‘‘දන්ත වෛද්‍ය සිසුට පහර දී පෙම්වතිය අරන් ගිහින් කොතලාවල සිසුවා අල්ලන්න සොයයි’’ මේ ඉකුත් දිනෙක අප පුවත්පතේ මුල් පිටුවේ පළවූ ප්‍රවෘත්තියක සිරස්තලයකි. බැලු බැල්මට එය හුදු පෞද්ගලික සිදුවීමක් ලෙස පෙනුණද එය එසේ නොවන බව අපගේ අදහසය. අප සමාජ අභ්‍යන්තරයේ ඇත්ත තත්ත්වය මෙබඳු සිදුවීම්වලින් මනාව හෙළි පෙහෙළිවන බව ඉතාම පැහැදිලිව පෙනෙන්නකි.
අප ප්‍රවෘත්තියට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ රාමනාදන් ශාලාවට කඩා වැදි ඇති කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ සිසුවකු එහි පාඩම් කරමින් සිටි දන්ත වෛද්‍ය සිසුවකුට පහර දී එම සිසුවා සමග පාඩම් කරමින් සිටි දන්ත වෛද්‍ය සිසුවියක රැගෙන ගොස් ඇත. පහර කෑමට ලක්වූ සිසුවා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් දන්ත වෛද්‍ය සිසුවිය රැගෙන ගිය කොතලාවල ආරක්ෂක පීඨයේ සිසුවා ඇයගේ පරණ පෙම්වතා බවත් පොලිසිය පවසන්නේ යැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
මෙය හුදෙකලා තුන්කොන් ප්‍රේම කතාවක් නොවේ. ශුද්ධ වූ සියල්ලම කෙළෙසෙමින් තිබෙන පවුකාර භීම සමයක් රටට උදාවී තිබේ. තරාතිරම් බේදයකින් තොරව සෑම කේෂ්ත්‍රයක් තුළින් ඇදහිය නොහැකි තරමේ විමතිය දනවන තරමේ මහා පිරිහීමක් පෙන්නුම් කෙරෙමින් තිබේ.
දාහතර හැවිරිදි දියණියක අපයෝජනය කළ පනස් හැවිරිදි බැංකු නිලධාරියකු අත්අඩංගුවට ගත් පුවත මෙයට දෙතුන් දිනකට ඉහත දී වාර්තා වූවකි. මෙම බැංකු නිලධාරියාට වයස අවුරුදු 13 ක හා 17ක දියණියන් දෙදෙනකු සිටින බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. බැංකු නිලධාරියකු වීම පහසු නැත. ඒ සඳහා ඉහළ අධ්‍යාපනයක් ලබා තිබිය යුතුය. එබඳු අධ්‍යාපනයක් ලද පුද්ගලයකුගෙන් වාර්තාවන්නේ ද මෙබඳු අවරගණයේ හැසිරීම්ය. සමාජයේ ඉදිරි ගමන් මග කෙබඳු විය හැකි දැයි වටහා ගැනීමට අසීරු නැත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ රාමනාදන් ශාලාවට කඩා පැන දන්ත වෛද්‍ය සිසුවකුට පහර දී සිය පැරැණි පෙම්වතිය පැහැරගෙන ගොස් තිබෙන්නේ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙකි. ‘‘විශේෂිතය සමස්තය නොවේ’’ යන්න ඒකාන්ත සත්‍යයකි. එහෙත් එසේ යැයි කියා විශේෂිතය නොසලකා හැරිය යුතු නැත. ආරක්ෂක විද්‍යා පීඨයක ඉගෙන ගන්නා සිසුවකු සතුව වෙනත් විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා සිසුවකුට වඩා ඉහළ විනයක් අපේක්ෂා කිරීම සාධාරණය. සාමාන්‍ය පාසල් සිසුවකුට වඩා විශ්වවිද්‍යාල සිසුවකුගෙන් ඉහළ චර්යාවක් බලාපොරොත්තු වීම ද සාධාරණය.
සමාජයක පැවැත්ම තීරණය කරන බලගතු සාධක අතර ‘‘ආදර්ශ’ ඉදිරියෙන්ම තිබේ. දරුවන්ගේ වර්ධනයට, හැසිරීමට දෙමාපියන්ගේ ආදර්ශ ඍජුවම බලපානු ලබයි. මෙරට සමාජ සංස්කෘතික පරිසරය තුළ ඒ ඒ සමාජ තීරු වෙත වෙන් වෙන්ව ඇගයීම් ලබා දී ඇත. ගුරුවරුයකුට ඇති ඇගයීමට වඩා වෙනත් ඇගයීමක් ආරක්ෂක අංශ නිලධාරියකුට තිබේ. කලාකරුවන්ට ඇති ඇගයීම තවත් එකකි. එකී ඇගයීම්වලට තරම් නොවන ක්‍රියා සිදුවන විට ඒ සම්බන්ධයෙන් සමාජ විරෝධයක් මතු වීම ස්වාභාවිකය. ගමේ සාමාන්‍ය මිනිසකු කරන වැරැද්දකට වඩා පොලිසියේ රාලහාමි කෙනකු කරන වැරැද්ද සමාජයේ අවධානයට ලක්වන්නේ ඒ අනුවය.
මෙම සමාජය තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට අනන්‍ය වූ වෙනම පිළිගැනීමක් තිබේ. විශේෂයෙන්ම අතිශයින්ම තරගකාරී විභාගයක් වූ උසස් පෙළ විභාගය උසස් ලෙස සමත්ව විශ්වවිද්‍යාලයට පිවිසෙන ශිෂ්‍යයාගෙන් උසස් පෙළ උසස් ලෙස සමත්වීමට අදාළ ගරු කටයුතු හැසිරීමක් ප්‍රදර්ශනය විය යුතුය. එම සිසුවාගෙන් කිසිදා පාසල් නොගිය මිනිසකුගෙන් පළවන හැසිරීම් ප්‍රදර්ශනය වන්නේ නම් එය සමාජය තුළ ‘‘කැපී පෙනෙන්නක්’’ බවට පත් වේ.
ආරක්ෂක විද්‍යා පීඨයේ සිසුවකුගෙන් ප්‍රද්ශනය විය යුත්තේ එකී නාමකරණයට සාධාරණය ඉටුවන පන්නයේ සිදුවීම්ය. මේ සියල්ලෙන්ම අවධාරණය වන්නේ අධ්‍යාපනය පුද්ගලයකුගේ චරිතය සකස් කරන බවය. සමාජයේ හොඳ හා නරක වශයෙන් මිනිසුන් බෙදා ගන්නා ප්‍රධාන නිර්ණායකයක් බවට අධ්‍යාපනය පත්වන්නේ ද එහෙයිනි. එය එසේ නම් ඉහළ අධ්‍යාපනයක් ලබන අයකුගෙන් අපේක්ෂා කළ යුත්තේ ඉහළ හැසිරීම් විනා පාතාල පන්නයේ හැසිරීම් නොවන බව අවධාරණය විය යුතුය.