ජනතාව ආර්ථික පීඩනයක ළඟද?


අප ගමන් කරමින් සිටින්නේ තරමක් සංකීර්ණ හා අපැහැදිලි කාලයකය. ආර්ථික ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය දෙස බැලූ විට එය පැහැදිලිවම පෙනී යන කාරණයකි. මේ සංකීර්ණ හා අපැහැදිලි තත්ත්වය මීටත් වඩා භයානක පිපිරීමක් කරා තල්ලුවීමේ විභවයක් ද පවතී.

මෙවර කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ මතුවෙමින් තිබෙන සංකීර්ණ, අපැහැදිලි හා අරාජික තත්ත්වය පිළිබඳවය. සමහරුන් කියන්නේ පසුගිය දිනක ජනාධිපතිතුමා විදේශ මාධ්‍ය ආයතනයකට ‘සැර’ වීමෙන් පෙනුණේ අපැහැදිලි තත්ත්වයේම එක නිදර්ශනයක් බවයි. රටේ දේශපාලන ආර්ථිකයේ ගැටලුකාරීත්වය නායකයන්ගේ හැසිරීම් තුළින් ද පෙන්නුම් කරන බව පැහැදිලිය.

ආර්ථික පිපිරීමක්?

මෙරට ආර්ථිකයේ බරපතළ කඩා වැටීමක් සිදුවුණේ 2022 වර්ෂයේ බව හැමෝම දන්නා කාරණයක්ය. ඒ කඩා වැටීමට හේතු නිර්මාණය වූයේ 2022 ට හුඟක් කලින් බව ද සත්‍යයක්ය. රටේ ආර්ථික අර්බුදය ක්ෂේත්‍ර 03 ක් තුළ වර්ධනය වූ අතර 2022 එය පුපුරා ගියේය. එම ක්ෂේත්‍ර තුන වන්නේ 1. විදේශ විනිමය අර්බුදය (ගෙවුම් ශේෂ අර්බුදය) 2. රාජ්‍ය මූල්‍ය අර්බුදය (අය වැය හිඟය) සහ 3. ණය අර්බුදය (ණය වාරික ගෙවීමේ නොහැකියාව) යන ඒවාය.

මෙම අර්බුද තුන එකිනෙකට වෙනස් ඒවා නොව එකිනෙකට ගැට ගැසුණු ඒවාය. රටේ විදේශ විනිමය තත්ත්වය අනතුරට පත්වන විට එයින් මතුවන ප්‍රධානතම අර්බුදය වන්නේ ආනයනය කරන භාණ්ඩ හා සේවා සිදු කරන්නට නොහැකි වීමය. 2021 සහ 22 වර්ෂවල රට තුළ බලශක්ති අර්බුදයක් (ඉන්ධන, ගෑස්, විදුලිය) ඇති වුණේ මේ බලශක්ති ආනයනය කරන්නට විදේශ මුදල් රට තුළ නොතිබීම නිසාය.

අනෙක් පැත්තෙන් රාජ්‍ය වියදම දරන්නට අවශ්‍ය තරම් දේශීය මුදල් රජයට ලබා ගැනීමේ ඉඩ ද දිගින් දිගටම සීමා වූ බව බොහෝ අය දන්නා කාරණයක්ය. 2019 දී ආණ්ඩුව ගත් වැරදි බදු ප්‍රතිපත්තිය ද මේ තත්ත්වයට විශාල වශයෙන් බලපෑවේය. ඒ සියල්ලේ ප්‍රතිඵලය වුණේ ආණ්ඩුව අභ්‍යන්තරික ණය බරපතළ ආකාරයෙන් ලබා ගැනීමය. අසීමිත හා පාලනයකින් තොර ආකාරයෙන් මේ තත්ත්වය පවත්වාගෙන යාම හේතුවෙන් දේශීය මූල්‍ය තත්ත්වය බරපතළ ආකාරයෙන් අර්බුදයට ගිය බව බොහෝ අයට මතකය.

සාමාන්‍යයෙන් ණය යනු අර්බුදයක් නොවේ. එහෙත් එය අර්බුදයක් වන්නේ ගෙවන්නට හැකියාවක් නොමැති තැනට ණය හිමියා වැටෙන තත්ත්වයකදීය.

2022 රට බංකොළොත් වූවා යැයි කියන්නේ මේ කියන ණය ගෙවන්නට බැරි තත්ත්වයට රට පත්වීමය.

2022 රටේ බරපතළ දේශපාලන විපර්යාසයක් සිදුවුණේ මේ තත්ත්වය නිසාය. අලුත් ජනාධිපතිවරයකු ලෙසින් ජනතාවගේ ඡන්දයෙන් කෙනකු තෝරන්නට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොලැබෙන නිසා පාර්ලිමේන්තුවෙන් කෙනකු තෝරන්නට සිදුවූ අතර ඒ හරහා තත්ත්වය සමහන් වේ යැයි සමහරුන් සිතූ බව පැහැදිලිය.

එහෙත් තත්ත්වයේ බරපතළ වෙනසක් සිදු වුණේ නැතිවා පමණක් නොව IMF හරහා ලබා ගැනීමට බලාපොරොත්තු වූ මැදිහත් වීම ද මේ වන විට තිබෙන්නේ කඩා වැටෙන තත්ත්වයකය. IMF  එක මගින් ලබා දී තිබෙන ‘චෙක් ලිස්ට් එක’ හෙවත් ‘ සිදුකළ යුතු දේවල්’ කිරීම ඉතාමත් ප්‍රශ්නකාරී බව විපක්ෂයේ අය කීවේ ඒ එකඟතාවට ගිය අවස්ථාවේදීමය.

IMF හරහා ‘හයියක්’ ලබාගෙන නැවතත් ණය ගෙවන රටක් බවට පත්වීමේ මේ ආණ්ඩුවේ උත්සාහය තවදුරටත් අසාර්ථක වීමේ ඉඩක් පවතින බව ද මෙහිදී සටහන් කළ යුතුය. අලුතින් හඳුන්වා දුන් කිසිදු සංවර්ධන උපාය මාර්ගයක් ද නොමැති තත්ත්වයක මේ ගමන් මාර්ගය නැවතත් පුපුරායාමේ ඉඩක් තිබෙන බව පැහැදිලිය.

අනෙක් අතට IMF බලාපොරොත්තුවෙන් එහාට විදේශ මූල්‍ය ශක්තිය ගොඩ නැගීමේ මූලික වැඩපිළිවෙළක් රජයට තිබෙන බවක් ද පෙනෙන්නට නැත. රාජ්‍ය මූල්‍ය තත්ත්වය යථාවත් කර ගැනීමට කියමින් රටේ ජනතාවට අධික බදු බරක් පටවා තිබීම ද තවත් පැත්තකින් මෝදු වන අර්බුදයක්ය. අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවාවල මිල සතිපතා වැඩි කරන්නට පටන් ගෙන තිබීම මේ අර්බුදයේම තවත් පැත්තක්ය. ඉන්ධන සහ ගෑස් දැනටමත් වැඩිකර හමාරය. විදුලි බිල යළිත් වරක් වැඩි කරන්නට යෝජනා කර තිබේ.

නොවැම්බර් 13 අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිතය. ඒ හරහා මේ තත්ත්වය තවත් නරක අතට වර්ධනය වුවහොත් සමාජය තුළ බරපතළ ආතතියක් නිර්මාණය විය හැකි බව මගේ නිරීක්ෂණයයි.

දේශපාලන අර්බුදයේ තරම

ආර්ථිකයේ මෙම භයානක තත්ත්වය සමහන් කර ගැනීමේ එක් මාවතක් වන්නේ ගෝඨාභය + රනිල් වික්‍රමසිංහ ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිවලට වඩා ශක්තිමත් හා නිවැරදි ප්‍රතිපත්තියක් වෙනත් පැතිවලින් ඉදිරිපත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රීය ඉඩ ලබාදීමයි. විශේෂයෙන්ම 2022 සිදු වූ බරපතළ මහජන විරෝධය සහ ජනතා නැගිටීමකට පසුව රටේ ජනතාවගේ ජන මතය කුමක්දැයි විමසීම ඉතාමත් වැදගත් කාරණයක් බව පැහැදිලිය.

එහෙත් වත්මන් ආණ්ඩුව හැසිරෙන්නේ සාමාන්‍ය පළාත් පාලන මැතිවරණයක්වත් පවත්වන්නට ඉඩ නොදෙන ආකාරයෙන්ය.

තමන්ට විසඳුමකුත් නොමැති සහ වෙනත් විසඳුමක් සොයා ගැනීමට ජනතාවට ඉඩ දෙන්නේත් නැති ඉතාමත් භයානක තැනකට රට තල්ලු වෙනවා යැයි සමහරුන් කියන්නේ මේ තත්ත්වය නිසාය.

මීළඟ වර්ෂයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථාවෙන්ම බල කෙරී ඇත. මේ ජනාධිපතිවරණය නොපැවැත්වීමට කිසිදු ඉඩක් ව්‍යවස්ථාවෙන් නැත. එයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමේ ඉඩ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලබාදී ඇත. ඒ මැතිවරණ දෙකින් එකක් හෝ දෙකම පැවැත්වීමට මීළඟ වසරේ අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.

මගේ නිරීක්ෂණය වන්නේ මේ මෝදු වන දේශපාලනික හා ආර්ථික අර්බුදය හමුවේ මීළඟ ප්‍රධාන මැතිවරණය යනු බොහෝ අය නොසිතන ආකාරයේ සංකීර්ණ හා බරපතළ ප්‍රතිඵලයක් ලබාදෙන එකක් වනු ඇති බවයි. සමහර විටෙක එය සාම්ප්‍රදායික දේශපාලනික ආකෘතියට පිටින් මතු වන ‘‘ප්‍රංශයේ මැක්ක්‍රෝන් වර්ගයේ’’ එකක් වීමේ ඉඩක් ද පවතින බව මගේ අදහසයි.

ඩිජිටෙල් අවකාශය හකුලමු ද?

ඉහතින් දැක්වූ ආර්ථික හා දේශපාලනික තත්ත්වයන්ට ඍජුවම සම්බන්ධ මීළඟ ක්ෂේත්‍රය වන්නේ රටේ ඩිජිටෙල් අවකාශය සම්බන්ධ කාරණයය. ඡන්ද දේශපාලනය වසා දමා ඇති තත්ත්වයක ජනතාවගේ මැදිහත්වීම පෙන්නුම් කරන මාවතක් වන්නේ ඩිජිටෙල් අවකාශයයි.

ආණ්ඩුව මුලින් වැහුවේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයයි. ඊළඟට වහන්නට යන්නේ ඩිජිටෙල් මාධ්‍ය අවකාශයයි.

මේ වන විට රටේ ඩිජිටෙල් අවකාශය යනු අනුලංඝනීය මිනිස් ක්‍රියාකාරකමක් ලෙසින් මතු වී ඇති බව ඉතාමත් පැහැදිලිය. ශාස්ත්‍රීය භාෂාවෙන් කිවහොත්  ‘‘සංනිවේදනය යනු’’ ඔන්ටෝලොජිකල් තර්කයක්’’ (ontological Reason) හෙවත් මිනිසුන්ට අත් හැරිය නොහැකි විභවාත්මක අවශ්‍යතාවක්‘‘ බවට පත් වී ඇත. එය වසා දැමීමට යෝජනා කිරීම වනාහී භයානක මෝඩ ක්‍රියාවකි.

මේ වන විට ඩිජිටෙල් අවකාශයේ පැතිරීම පිළිබඳව පවතින දත්තවලට අවධානය යොමු කිරීම මෙහිදී ඉතාමත් වැදගත්ය. රටේ ජනගනය මිලියන 21.86කි. ඒ කියන්නේ කෝටි දෙකකට වඩා වැඩිය. රටේ ජංගම දුරකතන සම්බන්ධතා මිලියන 36.8කි. එනම් කෝටි තුන හමාරකි.

රටේ අන්තර්ජාල පරිහරණය මිලියන 14.58කි. එයින් සමාජ මාධ්‍යවල සිටින ගණන මිලියන 10කි.

රටේ ජනතාවට වඩා තුන් ගුණයකින් වැඩි ජංගම දුරකතන පාවිච්චියක් ඇති රටේ ජනතාවගෙන් භාගයක් පමණ සමාජ මාධ්‍ය භාවිත කරන රටක අපි ජීවත් වන්නෙමු.

ප්‍රජාතන්ත්‍රීය දේශපාලනයට මේ දත්ත යොදා බැලුවහොත් ලැබෙන චිත්‍රය බලන්න. රටේ සම්පූර්ණ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මිලියන 16 කි. එයින් පසුගිය ජනාධිපතිවරණයේ ඡන්දය දුන් සංඛ්‍යාව ආසන්නන වශයෙන් මිලියන 13 කි.

ඒ අතරින් මිලියන 10 කට වැඩි පිරිසක් සමාජ මාධ්‍යවල සිටින බව උපකල්පනය කිරීමේ වැරැද්දක් නැත.

මෙයින් පෙනී යන්නේ ඩිජිටෙල් අවකාශයේ බලපෑම කොතරම් ද යන්නය. රජය දැන් උත්සාහ කරන්නේ ජනතාවගේ මේ මැදිහත්වීම පාලනය කරන්නටය. ඩිජිටල් අවකාශය නියාමනයකට යටත් කිරීම අවශ්‍යය. එහෙත් වත්මන් රජය කරන්නට යන්නේ නියාමනය පෙන්නා සමාජ මාධ්‍ය වාරණය කරන්නටය.

මගේ නිරීක්ෂණය වන්නේ රජය මේ වන විට ගමන් කරමින් සිටින්නේ තුන් පැත්තකින් රටේ විශාල පිපිරීමකට පාර කපමින් බවය. එකක් වන්නේ ආර්ථික ක්ෂේත්‍රයේ කැකෑරෙන පීඩනයය. අනෙක වන්නේ ඡන්ද කල් දමමින් සිදුකරන පීඩනයය. තුන්වෙනුව ආණ්ඩුව සැරසෙන්නේ ඩිජිටෙල් අවකාශය වහන්නටය.

මේ අර්බුද වලින් රට ගලවා ගැනීම හැමෝගේම වගකීම බව මගේ කිවිදා දැක්මය.

මහාචාර්ය චරිත හේරත්