එකක් පසුපස එකක් වශයෙන් නිර්මාණය වන ප්‍රශ්නවලට විසඳුම් පෙනෙනතෙක් මානයක නැත. ප්‍රශ්න කන්දරාවකින් හෙම්බත් වී සිටින ජනතාවට සිදු වී තිබෙන්නේ පෝලිම්වල මැරී වැටෙන්නටය. අලුත්ම මරණය වාර්තා වූයේ මීරිගම නගරයෙනි.
මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලකින් පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇදවැටී රෝහල්ගත කිරීමේදී මියගොස් ඇතැයි අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මීට පෙර රටේ දෙතැනකින් මෙබඳු දුක්මුසු මරණ දෙකක් වාර්තා විය.
මහනුවර යටිනුවර වීදියේ ඉන්ධන පිරවුම් හලක හා කඩවත ඉන්ධන පිරවුම් හලක මෙයට පෙර මරණ දෙකක් වාර්තා විය.
මෙරට පුරවැසියන් ඉන්ධන පෝලිමට, ගෑස් පෝලිමට එක්වන්නේ මහ පාන්දරය. ඇතැම්විට මහ රෑ වනතුරු බලා සිටීමට ජනතාවට සිදුවේ. කුසට අහරක් නොමැතිව, බීමට වතුර පොදක් නැතිව, නෙතට නින්ද නැතිව නිරාදුක් විඳින ජනයා සොයා මරණය ආරාධනාවකින් තොරව එයි. බොහෝ දෙනෙක් විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන්නෝ වෙති.
පෝලිම්වල සිටින අතරවාරයේදී කලට වෙලාවට ඖෂධ ලබා ගැනීමට හැකියාවක්ද නැත. ඇතැම් පිරිස් එකී දුෂ්කරතාව දරා උසුලා සිටීමට තරම් සෞඛ්‍ය සම්පන්න නොවිය හැකිය. එහෙත් පෝලිම්වල දුක් නොවිඳ ඉන්ධන හෝ ගෑස් ලබාගත නොහැකි හෙයින් ජනයා එම දුෂ්කර අභියෝගයට මුහුණ දෙති. ප්‍රශ්නයවන්නේ තව කොතෙක් කලක් මේ දුක විඳිය යුතුද යන්නය. අනෙක් අතට මෙතරම්ම දුක් විඳ විඳ ජීවත් වී තේරුමක් තිබේද යන්න අමතර ප්‍රශ්නයක් නොවේ.
රටක අර්බුද මතුවීම ස්වාභාවිකය. එහෙත් එසේ අර්බුද මතුවූ විට මෙය මගේ වරදක් නොවේ යැයි කියමින් පැත්තකට වීම පාලනයක වගකීමද නොවේ. සැබැවින්ම රටේ අර්බුද මෙතරම්ම උග්‍ර වූයේ ගෝලීය වසංගත තත්ත්වයත් සමගය. ගෝලීය වසංගත තත්ත්වය මෙරටට විදේශ විනිමය එවන ප්‍රධානම මර්මස්ථාන දෙකම අකර්මණ්‍ය කළේය. ඒ සංචාරක ව්‍යාපාරය හා විදෙස්ගත ශ්‍රමිකයන් එවන ඩොලර්ය.
ගෝලීය වසංගතයේ මාරාන්තික බව තුරන් වී යාමත් සමග සංචාරක ව්‍යාපාරය නව පණක් ලැබුවේය. එහෙත් රටේ මතුව ඇති ඩොලර් අර්බුදය නිසා ශ්‍රී ලංකාව යනු සංචාරයට නුසුදුසු රටක් ලෙස ඇතැම් රටවල් නිවේදනය කිරීමට පටන් ගෙන ඇත. සැබැවින්ම ඕනෑම රටකට සංචාරකයකු එන්නේ නිවාඩුව විවේකීව ගත කිරීමට මිස දුක් විඳීමට නොවේ.
ඇමතිවරු කටට එන දේ කීමට පුරුදු වී සිටිති. ඇතැම් ඇමතිවරුන්ගේ ප්‍රකාශ දෙස බලන විට ඔවුන්ට මේ ප්‍රශ්න ගැටලුවල පරිමාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් තිබෙන්නේද යන ප්‍රශ්නය මතුවේ. අපගේ ජීවිතවල වගකීම පවරා තිබෙන්නේ මෙවැනි පිරිස්වලට දැයි ජනයාට සිතුණහොත් එය විමතියට කාරණයක් නොවේ. ඇතැම් ඇමතිවරු ඉන්ධන මිල ගණන් නොදනිති. එබන්දන්ට ජනතාවගේ දුක නොතේරීම අමුත්තක්ද නොවේ.
කළ යුතුව තිබුණේ මෙම දැවැන්ත ඇභියෝගවලට මුහුණදීම සඳහා මුළු රටම සූදානම් කිරීමය. ඒ වෙනුවෙන් මුළු රටම පෙළගැස්සීමය. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත. ඒ වෙනුවට ජනයා කම්පාවට පත්කරන තරමේ හා ජනයා කෝප ගන්වන තරමේ දේශපාලන කුළල් කා ගැනීම් දැකිය හැකිවිය. බොහෝ දේශපාලන පක්‍ෂවලටද රට හමුවේ ඇති අභියෝගය තම දේශපාලන බල අරමුණු ඉටුකර ගැනීමට යාත්‍රාවකි. මේ සියල්ලෙන්ම තැලෙන්නේ පොඩිවන්නේ හා මහමග අදවැටී මියයන්නේ පොදු මහජනතාවය.
පළමුව ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කළ යුතුය. මේ මොහොතට අදාළ නොවන කිසිවකට වියදම් නොකළ යුතුය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නතර කළ යුතුය. ජනතාව එක වේලක් හෝ බඩගින්නේ නොතියන ආහාර සුරක්‍ෂිතතාවට යා යුතුය. වගාවට දිරි දිය යුතුය. බඩු මිල පාලනය කිරීමට මැදිහත් විය යුතුය. ඉන්ධන, ගෑස්, විදුලිය හිඟයකින් තොරව හා අඛණ්ඩව සැපයිය යුතුය. ඒ සඳහා වන වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කළ යුතුය.
මේ රටේ ජනයා යනු මහ පොළොවත් සමග තදින් බැඳුණු ආධ්‍යාත්මික පොහොසත් බවින් පිරිපුන් ජනතාවකි. ඒ මවු පොළොව වෙනුවෙන් ඕනෑම දුකක් කරදරයක් දරා උසුලා සිටීමට මෙම ජනයා සූදානම්ය. ඒ වෙනුවෙන් ජනයාට අවශ්‍ය කරන්නේ පාලකයන්ගෙන් ආදර්ශ වේ. එම ආදර්ශ ලැබෙන්නේනම් ඕනෑම පරිත්‍යාගයකට ජනයා සූදානම් බව ඉතිහාසයෙන්ද ඔප්පු වූවකි.
(***)