නව මැතිවරණ ක්‍රමය යටතේ පළමු වැනි පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ 2018 දීය. 1987 සිට අවස්ථා දෙකකදී හැර සෑම වතාවකදීම විෂය භාර අමාත්‍යවරයා විසින් මැතිවරණය කල් දමනු ලැබ තිබේ. පළාත් පාලන මැතිවරණය අවුරුද්දකින් කල්දැමීමට විෂයභාර අමාත්‍යවරයාට බලය තිබේ. බොහෝ ආණ්ඩුවල සිටි අමාත්‍යවරු ඒ බලය භාවිත කළහ. කවුරු බලයේ සිටියත් වී තිබෙන්නේ එයයි. එසේම කොටස් වශයෙන් ද මැතිවරණය පවත්වා තිබේ. ඒ බලයේ සිටි පාලකයන්ගේ බලය තහවුරු කරගැනීම සඳහාය.
2018 මැතිවරණය පැවැත්වූයේ අවුරුදු දෙකහමාරක ප්‍රමාදයකින් පසුවය. එයට හේතු වූයේ සීමා නිර්ණය අවසන් නොකිරීමය. සීමා නිර්ණය අවසන් කරගත්තේ අධිකරණ තීන්දුවකිනි. අධිකරණයට ගියේ අපය. ඒ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2018 දී නොව 2015 දීය. දැන් පැවැත්වීමට නියමිත මැතිවරණයද විෂයභාර අමාත්‍යවරයා විසින් කල්දමනු ලැබූවකි. කල් දැමීමට සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ යුතු වුවත් කිසිම හේතුවක් ඉදිරිපත් නොකෙරිණි.
2021 සැප්තැම්බරයේ සිට මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබිණි. මැතිවණ කොමිසම විසින් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට අනවශ්‍ය කාලයක් ගත් බව අපේ මතයයි. කොමිසමේ ඒ පමාව නිසා අමාත්‍යවරයා මැතිවරණය කල් දැම්මේය. අසාධාරණ, අහේතුක සහ අයුක්තිසහගත කල් මැරීමෙන් පසුව මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශයට පත් කළේ 2023 ජනවාරි 04 වැනිදාය.
මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත මේ මැතිවරණය වැළැක්වීමට හා නොපවත්වා සිටීමට ගෙන තිබෙන උත්සාහ ගණන 11 කි. පළමු උත්සාහය වන්නේ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනා කිරීමය. එහි අරමුණ බව කිව්වේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමය. ඒ සඳහාම වූ තේරීම් කාරක සභා තුනක නිර්දේශ තිබියදී ඒ නිර්දේශ ක්‍රියාත්මක නොකර යළි තේරීම් කාරක සභාවක් පත්කිරීමට යෝජනා කළේ මැතිවරණය කල් දැමීමට බව අපේ මතයයි. දෙවැනි උත්සාහය වන්නේ සීමා නිර්ණය කොමිසමක් පත් කිරීමය. ඒ කොමිසම පත් කළේ පළාත් පාලන ආයතනවල ආයු කාලය වන අවුරුදු හතරත් විෂය භාර අමාත්‍යවරයා විසින් කල්දමනු ලැබූ අවුරුද්දත් ගතවූ පසුවය. තෙවැනි උත්සහාය මැතිවණ කොමිෂන් සභාවේ සමාජිකයන් කැඳවා ඔවුන්ට වක්‍රව බලපෑම් කිරීමය.
ස්වාධීන කොමිසමකට එසේ බලපෑම් කිරීම නරක පූර්වාදර්ශයකි. තරුණ කෝටාවක් හඳුන්වාදීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒම මේ මැතිවරණය වැළැක්වීමට ගත් සිව්වැනි උත්සාහයයි. අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමේ කෙටුම්පත මේ මැතිවරණය වැළැක්වීමට ගත් පස්වැනි උත්සාහයයි. ඒ පනතේ පොදු අරමුණ ඉතා යහපත්ය. එහෙත් ආණ්ඩුවේ හැසිරීම් නිසා ඒ පනතට මුවා වී මැතිවරණය කල් දැමීමට යළිත් උත්සාහ කරාවිදැයි අපට ඇත්තේ සැකයකි. අවදානමකි.
අපේක්ෂක ඇප මුදල් භාරගැනීමෙන් වළකින ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කරනු ලැබීය. මේ මැතිවරණය වැළැක්වීමට ගත් හයවැනි උත්සාහයයි. පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඒ ලිඛිත නියෝගය නිකුත් වූයේ 2023 ජනවාරි 10 වැනිදාය. එය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පටහැනි ක්‍රියාවකි. ආණඩු ක්‍රම ව්‍යවස්ථාවේ 104 වැනි වගන්තියේ සඳහන් වන්නේ රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලියට සහයෝගය දැක්විය යුතු බවය. නොසලකා හැරියොත් උපදෙස් මත ක්‍රියා නොකළහොත් හා බාධා කළහොත් අවුරුදු තුනක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම වන බව ව්‍යවස්ථාවේ 104 ‘ඌ’ වගන්තියෙහි නිරවුල්ව සඳහන් වෙයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැන් ඒ අවදානමට මුහුණ දී සිටියි.
තමන් ඒ නියෝගය කරන්නේ අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ 2023 ජනවාරි 10 දිනැති නියෝගය මත බව රාජ්‍ය පරිපාලන ලේකම් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යැවූ ලිපියෙහි සඳහන් වෙයි. එහෙත් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ අමාත්‍ය මණ්ඩලය එවැනි තීරණයක් නොගත් බවය. එහෙයින් දේශපාලන කොන්ත්‍රාත් ඉටු කරන රාජ්‍ය නිලධාරීන් බෙහෙවින් පරිස්සම් විය යුතුය. හේතුව දේශපාලන කොන්ත්‍රාත් ඉටු කළහොත් තමන්ට බෙල්ල දීමට සිදුවන හෙයිනි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට මරණ තර්ජනය කිරීම මේ මැතිවරණය වැළැක්වීමට ගත් තවත් උත්සායක් බව අපේ නිරීක්ෂණයයි. කවුරුන් බය කළත් එහි අරමුණ එය බව ඉතා පැහැදිලිය. එය මේ මැතිවරණය වැළැක්වීමට ගත් හත් වැනි උත්සාහයයි. මැතිවරණ කොමිසම ගන්නා තීන්දු නීත්‍යානුකූල නැති බවට මතයක් සමාජගත කිරීමට ගන්නා උත්සාහය මේ මැතිවරණය වැළැක්වීමට ගන්නා අටවැනි උත්සාහයයි. මැතිවරණය පැවැත්වීමේ අවිනිශ්චිතභාවය පිළිබඳ මතයක් සමාජගත කර තිබීම මේ මැතිවරණය වැළැක්වීමට ගන්නා නවවැනි උත්සාහය ලෙස අපි දකිමු.
එසේම මැතිවරණය පැවැත්වීමට මුදල් නැතැයි කීම මේ පළාත් පාලන මැතිවරණය වැළැක්වීමට ගන්නා දහවැනි උත්සාහයයි. මේ මැතිවරණයට මුදල් වෙන් කළේ 2022 දෙසැම්බර් මාසයේ සම්මත කළ අය වැයෙනි. ඒ මුදල රජයේ සමස්ත වැයෙන් සියයට 0.25 කි. ඒ අනුව එක ඡන්ද දායකයකුට වැය වන්නේ රුපියල් 594 කි. ඒ මැතිවරණයට වැය වන සම්පූර්ණ මුදල සමස්ත රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට පැයකට වැය කරන මුදලට සමානය. මා මේ කියන්නට උත්සාහ කරන්නේ මේ මැතිවණයට වැය වන්නේ රජයේ සමස්ත වියදමෙන් ඉතා සුළු මුදලක් බවය. දෙසැම්බර් මාසයේ සම්මත කළ අය වැයෙන් වෙන් කළ මුදල් ජනවාරි මාසයේදී නැතැයි කියන්නේ කොහොමද? ඒ කතා පිළිගත හැක්කේ කාටද?
යෝජිත පළාත් පාලන මැතිවරණය වැළැක්වීමට ගෙන තිබෙන 11 වැනි උත්සාහය මැතිවරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමය. මා ඒ සඳන් කළේ ප්‍රමුඛ උත්සාහ 11 ක් පමණකි. තවත් පුංචි පුංචි උත්සාහ කොතෙකුත් තිබේ. මෙය පළාත් පාලන මැතිවරණයක් නිසා මේ මැතිවරණය පැවැත්වීමෙන් ජනතාවගේ ජීවන මට්ටමෙහි වෙනසක් නොවෙයි. එහෙත් එය ව්‍යවස්ථාපිත මැතිවරණයකි. නියමිත කාලයේ මැතිවරණ පැවැත්වීම ආණ්ඩුවේ වගකීමකි. මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කළ පනත් මතය. කොමිසම ඉටු කරන්නේ ඒ පනත්වලින් පැවරී තිබෙන වගකීම්ය, කටයුතුය. ඒ නීති සකස් කළේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවේ සිටින්නෝ ජනතා නියෝජිතයෝය.
රට ඉල්ලා සිටින්නේ ජනතා නියෝජිතයන් විසින් ජනතාව උදෙසා සකස් කරනු ලැබ තිබෙන නීති ක්‍රියාත්මක කරන ලෙසය. ලංකාවේ මැතිවරණවලදී බොහෝ දුරට සිදුවන්නේ අකැමැත්ත ප්‍රකාශ කිරීමය. ඒ සඳහා තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මැතිවරණ පැවැත්වීමය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට විලංගු දමන්නේ නම් ජනතාව යොමුවන්නේ ප්‍රචණ්ඩත්වයටය. රටේ ජනතාව මිලියන 22 යි. ඔවුනට ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මකවීමට ඉඩ කඩ සැලසීම සහ ඊට විලංගු නොදමා සිටීමට සියලු බලධාරීන් රටේ පවතින නීතිවලින් බැඳී සිටියි.
මැතිවරණයක් ප්‍රකාශයට පත් වූ පසුව පොදු දේපළ අවභාවිත කිරීම ලංකාවේ සාමාන්‍ය තත්ත්වයකි. බොහෝ විට එසේ කරන්නේ බලයේ සිටින ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සහ නිලධාරීන්ය. නාමයෝජනා භාර දීමටත් පළාත් පාලන ආයතනවලට අයත් වාහනවලින් ගිය බවට සාක්ෂි දැන් අපට ලැබෙමින් පවතියි. වාහන පමණක් නොව ගොඩනැගිලි, මුදල් හා කාර්ය මණ්ඩලද එසේ අවභාවිත කිරීමට ඉඩ ඇත. කවුරු කළත් ඒවා මැතිවරණ දූෂණය. එසේම ඡන්ද ලබාගැනීම සඳහා විවිධ අල්ලස් දීම් ද සිදුවිය හැකිය.
එසේම මෙතෙක් ක්‍රියාත්මක නොකළ සංවර්ධන ව්‍යාපෘති ද දැන් ක්‍රියාත්මක විය හැකිය. එවැනි කටයුතු සම්බන්ධ තොරතුරු සාක්ෂි සහිතව මැතිවරණ කොමිසමට සහ නිරීක්ෂණ සංවිධානවලට ලබා දෙන්නැයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු. ඒ අල්ලස්, නීති විරෝධී ක්‍රියා සහ දූෂණවලට එරෙහිව නඩු පැවරිය හැකිය. එවැනි කටයුතු මගින් තේරී පත්වන සභිකයන්ගේ මන්ත්‍රීකම් තේරී පත්වූ පසුව ද අහෝසි කළ හැකිය. පසුගිය පළාත් පාලන මැතිවණයේදී මොනරාගල ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කර ජයග්‍රහණය කළ අපේක්ෂකයකුගේ මන්ත්‍රී ධුරය මහාධිකරණ තීන්දුවක් මගින් අහෝසි කිරීම උදාහරණයකි.
ඒ මන්ත්‍රීවරයාට තම මන්ත්‍රීකම අහිමි වූයේ අල්ලස් දීමක් නිසාය. කෑම බීම, සිල් රෙදි, උදලු තල, ටකරන්, ඔරලෝසු, සිමෙන්ති, පිඟන් කොප්ප යනාදී වශයෙන් අල්ලස් විවිධාකාරයෙන් ක්‍රියාත්මක විය හැකිය. ජනතාවට රුපියල් 500 ක් වටිනා දෙයක් දෙන මැතිවරණ අපේක්ෂකයාගේ බලාපොරොත්තුව ජනතාවගෙන් රුපියල් 50,000 ක් කඩා වඩා ගැනීම බව රටේ ජනතාවට සුපැහැදිලි සත්‍යයකි. ඒ නිසා ජනතාව අල්ලස්වලට ගැති නොවී තාඩන පීඩනවලට බිය නොවී හැඟීම්බර නොවී අවේගශීලී නොවී බුද්ධිමත්ව සිතා බලා ඡන්දය පාවිච්චි කළ යුතුය. හැඟීම් හා ආවේග මත ඡන්දය දී ඉන් පසුව දේශපාලකයන් හොරුය, කොල්ලකාරීන්ය කියමින් අවලාද නැගීම ජනතාවට සුපුරුදු ක්‍රමයයි. ඒ ක්‍රමයට දැන්වත් තිත තැබිය යුතු බව අපේ නිරීක්ෂණ නිගමනයයි.
මැතිවරණ ක්‍රියාවලියට සහ රාජකාරිවලට ග්‍රාම නිලධාරිගේ සිට අමාත්‍යාංශ ලේකම් දක්වා සිටින සියලු රාජ්‍ය නිලධාරයොත් පොලිසියේ සියලු නිලධරයොත් සම්බන්ධ වෙති. මැතිවරණ කොමිසමේ නියෝග, නිර්දේශ හා උපමානවලට අනුගතව ක්‍රියාත්මක වීමට ඔවුහු නීතියෙන් බැඳී සිටිති. ඒ නීතියට පටහැනිව ක්‍රියා කරන ඔවුනට වසර තුනක සිර දඬුවමක් සමග මුදලින් රුපියල් ලක්ෂයක දඩයක්ද නියම වන අයුරින් නීතිය ක්‍රියාත්මක කළ හැකිය. රාජ්‍ය සේවකයෝ ඒ බව මැනවින් අවබෝධ කරගත යුත්තෝය.
දේශපාලකයන්ගේ වුවමනා එපාකම් ඉටු කළ ජනාධිපති ලේකම්වරුන් පවා නීතියෙන් දඬුවම් ලැබූ බව ඔවුහු අවබෝධ කරගත යුත්තෝය. එහෙයින් මැතිවරණ ක්‍රියාවලිය උදෙසා රාජ්‍ය දේපළ අවභාවිත කිරීමට දේශපාලකයන්ට ඉඩ නොදීම රාජ්‍ය සේවකයන්ගේ වගකීමකි. ඒ වගකීම් ඉටු නොකළොත් නීතියෙන් දඬුවම් විඳීමට සිදුවන්නේ තමනට බව ඔවුහු වටහාගත යුත්තාහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33- ‘ඇ’ වගන්තිය යටතේ මැතිවරණ පැවැත්වීමට අවශ්‍යය පහසුකම් සැලසීමට ජනාධිපතිවරයා පවා වගකීමෙන් බැඳී සිටින බව සියලු රාජ්‍ය නිලධරයෝ අවබෝධ කරගත යුත්තෝය. තේරුම්ගත යුත්තාහ.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වයේ (පැෆරල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි
සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්
(***)