අයවැයක් ආසන්න වන විට විවිධ ආකාරයේ සහන ඉල්ලා වෘත්තීය සමිති, වෘත්තිකයන්ගේ සංවිධාන ඇතුළු කණ්ඩායම් උද්ඝෝෂණය කිරීම මේ රටට හුරුපුරුදු ක්‍රියාවකි. එහෙත් මෙවර එම ක්‍රියාවලියේ කිසියම් වෙනසක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.
රජයේ සේවකයන් රුපියල් විසි දහසක වැටුප් වර්ධකයක් ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වන අතර ගුරු විදුහල්පති සංගම් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවත් හේතු මත උද්ඝෝෂණයේ සහ වැඩවර්ජනයේ යෙදී සිටි බව දැකගන්නට තිබිණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ද තම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සටනට පැමිණ එක්දින වැඩවර්ජනයක ද නිරත විය.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ සහ සේවා මිල ගණන් දරාගත නොහැකි තරමින් ඉහළ යමින් තිබේ. විදුලි බිලේ තුන්වැනි වර සිදුකෙරුණු වැඩි කිරීම පොදු ජනතාවගේ හදවතටම වැදී තිබේ.
ඒ තත්ත්වය කොතරම් උග්‍ර වී දැයි කිවහොත් විදුලි බිල් නොගෙවූ පාරිභෝගිකයන් ලක්ෂ 07කට අධික පිරිසකගේ විදුලිය විසන්ධි කිරීමට සිදුවී ඇතැයි යන ප්‍රවෘත්තියක් ද මාධ්‍ය ඔස්සේ අනාවරණය විය.
මේ ජරමර අස්සේ ලබන ජනවාරි 01 වැනිදා පටන් වැට් බද්ද තවත් සියයට 03කින් ඉහළ දමන බවට රජය කළ ප්‍රකාශය ඉහත කී පීඩා මැද ජීවත් වන ජනතාවගේ ආර්ථික ගින්නට පෙට්‍රල් වත්කිරීමක් වී තිබේ. වැටුප් වර්ධක ඇතුළු විවිධ සහන ඉල්ලා සිදුකෙරෙන උද්ඝෝෂණ ව්‍යාපාරද දක්නට ලැබේ.
රජයේ සේවකයන් සඳහා මෙවර අයවැයෙන් වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගියදා ප්‍රකාශ කළේය. ජනතාව පත්ව සිටින පීඩනය කල්පනාවට ගෙන මේ වැටුප් වැඩි කිරීම සිදු කරන බව ද සඳහන් විය. එහෙත් මෙහිදී පෙන්වා දීමට සිදුවන්නේ රජයේ සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබාදුන් පමණින් රටේ පොදු මහජනතාව පෙළෙන බරපතළ ආර්ථික ගැටලු නොවිසඳෙන බවය.
විශේෂයෙන් ලබන වසරේ මුල සිට වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කෙරෙන බවද ප්‍රකාශ වී තිබෙන බැවින් වැටුප් වැඩි කිරීමෙන් එක අතකට ලැබෙන වාසිය අනෙක් අතින් වැඩි වූ වැට් බදු හැටියට ගෙවන්නට සිදුවීම නියතයකි.
එසේම රජයේ සේවකයන් සිටින සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් අධික පිරිසක් පෞද්ගලික අංශයේ සේවය කරති. ඔවුහු සියලු බදු කපා ගැනීම්වලට ද මුහුණ දී සිටිති. ඔවුන්ගේ වැටුප් වැඩි කරන්නැයි සිදුකෙරෙන ඉල්ලීම් බොහෝ විට පෞද්ගලික ආයතන හිමිකරුවන් ගණන් ගන්නේ නැත. එයට එක් හේතුවක් වන්නේ රටේ ආර්ථික අර්බුදයත් සමඟ ඇතිවූ ආදායම් අහිමිවීම නිසා වැටුප් වැඩි කිරීම කෙසේ වෙතත් ගෙවන වැටුප ගෙවීමට පවා ඇතැම් ආයතන කටයුතු කරන්නේ ඉතා අපහසුවෙන් වීමය.
එසේම ව්‍යාපාරික ආයතන පවත්වාගෙන යාම සඳහා දරන්නට සිදුවී තිබෙන අධික විදුලි බිල ඇතුළු වියදම් ද තවත් හේතුවකි. එහෙත් රජයේ සේවකයෝ මේ ගැටලුවලට මුහුණ නොදෙති. ඔවුන්ගේ වැටුප වැඩි කිරීම යනු ආර්ථිකයේ සර්ව රෝග නිවාරණය වීමක් නොවන්නේ එබැවිනි.
මේ රටේ කිසිදු ධනවත් බලවත් පවුලක සාමාජිකයන් මේ රටේ සාමාන්‍ය ජනතාව පත්ව සිටින ගැටලුවලට මුහුණ දෙන්නේ නැත. ජනතාවට දැනෙන ජීවත්වීමේ පීඩනය ද ඔවුන්ට උරුම නැත. මේ හේතුවෙන් ඔවුන්ට ඉතා පහසුවෙන් රටේ ආර්ථිකය නිවැරදි කෙරෙන තුරු ජනතාව ඉවසිල්ලෙන් සිටිය යුතු බවට බොහෝ රසවත් කතා කියන්නට නිදහස තිබේ.
මේ රටේ දේශපාලකයන් බොහෝ වැටෙන්නේ අප ඉහතින් සඳහන් කළ ධනවත්, බලවත් පවුල් අතරට බව නොරහසකි. මේ සමහරුන් දේශපාලනයට පිවිසෙන්නේ කෑලි හැලෙන මෝටර් සයිකලයක් පැදගෙන එන මට්ටමිනි. එහෙත් දේශපාලනයේ කාලයක් නිරතව සිටිය දී ඔවුන්ගේ කඳ, බඩ පමණක් නොව බැංකු ගිණුම් ද තර වෙයි.
ඉන්පසුව ආර්ථික පීඩනය හේතුවෙන් පාරට බසින ජනතාව ඔවුන්ට පෙනෙන්නේ තේරුමක් නැති අරගල සිදු කරන ගංජාකාරයන්, කුඩුකාරයන් සහ ගණිකාවන් හැටියටය. රටම දුප්පත් වී බංකොලොත් වෙද්දී පවුල් සීමිත සංඛ්‍යාවක් මහා ධනවතුන් බවට පත්වීම පිටුපස ඇති කතා ගැන උනන්දු වීමට ඔවුන්ට වෙලාවක් ද නැත.
උද්ගතව තිබෙන ආර්ථික පීඩනය දිගින් දිගට ඉහළ යාමේ ඇති බලපෑම් පිළිබඳ දැනට වඩා සංවේදීව කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමක් බව පෙන්වා දිය යුතුය. දිගටම විදුලි බිල ඉහළ යන විට, වැට් බදු නගින විට ජනතාවගේ ඉවසීමේ සීමාව ද ඉහළ යන බව ආණ්ඩුවට වැටහීමක් තිබිය යුතුය. මේ සීමාවේ අග ඇත්තේ රතු කට්ට පැනීම බවද පෙන්වා දීමට කැමැත්තෙමු.
(***)