පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම මගින් ආරම්භ කර ඇති ක්‍රියාදාමය කඩාකප්පල් කිරීමට කිසියම් පිරිසක් බලවත් ප්‍රයත්නයක් දරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු මැතිවරණයක් විවිධ හේතු දක්වමින් කඩාකප්පල් කිරීමට දරන සියලු උත්සාහයන් පරාජය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම දෙනාගේ ප්‍රමුඛ වගකීමය.
මාර්තු 9 වැනිදාට දින නියම කෙරුණු පළාත් පාලන මැතිවරණය නොපවත්වන ලෙසට බල කෙරෙන අදෘශ්‍යමාන බලවේග තම ක්‍රියාදාම කොතරම් දුරකට රැගෙන ගොස් ඇතිදැයි කිවහොත්, මේ වන විට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනකුට දුරකතනය හරහා මරණීය තර්ජන එල්ල කර තිබේ.
ඒ අතරවාරයේ එක් සාමාජිකයකුගේ නිවෙස මහ රෑ ඡායාරූප ගැනීමට පැමිණි මෝටර් රථයක් පිළිබඳ තොරතුරු ද හෙළි විය.මැතිවරණය කඩාකප්පල් කිරීමේ චේතනාවෙන් සිදු කෙරෙන මෙවැනි ක්‍රියා නිර්ලජ්ජිත ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහයන් බව කිව යුතුය. මැතිවරණයක් පැවැත්වීම මේ තරමට අජීර්ණ වී ඇත්තේ කාටදැයි වහාම සොයා බැලිය යුතු නොවේ ද? රටේ පවතින නීති රීති උපයෝගි කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කිසියම් මැතිවරණයක් කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරනවා නම්, ඒ ගැන ගැටලුවක් නැත.
එහෙත් නීත්‍යනුකූල ලෙස එවැන්නක් කිරීමට අවකාශයක් නොමැති තත්ත්වයක් තුළ බලහත්කාරී ලෙස මැතිවරණ කොමිසම අඩපණ කිරීමෙන් මැතිවරණය නොපවත්වා සිටීමට බල කිරීම නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බව පෙන්වා දෙමු. ඒ අනුව මැතිවරණ කොමිසමට මරණීය තර්ජන එල්ල කරන පුද්ගලයන් කවුදැයි සොයාගන්නා තුරු ආණ්ඩුව දෙසට ඇඟිල්ලක් දිගු වීම වැළැක්විය නොහැක.
මොනම පුද්ගලයකුට හෝ මරණීය තර්ජන එල්ල කිරීම බරපතළ අපරාධමය වරදක් වීම හේතුවෙන් ඒ ගැන උපරිම සොයා බැලීමක් කර වැරැදිකරුවන් සොයා ගැනීම ආණ්ඩුවේ වගකීම බැවිනි. තාක්ෂණය මේ තරම් දියුණු කාලයක දුරකතනය හරහා මරණීය තර්ජන එල්ල කරන පුද්ගලයකු සොයා ගැනීම මහ ලොකු වැඩක් නොවේ. රාත්‍රී කාලයේ නිවෙසකට පැමිණ ඡායාරූප ගත් වාහනය සොයා ගැනීම ද එවැනිම පහසු ක්‍රියාවකි.
මේ රටේ මැතිවරණ පැවැත්වීමේදී ඊට සහභාගි වූ රාජ්‍ය නිලධාරීන් වෙඩි තබා ඝාතනය කළ අවස්ථා ද තිබිණි. එසේම ඡන්දය ලබා දීමට යන තැනැත්තාට මරණ සහතිකය අතේ තබාගෙන යා යුතු අවස්ථා ද උදා විය. ඡන්ද පෙට්ටි ගිනි තැබීම, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන බස් රථවලට වෙඩි තැබීම් කළ යුගයක් ද තිබිණි. අද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නගන ජනතා විමුක්ති පෙරමුණ එදා එම තත්ත්වය රට තුළ ඇති කිරීමේ පුරෝගාමියෝ වූහ.
එහෙත් ඔවුන් එම තත්ත්වයට පත්කරනු ලැබුවේ ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ මැතිවරණය වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීම හේතුවෙන් බව ද අමතක නොකළ යුතුය. මැතිවරණයක් නොපැවැත්වීමේ ආදීනව සිතාගත නොහැකි තරම් බරපතළ විය හැකි බවට වෙනත් උදාහරණ අවශ්‍ය නැත.
මේ රට යළිත් එවැනි තත්ත්වයකට තල්ලු කළ යුතු නැත. රටේ ආර්ථික තත්ත්වය භයානක අඩියක පවතින බව මේ රටේ සියලු දෙනා දැන සිටිති. රජයේ අමාත්‍යවරුන් ප්‍රකාශ කරන්නේ, රජයේ වියදම් තවදුරටත් අඩු කළ යුතු බවය. ආදායමට වඩා වියදම වැඩි බව පුන පුනා කියනු ඇසෙයි.
මැතිවරණය පිළිබඳ කිසිවක් සඳහන් නොවුණත්, මේ ආර්ථික ගැටලු මේ ආකාරයට ප්‍රකාශ කරන්නේ පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීමේ අරමුණින් බව තේරුම් ගැනීම දුෂ්කර නැත. එහෙත්, ආර්ථික ගැටලු හේතුවෙන් මැතිවරණයක් කල් දමනවා නම්, මේ ඊළඟ මැතිවරණය කවදා පැවැත්වෙනු ඇතිදැයි අනුමාන කිරීම පවා අපහසුය. ආර්ථික ගැටලු විසඳා ගැනීමට පහසු සහ ඉක්මන් මාර්ග සිතියමක් රට හමුවේ නැති බැවිනි. මුදල් අපහසුතා ඉදිරියට දමමින් මාර්තු 9 වැනිදාට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කටයුතු කිරීම රටේ ජනතාව කිසිසේත් අනුමත නොකරනු ඇත.
අනෙක් අතට මැතිවරණයක් කල් දැමීමෙන් පරාජයක් වළක්වා ගැනීමට කිසිදු ආණ්ඩුවක් මෙතෙක් සමත් වී නැත. ආසන්නම උදාහරණය, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ යහපාලන ආණ්ඩුව 2017 දී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමය.
වසරක් ගෙවී 2018 දී පැවැත්වූ මැතිවරණයෙන් එම ආණ්ඩුවට අත් වූයේ බරපතළ පරාජයකි. මැතිවරණයක් කල් දැමුවහොත් එය කවදා හෝ පැවැත්වීමට සිදුවන බවත්, එහිදී රටේ පොදු මහජනතාවගේ ප්‍රතිචාර ආණ්ඩුවකට දරාගත තරම් නොහැකි වනු ඇති බවත් යථාර්ථයයි.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන සියලු පක්ෂවල මැති ඇමැතිවරුන් එදා 2017 දී පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ හවුල්කරුවෝ වූහ. පක්ෂ තුනේම සිටි මන්ත්‍රීවරු එදා එ.ජා.ප., ජ.වි.පෙ. සහ එ.ජ.නි.ස. නියෝජනය කළහ. ඡන්දය කල් දැමීමට ඔවුන් බොහෝ දෙනකුගේ සහාය ලැබිණි.
එසේ වුව ද අද ඔවුන් සියලු දෙනා ඡන්දය කල් දැමීමට එරෙහිව සටන් වැද සිටීම අගය කළ යුතුය. සිදු කළ වැරැද්ද යළිත් සිදු වීමට ඉඩක් දිය යුතු නැත. පැවැත්විය යුතු ඡන්දය කල් දැමීමට දරන සියලු උත්සාහයන් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ව්‍යර්ථ කළ යුතුය.
(***)