ජනතාව මිරිකන උද්ධමනය


ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියන්නේ මේ වසර අවසානය වෙද්දී උද්ධමනය සියයට පහ දක්වා අඩු කළ හැකි බවය. මේ අවස්ථාවේ උද්ධමනය සංසන්දනය කරන්නේ අර්බුදයට පෙර පැවැති තත්ත්වය සහ දැන් අප මුහුණ දෙන තත්ත්වය සමගය. අර්බුදය පටන් ගත්තේ 2020 දීය. ඒ අනුව ගෙවුණු අවුරුදු තුනේ දී උද්ධමනය වැඩි වූ ආකාරය මහජනයාට දැනෙයි. උදාහරණයකට 2020 දී හාල් මිල වැඩි වූණේ සියයට නයමකින් පමණය.

2021 දී එය වැඩි වූයේ සියයට 14 කිනි. 2022 දී හාල් මිල සියයට 64 කින් වර්ධනය විය. 2023 පෙබරවාරි වෙද්දී හාල් මිල සියයට 28 කින් වර්ධනය වී තිබේ. ඒ සියල්ලේ එකතුව මේ අර්බුදයත් සමග නිර්මාණය වූ උද්ධමනය වෙයි. එය සියයට 115 කට වඩා වැඩිය.

අර්බුදයක් නැති කාලයක අපේ වැනි රටවල උද්ධමනය වැඩි වන්නේ සියයට 5 සිට 7 අතර මට්ටමකිනි. ඒ සාමාන්‍ය උද්ධමනයයි. හාල් වැනි භාණ්ඩයක මිල අඩු වැඩි වෙයි. එලෙස පැවැතුණානම් මේ අවුරුදු තුන හතරේ දී උද්ධමනය වැඩිවන්නේ සියයට 20 කින් පමණය. රටේ පවතින අර්බුදය නිර්මාණය වූ දවසේ සිට අප අත්දකින උද්ධමනය සියයට 130 ක් පමණ වෙයි. මේ මාසයේ උද්ධමනය සියයට 52 ක් කීවාට සමස්ත බඩු මිල වැඩිවීම සියයට 130 කට වඩා වැඩිය. සමස්ත ආහාර මිල උද්ධමනය ඊටත් වඩා වැඩිය. ඒ නිසා මේ අවුරුද්ද අවසන් වෙද්දී උද්ධමනය තනි ඉලක්කමකට ගෙන එන්නට පුළුවන් වුණාට සියයට 100 කට වැඩි උද්ධමන අනුපාතයකට රටේ ජනතාව මුහුණ දී සිටිති.

මේ අර්බුදය ආරම්භ වූ දා සිට ජනතාවගේ ආදායම් පහත වැටුණ මිස වැඩි වූයේ නැත. එහෙත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල සියයට 100 සිට 130 ක් තරම් ඉහළ මට්ටමකින් වර්ධනය වී තිබේ. ඉන් ප්‍රකාශ වන්නේ අපේ මිලදී ගැනීමේ හැකියාව සියයට 50 කට වැඩි මට්ටමකින් අඩුවී තිබෙන බවය. එදිනෙදා ආදායම් හා මාසික වැටුප් ලබන පිරිසට මේ උද්ධමනය ඉතා දරුණු ලෙස බලපා තිබේ.
අවුරුද්දකට අඩු කාලයක දී විදුලි බිල සියයට දෙතුන් සියයකින් වැඩිවී තිබේ.

වතුර බිලද වැඩි විය. බැංකු ණය පොලී අනුපාත ද ඉහළ ගොසිනි. සියයට හතට අටට ගත් ණයවලට දැන් සියයට 15 සිට 25 අතර පොලියක් ගෙවීමට සිදුවී තිබේ. ප්‍රවාහන වියදම ඉහළ ගියේ අදහාගත නොහැකි අයුරිනි. රුපියල් 12 තිබූ අඩුම බස් ගාස්තුව දැන් රුපියල් 34 කි. ඒ අනුව බස් ගාස්තු වැඩිවී තිබෙන්නේ සියයට 183 කිනි. පාසල් පොත්, සපත්තු සෙරෙප්පු, බෑග්, ෂර්ට්, කලිසම්, ගවුම්, යට ඇඳුම් යනාදී සියල්ලෙහි මිලද දරුණු  ලෙස ඉහළ ගොසිනි.

භාණ්ඩ හා සේවා මිල එසේ වැඩිවී ආදායම් කඩා වැටී තිබෙන පසුබිමක අතිශය දරුණු ලෙස මිල වැඩිවීම නිසා ජනතාවට එදිනෙදා පරිභෝජනයට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික මිලදී ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටිති. අතිවිශාල පිරිසක් කිරිපිටි පරිභෝජනය ද අතහැර දමා සිටිති. මස්, මාළු බිත්තර පරිභෝජනය ද ශීග්‍රයෙන් අඩුකරමින් සිටිති. තුන්වේලක් කෑ අය වේල් දෙකක් හෝ එකක් කා සුසුම් හෙළති. එක වේලක්වත් නැති පිරිස් ද විශාලය. දැන් ඒ පිළිබඳ ජනමාධ්‍ය වාර්තා සුලබය. එදිනෙදා ජීවිතය පවත්වාගෙන යා නොහැකි නිසා ඇතැම් අය දිවි නසා ගනිති. දැන් රටේ තිබෙන්නේ ඉතිරි කිරීම් නැති භංගවී යන පරිසරයකි.

උද්ධමනය ඉහළ යාම නිසා රටේ ඇතිවී තිබෙන මේ තත්ත්වය සමනය කිරීමට ආණ්ඩුව සහ මහ බැංකුව අනුගමනය කරන්නේ මූල්‍යවාදී (Monetarism) ප්‍රතිපත්තියකි. එය බැංකු පොලී අනුපාත ඉහළ නංවා ණය ගැනීම් අධෛර්යවත් කර පරිභෝජනය සීමාකරන, අවම කරන ප්‍රතිපත්තියකි. සරලව කිවහොත් ජනතාව වියදම් කිරීම් සීමා කිරීමට උත්සාහ කරයි. බැංකු පොලී අනුපාත ඉහළ නිසා ණය ගත නොහැකිය. ඒ නිසා ජනතාව ණය නොගෙන ජීවත් වීමට උත්සාහ ගනියි.

යම් මුදලක් අතමිට ගැවසෙන පුද්ගලයෝ පරිභෝජනය අඩුකර මුදල් ඉතිරි කරති. ඒ මුදල් වාණිජ බැංකු හරහා මහ බැංකුවට යයි. පරිභෝජනය අඩු වූ විට ඉල්ලුමද අඩුවෙයි. ඉල්ලුම අඩුවීම නිසා ආර්ථිකය සංකෝචනය හෙවත් හැකිළෙමින් යයි. ආර්ථිකය සංකෝචනය වූ කල නිෂ්පාදනය කඩා වැටෙයි. නිෂ්පාදනය කඩා වැටීම නැවත වතාවක් ජනාවගේ ආදායම් අඩුවීමට බලපායි. ආණ්ඩුව හා මහ බැංකුව එක්ව අනුගමනය කරන, වපුරණ මුල්‍යවාදි ප්‍රතිපත්තිවලින් නෙළාගත හැක්කේ එවැනි අස්වැන්නකි.

විනිමය අනුපාත සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය ද සැලකිල්ලට ගත යුතුය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව හා මහ බැංකුව අනුගමනය කරන්නේ සියවාසිය පිණිස ඉතා දක්ෂ ලෙස හිතාමතා උපායශිලීව හසුරුවන (Manipulation) ප්‍රතිපත්තියකි. දිගින් දිගටම බාල්දු වූ රුපියල හිටි හැටියේම අධිප්‍රමාණයවී දැන් යළිත් අවප්‍රමාණය වෙමින් යන්නේ ඒ ප්‍රතිපත්තියේ මහිමයෙනි. රුපියල අවප්‍රමාණයවීම මගින් ආනයනික භාණ්ඩවල මිල ඉහළයයි. එවිට ඉල්ලුම අඩුකරයි.

අනෙක් පැත්තෙන් ආණ්ඩුවත් විදේශීය භාණ්ඩ ගෙන්වීම සීමා කරයි. තහනම් කරයි. ඒ නිසා ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළේ නැතිවීම හේතුවෙන් දේශීය භාණ්ඩ මත සම්පූර්ණයෙන්ම යැපීමට සිදුවෙයි. එවිට දේශීය භාණ්ඩවලට තිබෙන ඉල්ලුම් ඉහළයයි. එමගින් දේශීය භාණ්ඩවල මිල තව තවත් ඉහළ නගියි. එවිට එක පැත්තකින් ඉල්ලුම අඩුවී ආදායම අඩුවී ආර්ථිකය හැකිළෙයි. අනෙක් පැත්තෙන් විදේශීය භාණ්ඩත් රටේ නොමැති නිසා දේශීය භාණ්ඩවලට තිබෙන ඉල්ලුම් ඉහළ ගොස් මිල මට්ටම් යළි යළිත් ඉහළ යයි. ඒ තොරතුරුවලින් අනාවරණය වන්නේ උද්ධමනය වට කිහිපයකින් නැවත නැවත ඉහළ යන බවය. 

මා දකින ආකාරයට පොලී අනුපාත ඉහළ මට්ටමක තබාගෙන, මුදල් සැපයුම බෙහෙවින් අඩුකර, ආර්ථිකය හකුළා උද්ධමනය පාලනය කළ නොහැකිය. ඊට හේතුව ආර්ථීකය හකුළන විට, සංකෝචනය කරනවිට නිෂ්පාදනය අඩුවීමය. එසේම එමගින් රැකියා වියුක්තිය වැඩිවෙයි. ජනතාවගේ ආදායම් අඩුවෙයි. අනෙක් පැත්තෙන් ඉල්ලුම අඩුවෙයි. පරිභෝජනය අඩුවෙයි. ඉතිරිකිරීම් හා ආයෝජන අඩුවෙයි. ආයෝජන අඩුවීම මගින් යළිත් නිෂ්පාදනය අඩුවෙයි. එය දුෂ්ට චක්‍රයකි.

එමගින් ආර්ථිකය ගමන් කරන්නේ පල්ලමටය. ශාස්ත්‍රීය ව්‍යවහාරයෙන් කිවහොත් ආර්ථීක වර්ධනය ඍණ වෙයි. උද්ධමනය අතිශය භයංකර වන්නේ එහෙයිනි. උද්ධමනය නිසා ජනතාවගේ ඉතිරිකිරීම් අඩු වෙයි. ඉතිරි කිරීම් අඩුවීම නිසා ආයෝජන අඩුවෙයි. ආයෝජන අඩුවීම නිසා නිෂ්පාදනය අඩුවෙයි. නිෂ්පාදනය අඩුවීම නිසා නැවතත් ආදායම් අඩුවෙයි. එමගින් පරිභෝජනය අඩුවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මන්දපෝෂණය ඉහළ යයි. අවසානයේ මේ උද්ධමනකාරී තීරණ හා ප්‍රතිපත්ති නිසා ආර්ථික අර්බුදය සමාජ ව්‍යසනයක් දක්වා වර්ධනය වෙයි. 

මුදල් සැපයුම පාලනය කර පොලී අනුපාත ඉහළ දැමීම මගින් ඉල්ලුම පාලනය කිරීම හේතුවෙන් ආර්ථීක කටයුතු හැකිළෙන බව දැන් අපට මැනවින් පැහැදිලිය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2022 දී කෘෂිකර්මාන්තය සියයට 4.6 කින් කඩා වැටී තිබේ. එමගින් කියන්නේ කෘෂිකර්මාන්තයේ වර්ධනය ඍණ බවය.

නිෂ්පාදන කර්මාන්තවල වර්ධනය ඍණ 12.6 කි. ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය ඍණ 20.9 කි. බැංකු හා රක්‍ෂණ සේවාවල කඩා වැටීම 18.3 කි. දේපළ වෙළෙඳාම් අංශයේ කඩා වැටීම 12.6 කි. වෘත්තීයවේදීන්ගේ කටයුතුවල පහළ යාම ඍණ 4.0 කි. 2022 දී සමස්තයක් ලෙස රටේ දල දේශීය නිෂ්පාදිතය ඍණ 7.8 කි. ඒ කියන්නේ 2022 දී රටේ ආර්ථීකයේ වර්ධනය ඍණ 8 ක් බවය. 2022 දී අපේ රට කෙතරම් ආර්ථීක පසුබෑමකට ලක්වී තිබේදැයි ඉන් අනාවරණ්‍ය වෙයි. හැම අංශයකම ඇත්තේ කඩා වැටීමකි. 

මූල්‍යවාදි ප්‍රතිපත්ති මත රට පාලනය කිරීම නිසා ආර්ථීකයේ කඩා වැටීම වේගවත් වී තිබෙන බව දැන්වත් අවබෝධ කරගත යුතුය. ඒ ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ආර්ථීකයේ කඩා වැටීම අවම කිරීමට මහ බැංකුවට හා ආණ්ඩුවට පුළුවන් වී නැත. රටේ ආර්ථිකය සියයට 7.8 කින් කඩා වැටීමෙන් අනාවරණය වන්නේ ජනතාවගේ ආදායම් විශාල වශයෙන් පහළ බැස තිබෙන බවය. එමගින් මිලදී ගැනීමේ හැකියාව අවම වී භාණ්ඩ හා සේවා මිල මට්ටම් ඉහළ යයි. එමගින් උද්ධමනය ඉහළ නඟියි. ජනතාවට තමන්ගේ එදිනෙදා පරිභෝජන කටයුතු මැනවින් කරගැනීමට නොලැබීමෙන් ඔවුහු කබලෙන් ළිපට වැටෙති. 

ආර්ථිකය මෙසේ කඩා වැටෙද්දී රජයට තමන් අපේක්‍ෂා කරන අයුරින් බදු ආදායම් එකතු කරගැනීමටද නොහැකි වෙයි. නිෂ්පාදන කර්මාන්ත කඩා වැටෙනවිට රජයට බදු එකතු කර ගැනීමට නොහැකිය. එමගින් රජයේ අයවැය හිඟය තව තවත් ඉහළ යයි. මුදල් ඇමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයේ සඳහන් ප්‍රතිඵල නොව ඉතාමත් දැඩි අය වැය හිඟයක් බලාපොරොත්තු වන්නට සිදුවෙයි. මේ නිසා ඉතිරිකිරීම් ද විශාල වශයෙන් අඩුවෙයි. ඉතිරි කිරීම් අඩුවීම නිසා ආයෝජන අඩු වෙයි. ආයෝජන අඩුවීම නිසා නිෂ්පාදනය අඩුවෙයි. එමගින් මා ඉහත කී දුෂ්ට චක්‍රය යළි යළිත් ක්‍රියාත්මක වෙයි. 

මේ ආර්ථීක අර්බුදයේ දරුණුකම් දැනෙන්නේ ආණ්ඩුවට නොවේ. ආණ්ඩුවට තවම මෙය තේරුම්ගත නොහැකිය. ආණ්ඩුව හිතන්නේ බදු ඉහළ නැංවීමෙන් ඉහළ ආදායමක් උපයාගෙන අය වැය හිඟය අවම කරගත හැකි බවය. එය සිහින ලෝකයක සැතපී සිටීමකි. 

බදු ඉහළ දැමීමෙන් එකතු කරගත හැකි ආදායමට වඩා නිෂ්පාදනය කඩා වැටීමෙන් අහිමිවන ආදායම් ඉතා ඉහළය. මූල්‍ය අරමුදලේ නිර්දේශම ක්‍රියාත්මක කරන බව ආණ්ඩුවත් මහ බැංකුවත් පුන පුනා කියයි. එමගින් රටේ ආර්ථීකයේ කඩා වැටීම පාලනය කළ නොහැකි බව ප්‍රදර්ශනය කර හමාරය. මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ආණඩුව හා මහ බැංකුව ක්‍රියාත්මක කරන මූල්‍යවාදී ප්‍රතිපත්ති මෙරට ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර කිරීමට දායක වන බව දැන් කාටත් පැහැදිලි විය යුතුය. 

ආර්ථිකය හකුළුවා උද්ධමනයෙන් ගොඩ ඒමට නොහැකිය. ආර්ථීකය සංකෝචනය කිරීමට සාපේක්‍ෂව නිෂ්පාදනය කඩා වැටී උද්ධමනය ඉහළ යයි. තාවකාලිකව උද්ධමනය අඩුවිය හැකිය. එහෙත් දිගුකාලීන ප්‍රතිඵලය ඉතා භයංකරය.

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම