ඡන්ද ක්‍රමය වෙනස් කිරීමකට සුදුසු අවස්ථාව මේකද?


පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට නියමිතව තිබෙන බව පසුගියදා මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබිණි. ඒ සඳහා සකස් කෙරුණු විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව ඇතැයි ද සඳහන් වේ. අධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලදැයි ද කියැවෙයි.

මේ රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ආගන්තුක දෙයක් නොවේ. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීමෙන් පසුව මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ 22 වැනි සංශෝධනය වීමෙන් ඒ බව පැහැදිලි වෙයි. වරක් ප්‍රකට කියමනක් බවට පත්ව තිබුණේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කෙරෙන වාර ගණන කොතරම් වැඩිදැයි කිවහොත් එය වාර ප්‍රකාශන ගණයට වැටී තිබෙන බවය.

රටක ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් උදාවීම යහපත් ලක්ෂණයක් නොවේ. කාලානුරූපව වෙනස් විය යුතු කරුණු සම්බන්ධයෙන් පමණක් රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වීම අවශ්‍ය වුව ද එක් එක් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් එවැනි සංශෝධන කිරීම නුසුදුසුය. එවැනි ක්‍රියා මාර්ග රටේ පාලනය නිරවුල් කිරීමට වඩා වියවුල් ඇති කිරීමට පවා හේතු විය හැකි ය.

මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණු වශයෙන් දක්වා ඇතැයි ප්‍රකාශ වී තිබේ. ඒ අනුව ලබන වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණයට පෙර මේ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂිතය. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුද? නැද්ද? යන්න ජනතාවගෙන් විමසීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පවා සාකච්ඡා සිදුවී ඇතැයි ද පැවසෙයි. එසේ වුවහොත් ලබන වසරේ නොවැම්බරයේ දී හෝ ඊට පෙර පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය කල් යාමට ඉඩ තිබෙන බව යථාර්ථයයි.

රටක පවතින මැතිවරණ ක්‍රමය තුළ ඇති දුර්වලතා සහ ගැටලු‍ හඳුනාගෙන ඒවා නිවැරැදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ වැරැද්දක් අපි නොදකිමු. එහෙත් එවැනි සංශෝධනයකට ඉඩ සලස්වමින් වසර 05කට වරක් පැවැත්විය යුතු බවට ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනාධිපතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් නම් අපට එකඟ විය නොහැක.

එසේ වුවහොත් එම සංශෝධනය ජනතාව දකිනු ඇත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට සද්භාවයෙන් සිදු කෙරෙන කටයුත්තක් හැටියට නොව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමේ උප්පරවැට්ටියක් හැටියටය. පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පවා කල් දමා තිබෙන අවස්ථාවක රටේ ජාතික මැතිවරණයක් කල්දැමීමට තැත් කිරීම රටේ මහත් කැළඹීමකට පවා හේතුවීමට ඉඩ තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටකට එවැනි තත්ත්වයක් කිසිසේත් ඔරොත්තු නොදෙනු ඇත.

රටේ වර්තමානයේ පවතින ආර්ථික සහ සමාජයීය ගැටලු‍ මැද ජීවත්වෙන රටේ පොදු මහජනතාවට මේ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුද යන්න ගැන මතයක් තිබෙනවාදැයි අපි නොදනිමු. රටේ දිළිඳුභාවය ද වර්ධනය වෙමින් තිබිය දී ආහාර සහ පෝෂණය සම්බන්ධයෙන් ඔවුහු බරපතළ ගැටලු‍වලට මුහුණ දී සිටිති. අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ඉහළ යාමත් රැකියා සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත බවත් ඇතුළු ගැටලු‍ මැද සිටින ජනතාවට දැන් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම යනු ඇඟට දැනෙන මාතෘකාවක් වීමට ඉඩක් නැත.

මැතිවරණ නිරීක්ෂකයකු වශයෙන් කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා අපගේ සහෝදර ‘දේශය’ පුවත්පතට ප්‍රකාශකර තිබුණේ තමන්ගේ මතය අනුව රටේ දැනට පවතින මැතිවරණ ක්‍රමය රටේ ගැටලු‍වලට විසඳුම් සෙවීම සඳහා වැදගත් සහ ප්‍රමාණවත් බවය. වෙනස් කළ යුත්තේ මැතිවරණ ක්‍රමය නොව රටේ සමාජ සංස්ථාව බිඳ වැටී නීතියේ ආධිපත්‍ය නැතිවී ගොස් තිබෙන තත්ත්වය බව ද ඔහු පෙන්වා දී තිබිණි.

(***)