ඡන්ද ප්‍රචාරක වියදම් සීමාව අවශ්‍ය පියවරක්


මැතිවරණයකදී මේ රටේ අපේක්ෂකයන් කරන වියදම රට තුළ ප්‍රබල විවේචනයකට ලක්වන මාතෘකාවකි. කොතරම් වියදම් කළත් වෙනත් බොහෝ රටවල මෙන් නොව මෙරටදී ඡන්ද අපේක්ෂකයකු නීතිය ඉදිරියේ ප්‍රශ්න කෙරෙන්නේ නැත. ඡන්ද වියදම් පාලනයට දැනට පවතින නීති යටින් රිංගා යාමට තිබෙන පහසුකම් හේතුවෙන් එසේ සිදුවන බව පිළිගැනීමය. මේ නිසා රජය මගින් අලු‍තින් හඳුන්වා දීමට සැලසුම් කෙරෙන මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පත ඉතා යහපත් පියවරක් වශයෙන් හඳුන්වා දිය හැක.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබුණේ මෙම පනතට අනුව යම් අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල තීරණය කරන්නේ මැතිවරණ sමිෂන් සභාව බවය. නව පනතට අනුව නියමිත ප්‍රමාණය ඉක්මවා වියදම් කරන අපේක්ෂකයකු ජයග්‍රහණය කළහොත් එම මන්ත්‍රී ධුරය අහිමි කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමිවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. විය යුත්තේ ද එයයි. පනතකින් කොතරම් තහංචි පැනවූවත් එම තහංචි බිඳහෙලන මන්ත්‍රීවරුන්ට ගැලවී යා හැකි මගක් තිබේ නම් පනතින් ප්‍රයෝජනයක් නැත. වැරැද්දට දඬුවමක් තිබිය යුතුය. දඬුවම මන්ත්‍රී ධුරය අහෝසිවීම නම් කිසිම අපේක්ෂකයකු එම අවදානම නොගන්නා බව විශ්වාස කළ හැකිය.

මැතිවරණවලදී වැඩියෙන් ප්‍රචාරක වියදම් කිරීමට හැකියාව තිබෙන අපේක්ෂකයාට බැලූ බැල්මට විශාල වාසියක් තිබෙන බව පැවසීම අසත්‍යයක් නොවේ. පූර්ව මැතිවරණ අවස්ථාවේදී ජනතාව අතරට යන ප්‍රචාරය ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී ප්‍රබල බලපෑමක් සිදුකරන බවට සියලු‍ අපේක්ෂකයන් අතරේ පවතින මතයක් බැවිනි. මේ හේතුවෙන් හැකි තරම් වියදම් කර ප්‍රචාරක වාසියක් ලබාගැනීමට ඡන්ද අපේක්ෂකයෝ පෙළඹෙති. ඒ සඳහා ඔවුන් වැය කරන මුදලට සීමාවක් නැත.

ඔවුන් වෙනුවෙන් වියදම් කිරීමට සැදී පැහැදී සිටින අතමිට සරු පුද්ගලයන්ද සිටීම හේතුවෙන් මැතිවරණයකදී අසීමිත ලෙස මුදල් වැයවීමක් සිදුවෙයි. මෙය සෑම අපේක්ෂකයකුටම අදාළ වන්නේ නැති බවත් සඳහන් කළ යුතුය. ඇති - හැකි පිරිස නොමසුරුව මැතිවරණයකදී මුදල් වැය කරන්නේ වඩාත් හොඳ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් බව ප්‍රසිද්ධ රහසකි. මේ නිසා තමන්ගේ මනදොළ සපුරන අපේක්ෂකයන්ට වැඩියෙන් අත දිගහැර වියදම් කිරීමට එම පිරිස පෙළඹෙති.

මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා මෙවැනි නීති පැනවීමට ප්‍රධාන හේතුවක් වන්නේ සමාජයේ පිළිගැනීමට ලක්වෙන අවංකව සේවය කළ හැකි මන්ත්‍රීවරුන් පත්කර ගැනීමට ඇති අවස්ථා අහිමිවන නිසා බවද සඳහන් වෙයි. මැතිවරණ කටයුතුවලදී අත දිගහැර වියදම් කිරීමට ඇතැම් අපේක්ෂකයන්ට හැකියාව ලැබෙන්නේ පළාතේ විවිධ ජාවාරම් sසිදුකරන එසේම කළු සල්ලි සන්තකයේ ඇති පුද්ගලයන්ගේ සහාය ලැබීම හේතුවෙනි.

අවංකව කටයුතු කරන සමාජයේ පිළිගැනීමට ලක්වෙන අපේක්ෂකයන් වටේ එවැනි පිරිස් ගැවසෙන්නේ නැත. මේ හේතුවෙන් කොතරම් උගත්, බුද්ධිමත්, රටට වැඩක් කළ හැකි පුද්ගලයන් වුවද ඔවුන්ට මන්ත්‍රීවරුන් වීමට තිබෙන අවස්ථා සීමිතය. නව පනතට අනුව එසේ ඔවුන් අසාධාරණයට ලක්වීමෙන් වැළකෙනු ඇත.

නව පනත් කෙටුම්පතේ නීති ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන යන සියලු‍ මැතිවරණ සඳහා අදාළ වනු ඇතැයි ද සඳහන් වේ. එසේම මැතිවරණයකදී රජයේ දේපළ භාවිතය, නොයෙක් කල්ලි, කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන සහ විදේශ ආධාර ලබාගැනීමද තහනම් බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබිණි. මැතිවරණයකදී අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල තීරණය කරනු ලබන්නේ මැතිවරණ කොමිසම බැවින් සෑම අපේක්ෂකයකු විසින්ම ලබා දිය යුතු වියදම් කළ මුදල සහ එය උපයාගත් ආකාරය සඳහන් වාර්තාවේ කරුණු අසත්‍ය නම් එය වරදක් සේ සලකා ඔවුන්ට දඬුවම් ලබා දීමද සිදු කළ හැකිය.

ඡන්ද ප්‍රචාරක වියදම් සම්බන්ධ මේ නව නීතිවලින් අපේක්ෂිත යහපත් අරමුණු ඒ ආකාරයට ඉටුවනු ඇත්තේ ඒ නීති අකුරටම ක්‍රියාත්මක කෙරෙන්නේ නම් පමණි. ආණ්ඩුවේ අපේක්ෂකයන්ට පරණ නීතියක් සෙසු අපේක්ෂකයන්ට අලු‍ත් නීතියක් ආකාරයට ප්‍රචාරක වියදම් සඳහා නීති බලපාන්නේ නම් මෙය තවත් එක් නීතිමය ලියැවිල්ලක් පමණක් වනු ඇත. දැනට පවතින මැතිවරණ වියදම් සීමා නීතිවලට අත්වී තිබෙන්නේ ඒ හා සමාන ඉරණමකි.

විවිධ උපක්‍රම යොදාගෙන තමන් සිදුකරන වියදම්වලට වෙනම චිත්‍රයක් මවාපෑමට බොහොමයක් අපේක්ෂකයන් උපන් හපන්නුය. ඔවුන් බොහෝ විට ප්‍රකාශ කරන්නේ තමන්ගේ දන්නා සහ නොදන්නා හිතවතුන් තමන් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කරන බවත් එයට තමන්ගේ සම්බන්ධයක් නැති බවත්ය. එම අතේ පැළවෙන බොරුවට අලු‍ත් නීතියෙන්ද ඉඩක් තිබේදැයි විමසා බැලිය යුතු බව සඳහන් කළ යුතුය. එසේ ඉඩක් තිබේ නම් නීතිය අලු‍ත් වුවද දිගටම ක්‍රියාත්මක වනු ඇත්තේ පරණ බොරුවමය.

(***)