ගෝඨා ආගිය තැන්වල ඇමෙරිකානු විමසුම් ඇස


පළමුවන ට්විටර් පණිවුඩය නිකුත් වූයේ රජයේ බලවත් තැනකිනි.

ඝාතනයට ලක් වූ සන්ඬේ ලීඩර් පුවත්පතේ සංස්කාරක ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා, ඉදිරි ජනපතිවරණයේ විපක්ෂ අපේක්ෂකයා වනු ඇතැයි බලාපොරොත්තු දැල්වී තිබෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලොස් ඇන්ජලීස් නුවර අධිකරණයක දී සිවිල් අයිතිවාසිකම් නඩුවක් පවරා ඇති බව එහි සදහන් විය.

ඕස්ටේ‍්‍රලියාවේ ශී‍්‍ර ලංකා කොන්සියුලර් ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලසන්ත වික‍්‍රමතුංගගේ සොයුරු ලාල් වික‍්‍රමතුංග මහතා සන්ඬේ ටයිම්ස් හා දුරකතනය ඔස්සේ සම්බන්ධ විය.

”ලසන්තගේ පවුල රාජපක්ෂ රජය යටතේ අවුරුදු 5 ක් බලාගෙන හිටියා. වර්තමාන රජය යටතේ තවත් අවුරුදු 5 ක් බලාගෙන හිටියා. නමුත් ඔවුන්ට යුක්තිය ඉෂ්ඨ වුනේ නැහැ. ඒ නිසා ඔවුන් දැන් ඇමරිකාවේ අධිකරණය හමුවට ගොස් තිබෙනවා” යැයි ලාල් වික‍්‍රමතුංග මහතා පැවසුවේය.

කෙසේවුවත් ඔහු මෙසේ දැක්වූ අදහස්, මීට සති දෙකකට පෙර ඔහුම දැක්වූ අදහස්වලට වඩා ඉදුරාම වෙනස්ය.

සිය සොහොයුරාගේ ඝාතනයට එරෙහිව අධිකරණය ඉදිරියට යන බවට පළව තිබූ වාර්තා තරයේම ප‍්‍රතික්ෂේප කළ ඔහු, පසුගිය 31 වැනිදා සන්ඬේ ටයිම්ස් කැෆේ ස්පෙක්ටේටර් තීරයට අදහස් දක්වමින් මෙසේ කීවේය.

”ඒ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයි.”

”ඇමරිකාවේ අධිකරණයක නඩු පැවරීමට මගේ කිසිම සැලැස්මක් නැහැ. වගකිවයුතු අය අත්අඩංගුවට පත්වූවායින් පසුව ශී‍්‍ර ලංකා අධිකරණය ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයෙන් මොන වගේ ප‍්‍රතිඵලයක් ලැබේවි ද කියායි මම බලා සිටින්නේ” යැයි ලාල් එදා කීවේය.

නමුත් දැන් ඔහු එක්සත් ජනපදයේ අධිකරණයක් ඉදිරියේ නඩුවක් ගොනු කළ බව පිළිගනී. ලසන්ත වික‍්‍රමතුංගගේ පවුල ගැන සඳහන් කළද, තතු දත් ආරංචි මාර්ගයක් පවසා සිටි ආකාරයට ඇමෙරිකානු අධිකරණයක් ඉදිරියේ නඩුව ගොනු කිරීම අරබයා වැදගත් භූමිකාවක් ලාල් වික‍්‍රමතුංග රඟ දක්වා තිබේ.

 

සන්ඬේ ලීඩර් සංස්කාරක ලසන්ත වික‍්‍රමතුංග මහතා කුරිරු ලෙස ඝාතනයට ලක්වූයේ 2009 ජනවාරි මස 8 වැනිදාය. එදා සිට ගතවූ පසුගිය වසර 10 පුරාවටම, ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශන වටා ගොඩනැගී තිබූයේ අතිශය රහසිගත සහ ආන්දෝලනාත්මක වාතාවරණයකි. එයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ එම විමර්ශනවලට රජයේ ඉහළම තැන්වලින් සිදුකෙරෙන අතපෙවීම් වන අතර, එම ඇතැම් තැන් ඉතාම ප‍්‍රබලය.

ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන ගැන විවිධ කාණ්ඩ අතරේ කෙරෙන සාකච්ඡා කොළඹ තරු පහේ හෝටල් දක්වාම දිවේ. අලූත් අවුරුද්දට පසුව, මේ සිදුවීමට සම්බන්ධ කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බව දැනගන්නට ඇතත්, එසේ අත්අඩංගුවට ගැනෙන බව පැවසෙන්නේ ලසන්තගේ ඝාතනයට යන්තම් ගැවී තිබෙන අයවලූන්ය. එම නිසාම ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක්, ගෝඨාභයගේ නම ද ඇතුළත්ව, මේ දක්වාම අධිකරණය හමුවට ඉදිරිපත් කර නැත.

එසේ නම් ලසන්තගේ ඝාතනයට ගෝඨාභයගේ නම ඇදී තිබෙන්නේ ඇයි?

සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ ආකාරයට එම ඝාතනය සිදුවීම හා ගෝඨාභය අතර පවතින සම්බන්ධය ඇතුළත්ව තිබූ සාක්කි සහ වාර්තා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනු කළ නඩු වාර්තාවලින් ඉවත් කර තිබේ. මෙම අධිකරණ වාර්තා පොදු වාර්තා ලෙස සැළකුණද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ කාර්යමණ්ඩලය අනුගමනය කරමින් සිටින්නේ ඒවා තමන් සන්තකයේම තබාගනිමින් සිටින පිළිවෙතකි.

මෙය මෙම සිදුවීමට පමණක් සීමාවූවක් නොව ඉහළ අවධානයක් යොමුවූ වෙනත් ප‍්‍රධාන පෙලේ සිදුවීම්වලට ද පොදුය.

එක්සත් ජනපදය පදනම් කරගෙන කි‍්‍රයාත්මක වන පි‍්‍රමියර් ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ ඔවුන් අයිඩියල් ඉන්වෙස්ටිගේටර්ස් නම් තවත් ආයතනයක් හා එක්ව, ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැලිෆෝර්නියා අධිකරණය හමුවේ පවරා තිබෙන නඩු දෙකක් සදහා ඔහුට නොතීසි නිකුත් කිරීමේ කටයුතුවල නිරතව සිටින බවයි.

පි‍්‍රමියර් ගෲප් ඉන්ටර්නැෂනල් යනු විමර්ශන, තර්ජනාත්මක ස්වභාවය ඇගයීමේ සහ අවදානම් කළමණාකරනය යන අංශ පිළිබද කටයුතු කරනා ආයතනයකි. මෙය සිදුවූයේ ඇමරිකාව බලා ගොස් සිටි ගෝඨාභය, නෙවාඩා ප‍්‍රාන්තය වෙත යමින් සිටිය දී නිර්මාංශ ආහාර සම්බන්ධයෙන් ප‍්‍රකට ඇමරිකා ආහාර ජාලයක් වන ටෙ‍්‍රඩර්ස් ජෝ සමාගමේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ පැසඬේනා ශාඛාවට පැමිණ සිටි අවස්ථාවේදීය.

ගෝඨාභය නිර්මාංශිකයෙකි. මුද්‍රා තැබූ ලියුම්කවරයක බහාලූ නොතීසිය ඔහුට භාරදුන් එම අවස්ථාව ඡායාරූප ගත කෙරිණ. එම ලියුම්කවරය ඔහු භාරගන්නා ආකාරය එහි සටහන්ව තිබේ.

පැහැදිලිවම, පසුව නිකුත් කැරුණු ට්විටර් පණිවුඩයේ සදහන්ව තිබූ ආකාරයටම, ඇමරිකාවට පැමිණි තැන සිටම සිය කටයුතු කෙරේ විමසුම් ඇසක් යොමුව තිබී ඇති බව ඔහු දැන සිට නැත. එහෙත් කොළඹ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ගෝඨාභයට නොතීසි නිකුත් කිරීමක් සිදුනොවූ බවයි.

එතැනින් පසු වුවද, විමසුම් ඇස ඔහු කෙරේම එල්ලවී තිබිණ. එය කෙසේවී ද යත්, ගෝඨාභය ලොස් ඇන්ජලීස් නුවර සිට ඩුබායි හරහා කොළඹට පැමිණීමට නියමිත බවටත්, අපේ‍්‍රල් මස 10 වැනිදා ඔහු පැමිණෙන්නේ එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ. 216 අංක දරණ ගුවන්යානයේ බවටත්, පණිවුඩයක් ඉහත සදහන් කළ රජයේ බලවත් තැනට ඇසිල්ලකින් ලැබිණ.

වහාම කි‍්‍රයාත්මක වූ ඔහු, කොයිකවුරුත් හොදින් දන්නා තැතැත්තෙක් හා එක්ව ගෝඨාභයගේ ගුවන්ගමන් තොරතුරු ට්විටර් පණිවුඩයක් හරහා ප‍්‍රසිද්ධ කළේය. මෙය හිටපු ආරක්ෂක ලේකම්වරයා වියවුලට පත්කිරීමට සමත් වූ අතර, ඒ නිසාම ඔහු මුලින් යොදාගෙන සිටි ගමන අවලංගු කර වෙනත් ගුවන් යානයක නැගී කොළඹට පැමිණියේය.

එදා සිකුරාදා දිනයක් විය. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, හිටපු අමාත්‍යවරුන්, විශ‍්‍රාමික හමුදා නිලධාරීන් සහ සුභපැතීම සදහා පැමිණ සිටි වෙනත් විශාල පිරිසක් ඔහුව පිළිගත්තේය. බෞද්ධ භික්ෂූන්ගේ ප‍්‍රධානත්වයෙන් අති විශේෂ පුද්ගලයින් සදහා වෙන්කර තිබෙන අංගනයේ දී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ආගමික වතාවත් පැවැත්වුණු අතර, මුස්ලිම් මවුලව්වරුද, හින්දු පූජකයෝද එම අවස්ථාවට එක්ව සිටියහ.

ගෝඨාභයගේ ප‍්‍රකාශය

රැස්ව සිටි පිරිස අමතමින් කෙටි අදහස් දැක්වීමක නිරත වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා, ඉතාම වැදගත් අනාවරණයක් කළේය. සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කිරීම සදහා අදාළ ලියකියවිලි තමා ඇමරිකානු බලධරයින් වෙත බාර නොදුන් බව ඔහු පැවසුවේ ය.

තමා ඇමරිකාව බලා ගියේ වැඩිමනත්ම සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීම පිළිබඳව එරට නීතිඥයින් සමග සාකච්ඡා කිරීම සඳහා බව පැවසූ ගෝඨාභය මහතා එම කටයුතුවල සාර්ථකව නියැලූණු බව කීවේය. ඒ සම්බන්ධයෙන් නුදුරේදීම ඉදිරි පියවර ගන්නා බව ද ඔහු පැවසුවේය.

මේ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණය හමුවේ නඩු පවරා තිබෙන්නේ ඔහු සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කිරීමට අදාළ ලියකියවිලි බාරදීමට ප‍්‍රථමයෙන් බව මනාව පෙනෙන දෙයකි. අත පොවන මානයේ ජනපතිවරණයක් තිබිය දී තමාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් කණගාටුවන බව පැවසූ ගෝඨාභය මහතා, එම නඩු වෙනත් කිසිවක් නොව සිවිල් නඩු බව අවධාරණය කළේය. නමුත් එම නඩු සදහා වූ නොතීසි සෘජුවම තමන් අතටම ලැබුණු බව සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් නොකළ ඔහු පැවසුවේ, එම නොතීසි තමා වෙත ලැබුණේ ලොස් ඇන්ජලිස් නුවර ශී‍්‍ර ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලය හරහා බවය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගිය මස 6 වැනිදා මූලික මට්ටමේ විමසීමක් සදහා ඇමරිකානු තානාපති නිලධාරීන් හමුවී තිබෙන බවට තොරතුරු පසුගිය සෙනසුරාදා වන විට අනාවරණය වූයේය. ඔහු සිය පුරවැසිභාවය සම්බන්ධයෙන් වන ලියකියවිලි සහ ඇමරිකානු ගමන් බලපත‍්‍රය එරට බලධරයින් අතට පත්කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට යන්නේ දැන්ය. මෙම අනාවරණය හා උද්ගතව තිබෙන ගැටලූ එක්ව ගත් කළ නිර්මාණය වනුයේ නව මානයකි.

මිතුරෙකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගීවීමට යැයි ගෝඨාභය මහතා යෙදුණු ඇමරිකානු ගමන ද ආන්දෝලනයෙන් අඩු නොවීය.

ආන්දෝලනාත්මක පුද්ගලයෙක් ඔහු හා එම ගමනට එක්ව සිට ඇතැයි, රාජපක්ෂ පවුලේ සාමාජිකයන්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මුල් පෙළ නායකත්වය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ සාමාජිකයන් අතිශය කෝපයට පත්ව සිටින අතර, මෙම පුද්ගලයා ගෝඨාභය මහතා ආගිය තැන් සියල්ලේම ඔහු සමගම සිට ඇත.

මෙම පුද්ගලයාගෙන් දුරස්ව සිටින ලෙස රාජපක්ෂ පවුලේ පළමු පෙල සාමාජිකයන් පවා ගෝඨාභය මහතාට උපදෙස් දී තිබී ඇත. එහෙත් ඇතැමුන් අසතුටට පත්ව සිටියේ ශී‍්‍ර ලංකාවේ උද්ගතව තිබෙන දේශපාලන ගැටලූකාරී තත්ත්වය මධ්‍යයේ ගෝඨාභය මහතා ඇමෙරිකාවේ සංචාරයක නියැලීම පිළිබදවය.

කොටින්ම ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවා, විදේශයක ආගමික වන්දනාවක යෙදීමට කර තිබූ සැලැස්ම අවලංගු කළේය. අලූත් අවුරුදු සමයේ විදෙස් රටක නිවාඩුවක් ගතකිරීමට යන පිළිවෙතක් අනුගමනය කරන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවා මෙම වසරේ රැදී සිටියේ දිවයිනේය.