චීනයෙන් එළියට එන බහු ජාතික සමාගම් ලංකාවට හරවමු


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට සපයන්නේ අත්වැලකි. ඒ අප රට වැටී සිටින ආර්ථික හා ණය අර්බුදයෙන් ගොඩ ගැනීමටය. අර්බුදයෙන් ගොඩට පැමිණි පසු ආර්ථිකය වර්ධනය කර ගැනීම අපට භාර කටයුත්තකි. එහෙත් බොහෝ දෙනෙක් සිතන්නේ  හා බලාපොරොත්තු වන්නේ මූල්‍ය අරමුදලෙන්  අපේ රටේ ආර්ථිකය වර්ධනය කරදෙනු ඇති බවය.

මූල්‍ය අරමුදලෙන් කරන්නේ දියේ ගිලී සිටින අප ගොඩ ගැනීමය. දියෙන් ගොඩට පැමිණෙන අපේ ජීවිත සුඛිත මුදිත වනවාද යන්න තීරණය වන්නේ අප විසින් ගනු ලබන තීන්දු තීරණ මතය. ලංකාව වර්ධනය වෙනවාද යන්න තීරණය වන්නේ ආණ්ඩුව විසින් ගනු ලබන ආර්ථික ප්‍රතිපත්ති තීරණ මගිනි.

වැටී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට විශාල අවධානයක් යොමුකර තිබෙන බව සත්‍යයකි. එහෙත් රටේ ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව හදා ගැනීම අතපසු කර තිබෙන බව මගේ නිරීක්ෂණ නිගමනයයි. නිෂ්පාදන ආර්ථිකයක් බව අපනයන ආර්ථිකයක් ගැන බොහෝ දෙනා නිතර කතා කරති. ඒ සඳහා නිෂ්පාදන මූලික කරගත් අපනයන ආර්ථිකයක් හදා ගන්නේ කොහොමදැයි අපේ අවධානය යොමුවිය යුතුය. නැගෙනහිර ආසියාවේ රටවල් මෑත කාලයේ දී විශාල ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත්තේ නිෂ්පාදනය මත පදනම් වූ අපනයන ආර්ථිකය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කළ හෙයිනි. එහෙත් ලංකාවට එසේ කිරීමට නොහැකි විය.

ඉතා මෑත කාලයේ විශාල ආර්ථික හා අපනයන වර්ධනයක් අත්පත් කර ගත් රට වියට්නාමයයි. දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2000 වසරේ දී සියයට 33ක් වූ ලංකාවේ අපනයන 2021 වනවිට සියයට 15ක් දක්වා පහත වැටී තිබේ. දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වියට්නාමයේ අපනයන 2000 වසරේ දී සියයට 46කි. එහෙත් දැන් එය සියයට 92කි.

එලෙසම අපනයන ආදායම ගතහොත් 1993 දී ලංකාවෙත් වියට්නාමයෙත් අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන තුනක් පමණ විය. එහෙත් වර්තමානයේ එනම් 2021දී වියට්නාමයේ අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 335කි. 2021 දී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 13කි.

වියට්නාමය පමණක් නොව තායිලන්තය, මැලේසියාව, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි නැගෙනහිර ආසියාතික රටවල් බොහෝමයක් කෙටි කාලයකදී විශාල වශයෙන් අධික වේගයෙන් තම අපනයන වර්ධනය කර ගැනීමට සමත්ව තිබේ. එහෙත් ලංකාව එවැනි සමත්කමක් දක්වා නැත. ඊට බලපෑ ප්‍රබල හේතුවක් මම දකිමි. ඒ ලෝකයේ නිෂ්පාදන ආර්ථිකයේ ඇතිවූ විශාල පරිවර්තනය හඳුනාගෙන ඉන් ප්‍රයෝජන නොගැනීමය.

මා කියන ඒ පරිවර්තනය වන්නේ වෙළෙඳ බාධක අඩුවීම, තොරතුරු තාක්ෂණයේ වර්ධනය සහ ජාත්‍යන්තර නාවික හා ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇතිවූ දියුණුව සහ පිරිවැය අඩුවීමත්ය. ඒ දියුණුව සහ වෙනස්කම් සමග එක කර්මාන්ත ශාලාවක එක භාණ්ඩයක් නිෂ්පාදනය කළ පැරැණි ක්‍රමය වෙනස් විය. එක රටක එක භාණ්ඩයක් නිෂ්පාදනය නොකර එකම භාණ්ඩයක කොටස් විවිධ රටවල නිෂ්පාදනය කර වෙනත් රටකදී එකලස් කිරීම ඇතිවූ නව ක්‍රමයයි.

සියල්ල එක රටක නිෂ්පාදනය නොකර ඒවා නිෂ්පාදනය කළේ රටවල් කිහිපයකය. ඒ කොටස් සියල්ල එක්රැස් කරගෙන භාණ්ඩය එකලස් කළේ වෙනත් රටකය. එය ගෝලීය සැපයුම්දාමයේ  වර්ධනයකි. නිමි භාණ්ඩ තම රටේ නිෂ්පාදනය නොකර ඒ භාණ්ඩයේ කොටස් නිෂ්පාදනය කර ඒවා අපනයනය කරන රටවල් ඒක්‍රමය යටතේ  බිහිවිය.

වර්තමානය වනවිට ලෝකයේ මුළු වෙළෙඳාමෙන් සියයට 50ක්ම අප මේ කියන අතරමැදි භාණ්ඩ ගණයට වැටෙයි. ඒ කිසිවක් නිමිභාණ්ඩ නොවේ. සමස්ත ලෝකයමේ සිදුවන ඒ වෙළඳාමේ වටිනාකම ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 8ක් පමණ වෙයි. අවාසනාවකට වගේ ලංකාවට මේ ගෝලීය සැපයුම් දාමයට සම්බන්ධවීමට නොහැකි විය.

ගෝලීය සැපයුම්දාමය යටතේ ඉලෙක්ට්‍රොනික් උපකරණ සේම වාහනද නිෂ්පාදනය විය. ඒවා කළේ ඇපල් සැන්සුම්, එල්. ජී. හුන්ඩායි, බෙන්ස්, ටොයොටා වැනි බහුජාතික සමාගම්ය. ඒ සමාගම් තම නිමි භාණ්ඩවල කොටස් රටවල් රාශියක නිෂ්පාදනය කිරීම ඇරඹීමත් සමග ගෝලීය සැපයුම්දාම ක්‍රමය බිහිවිය. ඒ නිසා ඒ සැපයුම්දාමයක කොටස්කරුවකු වීමට ඒ බහුජාතික සමාගම්වල ආයෝජන තම රටට ගෙන්වා ගත යුතුය. උදාහරණයකට වියට්නාමය ගැන බහුජාතික සමාගම්වල විශ්වාසය ඉතා ඉහළය.

ඊට මූලික වූයේ සැන්සුම් සමාගමයි. ඒ සමාගම වියට්නාමයේ විශාල වශයෙන් ආයෝජනය කළ අතර වියට්නාමයෙහි තම ව්‍යාපාර සාර්ථකව කරගෙන යාමට සැන්සුම් සමාගමට හැකිවිය. ඒ නිසා අනෙක් රටවල වෙනත් සමාගම්වලටද වියට්නාමයෙහි ආයෝජනයට විශ්වාසයක් ඇතිවිය. එහෙත් ලංකාවට අදටත් එවැනි ආයෝජන ආකර්ෂණයක් කරගත නොහැකිවිය.

වියට්නාමය, මැලේසියාව, තායිලන්තය වැනි රටවල් ගෝලීය  සැපයුම් දාමයට සම්බන්ධ භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කිරීම නිසා ඒ රටවල මුළු අපනයනවලින්  සියය 40කට වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ ඒ ගෝලීය සැපයුම්දාමයට සම්බන්ධ ක්ෂේත්‍රවලය. ලංකාව ඒ ක්ෂේත්‍රවල කරන අපනයන රටේ සමස්ත අපනයනවලින් සියයට පහක් තරම් සුළුය. ලංකාවට එසේ වූයේ ගෝලීය සැපයුම්දාමයේ කොටස්කරුවකුවීමට නොහැකි වූ නිසාය.

එහෙත් දැන් ලංකාවට අලුත් අවස්ථාවක් එළඹී තිබේ. ඒ ගෝලීය සැපයුම් දාමයේ කොටස්කරුවකු වීමටය. ආසියාව මූලික  කරගත් ගෝලීය සැපයුම්දාමය වර්ධනය වූයේ ජපානය මූලික කරගෙනය. ඒ 1990  දශකයේදීය.  එහෙත් 21 වැනි සියවසේදී ගෝලීය සැපයුම්දාමය ක්‍රියාත්මක  වන්නේ චීනය මූලික කරගෙනය. දැන් චීනය හඳුන්වන්නේ ‘ලෝකයේ කර්මාන්ත ශාලාව’ නමිනි.

එහෙත් මෑත කාලයක සිට ඇමරිකාව සහ චීනය අතර පවතින විශාල ගැටුම මත බොහෝ බටහිර රටවල් සේම ලොව දියුණු අනෙක් රටවල් එනම් කොරියාව හා ජපානය වැනි රවටල් පවා තමන්ගේ කර්මාන්ත ශාලා චීනයේ පවත්වාගෙන යාම විශාල අවදානම් සහගත තත්ත්වයක් ලෙස හඳුනාගෙන තිබේ.

චීනය හා ඇමරිකාව ගැටෙද්දී පැන​ෙවන ආර්ථික සම්බාධක සේම වෙනත් ගැටලු සමග තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය කඩා වැටීමකින් හෝ බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබඳව දැන් බහුජාතික සමාගම්වලට ප්‍රශ්න පැන නැග තිබේ. ඒ නිසා තම සියලු නිෂ්පාදන චීනයේ නොකර චීනයෙන් පිටත වෙනත් රටවලටත් තම ආයෝජන ගෙන යාමට ඒ සමාගම් දැන් දැන් එළඹෙයි. චීනය සහ තවත් රටක් සමග අපේ නිෂ්පාදන කළ යුතුය කියා ඒ සමාගම් දැන් කල්පනා කරයි. ඒ සමාගම් දැන් යන්නට වෙනත් රටවල් සොයයි.

වර්තමානයේ චීනයෙන් එළියට එන බහුජාතික සමාගම් සහ විදේශ ආයෝජකයන් යාමට සුදුසු රටවල් කිහිපයක් හඳුනාගෙන තිබේ. එසේ තෝරාගත් රටවල් අතර ඉන්දියාව, ඉන්දුනිසියාව, බංගල්දේශය සහ වියට්නාමය ඉතා ඉදිරියෙන් සිටියි. ඒත් ඒ රටවල් අතර ද ලංකාව නැත. එය ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකි. එහෙත් මා එය දකින්නේ ලංකාවට මින් පෙර අහිමි වූ අවස්ථාව හිමිකර ගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙසයි.

ඉන්දියාව මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනියි. ඉන්දියාවත් දැන් මේ අවස්ථාව දකින්නේ මීට පෙර තමන්ට අතපසු වූ ගෝලීය සැපයුම්දාමයට සම්බන්ධවීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ලෙසයි. ඒ අවස්ථාව අප යළි ලබා ගත යුතුය, නිෂ්පාදනය මූලික කරගත් අපනයන ආර්ථිකයක් ගොඩනගාගත යුතුය, මේ ඊට හොඳම අවස්ථාව කියා ඉන්දියාව කල්පනා කරයි, කටයුතු කරයි.

ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු තාක්ෂණ විෂයභාර ඉන්දියාවේ අමාත්‍යවරයා මේ මෑතක දී ලෝක ආර්ථික සමුළුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. දුරකථන පරිගණක හා වාහනවලට අත්‍යවශ්‍ය ‘චිප්’ නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීමට ඉන්දියාව ඇමෙරිකන් ඩොලර් බිලියන 10ක් ආයෝජනය කරන බව ඒ අමාත්‍යවරයා කියයි. නූතන ලෝකයේ භාවිත කරන තාක්ෂණික අතින් ඉතා ඉහළ චිප්වලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් දැන් නිෂ්පාදනය කරන්නේ තායිවානයයි.

භූ දේශපාලන තත්ත්වයන් මත තාක්ෂණික වශයෙන් වැදගත් මෙවැනි නිෂ්පාදන සපයා ගැනීම සඳහා චීනය හා තායිවානය මත යැපීම විශාල අවදානමක් ලෙස ඒ සමාගම් දකියි. ඒ නිසා ඒ අධිතාක්ෂණික චිප් නිෂ්පාදනය චීනයෙන් හා තායිවානයෙන් එළියට එන්නට සහ එළියට ගන්නට ලොකු උත්සාහයක් පවතී.

එය තමන්ට ඉතා හොඳ අවස්ථාවක් ලෙස ඉන්දියාව දකියි. ඒ නිෂ්පාදන සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 10ක් ආයෝජනය කරන බව ඉන්දීය ඇමැතිවරයා කියන්නේ එහෙයිනි. ඉන්දියාවේ දැනටත් එවැනි නිෂ්පාදන කරන ඉංජිනේරුවන් 52,000ක් සිටින බව කියන අමාත්‍යවරයා ඒ සංඛ්‍යාව 85,000 දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ද කියයි. ඒ තොරතුරුවලින් අනාවරණය වන්නේ ඇමෙරිකාව හා චීනය අතර පවතින ගැටුමෙන් ආර්ථික ප්‍රයෝජන ලබාගැනීමට ඉන්දියාව කොතරම් උත්සාහ කරන්නේද, සැලසුම් දියත් කරන්නේ ද යන්නය.

ඇපල් නිෂ්පාදන කරන ඒ බහු ජාතික සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 700 ක් වටිනා කර්මාන්ත ශාලාවක් චීනයෙන් ඉන්දියාවට ගෙනයාමට දැනටමත් සැලසුම් කර තිබේ. ඩොලර් බිලියන 42ක් ඉදිරි වසර පහේදී ඉන්දියාවේ ආයෝජනය කරන බව ජපානය කියයි. සැම්සුන් සමාගම තම ජංගම දුරකථන නිෂ්පාදනය කරන ලෝකයේ විශාලතම කම්හල දැනටත් ඉන්දියාවේ විවෘත කර තිබේ. ඉලෙක්ට්‍රික් වාහන එක්ලස් කරන කම්හලක් මේ අවුරුද්දේදී ඉන්දියාවේ ආරම්භ කරන බව මර්සිඩිස් බෙන්ස් සමාගම කියයි. ඒ තොරතුරුවලින් අනාවරණය වන්නේ බොහෝ බහුජාතික සමාගම් ඉන්දියාව ආයෝජනයට හොඳ රටක් ලෙස දකින බවය. බංග්ලාදේශයත් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනියි.

එහෙත් ලංකාව වර්තමානයේ අර්බුදයක ගිලී සිටියදීත් ඉන් ගොඩයන ක්‍රමය ගැන අවධානය යොමු නොකරයි. ගෝලීයව ලෝක වෙළෙඳාමේ ඇතිවන මේ විශාල වෙනස්කම් නිසා දකුණු ආසියාවට එන මෙවැනි අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට අවධානය යොමු කිරීම ලංකාව සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබේ.

චීනයෙන් පිටට එන ආයෝජකයන්, කර්මාන්තකරුවන් ආකර්ෂණය කරගන්නේ කෙසේදැයි ශ්‍රී ලංකාව කල්පනා නොකරයි. සැලසුම් නොහදයි. දකුණු ආසියාවේ රටවලට ගෝලීය සැපයුම්දාමය පැමිණෙද්දී එහි කොටස් කරුවකු වන්නේ කෙසේදැයි ලංකාව කල්පනා නොකරයි. ඒ සඳහා සැලසුම් සකස් නොකරයි.

ලංකාවට තිබෙන ලොකුම ප්‍රශ්නය විදේශ විනිමය උපයා ගැනීමට නොහැකිවීමය. ඒවා උපයා ගැනීමට තිබෙන ප්‍රධාන මාර්ග දෙකක් වන්නේ අපනයන හා ඍජු විදේශ ආයෝජනය. දැන්  එළඹ තිබෙන්නේ අපනයන වර්ධනය කර ගැනීමටත් ඍජු විදේශ ආයෝජන ලබාගැනීමටත් මහගු අවස්ථාවකි. එහෙත් ඒ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන නොගැනීම අවාසනාවකි.

වෙරිටේ රිසර්ච් පර් යේෂණ ආයතනයේ පර් යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිණි අබේසිංහ

(*** සාකච්ඡා සටහන – ගුණසිංහ හේරත්)