික ස්ථාවරභාවයක් ගොඩනගා ගෙන, දේශපාලන සහ සමාජ ස්ථාවරත්වය තහවුරු කර, සමකාමී රටක් ගොඩ නැගීම සඳහා මෙපමණ කාර්යභාර්යයක් ඉටු කළ හැකි නම් එය හැඳින්විය හැක්කේ ආශ්චර්යයක් වශයෙන් නොවේද?
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර