පවතින ඡන්ද ක්‍රමය අනුව පාර්ලිමේන්තුවට තෝරා ගනු ලබන මන්ත්‍රී සංඛ්‍යාව 225කි. ඡන්ද ක්‍රමයෙන් හා ඒ ඒ පක්ෂ ලැබූ ඡන්ද ප්‍රතිශතය මත ජාතික ලැයිස්තුවෙන් පත් කරන මන්ත්‍රී සංඛ්‍යාවත් සමගයි එම මන්ත්‍රීවරුන් 225ක් වශයෙන් තේරී පත් වන්නේ. දැනට යම් ආකාරයට අක්‍රිය වුවත් පළාත් සභා ක්‍රමය අනුව පළාත් 9ක් සඳහා මන්ත්‍රීවරු තෝරාපත් කර ගැනීම ද 1987 සිට 2018 වන තෙක් ක්‍රියාත්මක වුණි. ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරුන් 800කට අධික සංඛ්‍යාවක් තෝරාපත් කර ගැනේ.
මේ අයුරින් පවතින ඡන්ද ක්‍රමයෙන් මහජන නියෝජිතයන් තෝරා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස සැලකීම සමහරුන්ගේ සිරිත වී ඇත.
එහෙත් 1948 සිට ක්‍රියාත්මක මෙම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයෙන් ඡන්ද ක්‍රමය පමණක් පුරුෂාර්ථ බවට පත්කර ගැනීමේ අදුරදර්ශි ක්‍රියාමාර්ග සමස්ත සමාජ ආචාර ධර්ම බිඳ හෙළා මුග්ධ සමාජයක ලක්ෂණ මගින් සමාජ දේහය දුර්වර්ණ කර ගැනීමට මෙම ඡන්ද ක්‍රමය දිරි දී නැත්ද? මේ ගැන සිතීම යහපත් සමාජ ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට මග පැදීමක් නොවේද?
ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තරහ, පළිගැනීම වැනි දුර්ගුණ සමාජය තුළ වැපිරීමට මෙම ඡන්ද ක්‍රමය දායක වී ඇති අයුරු මැනවින් පැහැදිලි වී ඇත. එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර මෙන්ම මව් දෙමව්පියන් අතරද භේද බින්නතා ඇති කරන්නට මෙම ඡන්ද ක්‍රමය දායක වී ඇති බව නොරහසකි.
විශේෂයෙන් පක්ෂ බේදය මේ තත්ත්වය ශීඝ්‍රයෙන් වැඩිවීමට හේතු වී ඇත. එපමණක් නොව දේපල විනාශ කිරීමටත් මිනිස් ඝාතන කිරීමටත් මේ ඔස්සේ අදවනවිට එම අපරාධ වර්ධනය වී ඇත. 48 සිට මේ රට තුළ ක්‍රියාත්මක වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීම බරපතළ අයුරින් සමාජ පරිහානියට හේතු වන අයුරු පෙන්වා දෙමින් සමහර දේශපාලකයන් කරන පැහැදිලි කිරීම් බැලුවිට අඳුරු පටලයකින් ඔවුන්ගේ දසුන වැසි ඇති බවක් පෙනේ. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය සමාජය තුළ ක්‍රියාත්මක කර ඇති ආකාරයෙන් එය මොන තරම් වත්මන් සමාජ පරිහානියට හේතුවනවාදැයි විචාරශීලීව විමර්ශනය නොකිරීම දැවැන්ත අඩු පාඩුවක් බව පෙන්නුම් කර දිය හැක.
මහජන ඡන්දයෙන් නියෝජිතයන් (මන්ත්‍රීවරුන්) පත් කිරීමේදී ජනතාවට සිදුවනුයේ එක් අයකුගේ අභිමතයට අනුව ඔහු හඳුන්වා දෙන අයකුට හෝ කණ්ඩාමකට ඡන්දය දීමටය. ඉන්පසු ඡන්දය කොල්ල කෑම සඳහා ඉතා පහත් විධියට අද ජනතාව නොමග යැවීමත් රැවටීමත් අඩු වැඩි වශයෙන් ඡන්දය ඉල්ලන අය හා පක්ෂ ක්‍රියාත්මක කරයි. නොහැදූ මාර්ග අයිනේ ඡන්ද කාලෙට ගල්ගොඩවල් ලයිට් කණු ආදිය ගෙනවිත් දමයි.
මෙවරනම් පාර හදන බවට හා ලයිට් ලබාදෙන බවට අඟවයි. එහෙත් ඡන්දයෙන් පසු ඒවා නැවත වෙනත් තැන්වලට ගෙන යයි. ඡන්දය ඉල්ලා එන මිනිසුන් ඡන්ද දායකයන් වෙත යන්නේ වැඳගෙනයි. ඡන්දයෙන් දිනූ පසු දී ඇති පොරොන්දු අමතක කරති. එපමණක් නොව ජනතාවට ඔවුන් හමුවට යන්න වෙන්නේ ඒ අයට වැඳගෙනය. ඒත් ඔවුන් හමුවීමටවත් අවස්ථාවක් නොලැබේ. බැරිවෙලා හෝ හමුවුවහොත් ජන අවශ්‍යතා ඉටුකිරීම උගහට. එය සිදු වුවත් සිදුවන්නේ ඉතා මන්දගාමීවයි.
එසේම මෙම ක්‍රමය තුළ මහජන නියෝජිතයන්ගේ සුදුසුකම් ගැන සැලකිල්ලක් නැත. මුදල් වැඩිපුර තිබේනම් අධ්‍යාපනය නැතිවට කමක් නෑ වගේ තමයි සමහර ඡන්ද අපේක්ෂකයන් දිහා බැලුවම පෙනෙන්නේ. ඒ කෙසේ වුවත් මෙම මහජන නියෝජිතයන් මහජනයාට සේවය කරන බවට හිතාගෙන 1977 න් පසු බලයට පත් ආණ්ඩු මෙම මහජන නියෝජිතයන්ට මාසික වැටුප් ගෙවනවා පමණක් නොව සේවා වරප්‍රසාද සියල්ල ද නො අඩුව ලබා දෙන්නේ මහජනතාට අව්‍යජ සේවාවක් සැපයීමට පහසුකම් සැපයීමක් වශයෙනි. මෙහි ඇති සාවද්‍යතාව මහජනයාට දැන් ඔප්පු වී ඇතිවාට සැක නැත.
දැන්වත් විය යුත්තේ කුමක්ද? මෙම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමය මහජනයාට හා සමස්ත සමාජයට ගෙන එන හානිය සැලකිල්ලට ගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝකයේ ප්‍රභවය ගැන විග්‍රහ කොට දක්වා ඇති අග්ගඤ්ඤ සූත්‍රයට අනුව මහා සම්මතවාදය යටතේ මහජනතාවගේ හා සමාජ සංවර්ධනයට හානියක් නොවන දයාව, කරුණාව අහිංසාව, මෛත්‍රීය, සැහැල්ල දිවි පැවැත්ම, ලද දෙයින් සතුටුවීම, පොදු පරාර්ථ සේවය අර්ථවත් කරන යහගුණවලට ජනයා පොළඹවන ක්‍රමයක් වශයෙන් මහජන නියෝජිතයන් නම් කරන ක්‍රමවේදයකට මගපාදා ගැනීමයි. එවැනි ක්‍රමයක් ඉතාම යථා යෝග්‍ය බව අවධාරණය කරමි.
එසේම මහජන නියෝජිතයන් නම් කිරීමේ දී ඔවුන්ගේ සුදුසුකම් ඇතුළත් නිර්නායක අනුවම එය සිදුවිය යුතුයි. මෙම ක්‍රමය සඳහා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් කොට අලුත්ම ව්‍යවස්ථාවක් පිටරටකට ගැති නොවන දේශයට ඔබින එකක් සේ නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙමි.
ඕමාරේ කස්සප ශ්‍රී රෝහණ සංඝ සභාවේ ජ්‍යෙෂඨ අනු නාහිමි.