(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය - ආර්.ඒ.ඩබ්ලිව්. රණසිංහ)
වත්මන් පාලනය හඳුන්වන්නේ යහපාලනය නමිනි. එය මුලදී ආණ්ඩුව හැඳින්වීමට යොදාගත් ආශිර්වාදාත්මක වදනක් වුවත් අද එය යොදාගන්නේ උපහාසයට මෙනි. එසේ වී ඇත්තේ න්‍යාය සහ භාවිතය අතර ඉතා බරපතළ පරස්පරයකට වත්මන් පාලකයන් පත්ව සිටීමෙනි. මෙකී පරස්පරයම පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය හා විපක්ෂය යන ආයතන පිළිබඳව ඇති ජනතාවගේ විශ්වාසය හා ගරුත්වය පළුදු වීම කෙරෙහි ද බලපා තිබේ.
එදා රටකට ඕනෑ අපමණ අගයක් යැයි කියූ බොහෝ දෙනකුගේ මුවින් අද පිටවෙන්නේ ආණ්ඩුව කෙරෙහි අප‍්‍රසාදයකි. අවලාදයකි. එසේ වන්නේ ඇයිදැයි විමසා බැලීම රට කරවන ඇත්තන්ගේ පැත්තෙන් වැදගත් වෙයි. සන්නිවේදනය නොවී සැබෑව හෙළිදරවු නොවන තාක් කල් ඔවුන් අධිතක්සේරුවක පිහිටා නොමඟ යෑම රටේ ජනතාවගේ පැත්තෙන් අනර්ථකාරී වනු ඇත.
පාලකයන් ජන දුක ජනමතය හැඳිනිය යුතුය. ඔවුනට ජනතාවගේ හෘද ස්පන්දනය දැනිය යුතුය. එසේ දන්නා පාලකයන් සැබෑ පාලකයන් ලෙස ඉතිහාස ගතවුණි. ගජබා රජු රාත‍්‍රී කාලයේ වෙස් වළාගෙන ඇවිද යමින් පැල්පත්වල දොර ජනෙල්වලට කන තබා ජනතාවගේ දුක් ගැනවිලි ඇසූයේ ජනතාවගේ පීඩාවලට පිළියම් සපයනු සඳහාය. අද ඉතා ප‍්‍රබල ජනමාධ්‍ය තුළින් ජනතා ගැටලූ සන්නිවේදනය වුවත් පියවර ගැනීමේ දී බාලගිරි දෝෂයක් පවතී.
දේශපාලකයන්ට ජනතාවගේ සැබෑව නොපෙනුණත් ජනතාවට නම් දේශපාලකයන්ගේත් දේශපාලනයේත් සැබෑ වග තුග ඉතා ඉක්මනින් සන්නිවේදනය වේ. ඒ අනුව ඔවුන් දේශපාලනය දකින්නේ හරසුන් වදන් තෙපලන වංචනිකයන්ගේ ක‍්‍රියාවක් ලෙසිනි. දේශපාලකයන්ගේ නිශ්චල හා චංචල දේපළවල මෑතකාලීන වර්ධනය දෙස පමණක් බලා පවසන්නේ එය අප‍්‍රසන්න ජාවාරමක් යනුවෙනි. ඒ නිසා ඔවුන් පවසන්නේ දේශපාලනයට අවශ්‍ය වන්නේ ජාවාරම්කාරයන් නොව බුද්ධිමතුන් බවයි.
ප‍්‍රඥාවන්තයන් සිංහාසනාරූඪ කළ යුතු යැයි ප්ලේටෝ කියා තිබුණේ දැනට වසර 2000කට පමණ පෙරය. එහිදී බුද්ධිය ලෙසින් ප්ලේටෝ අරුත් ගැන්වූයේ සාමාන්‍ය ජන විඥානයට හසු නොවන ප‍්‍රබුද්ධ මාවත් ඔස්සේ ගොස් ජනතා සුබසිද්ධිය සැලසීමයි.
ඒ වෙනුවෙන් පාලකයා මමත්වය අත්හළ යුතු වෙයි. ප්ලේටෝගේ පාලකයාට විවාහය පවා තහනම් වන්නේ පොදුත්වයෙන් ඈත්ව මමත්වය සොයා ගියහොත් එය ජනතාවාදී පාලනයකට බාධාකාරී වන හෙයිනි.
මහා දාර්ශනික ප්ලේටෝගේ අදහස් කාලය විනිවිද ඇති අයුරු ඔබට පැහැදිලි වෙතැයි සිතමි. ඒ නිසා තම නියෝජිතයා කවරෙක් විය යුතු දැයි සිතීමේ ජාතික මෙහෙවර ඔබ මත පැවරී තිබේ.
අද ජනතා නියෝජිතයන්ගෙන් සැදුම් ගත් පාර්ලිමේන්තුවේ කි‍්‍රයාකාරකම් දෙස බලනවිට තමන්ට නැවතත් වැරැදී ඇතැයි ජනතාවට සිතෙනු නොඅනුමානය. පාර්ලිමේන්තුවේ වගකීම හා කාර්යය විය යුත්තේ ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කරමින් මානව සහ භෞතික සම්පත් නිසි කළමනාකරණයකට ලක්කොට රටේ සංවර්ධනය වේගවත් කිරීමයි. ඒ සඳහා ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනයකොට ඒවා කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික හා මූල්‍ය ප‍්‍රතිපාදන සම්පාදනය කිරීමයි.
පාර්ලිමේන්තුවේ සම්මත වන නීති රීති මත රටේ අනාගත අභිවෘද්ධිය හෝ අනාගත අර්බුදය තීරණය වෙයි. ඒ නිසා පාර්ලිමේන්තුවක සිටිය යුත්තේ ප්ලේටෝ කී ලෙසම දාර්ශනිකයන්ම නොවුණත් රටට ජාතියට ගහට කොළට ආදරය කරන බුද්ධිමතුන්ය. එවන් ගුණාත්මක දේශපාලකයන්ගේ අවශ්‍යතාව අද පෙරටත් වඩා තදින්ම දැනේ. එහෙම දැනෙන මොහොතක රටට අහිමි වූ දේපළ නැවත ලබා ගැනීම ගැන කතා කළ ඇමැතිවරුන් නෙරපීමට කතා කරන්නන්ගෙන් ජනතාවට කුමක් අපේක්‍ෂා කළ හැකි ද?
එසේම පාර්ලිමේන්තුවේ හරි අඩක් පමණ සාමාන්‍ය පෙළ වත් නැත්තවුන් සිටින බවට වාර්තා පළවෙනවිට ඵලදායී ප‍්‍රතිපත්ති සම්පාදනයක් වෙතැයි සිතිය නොහැක. එහෙත් රටේ ප‍්‍රතිපත්ති සම්පාදනය හිමි විය යුත්තේ බහු විෂයික දැනුමැතියන්ට බව කියවේ. එවැන්නන්ගෙන් තොර වූ හිස් පාර්ලිමේන්තුවකින් රටේ මානව සහ භෞතික සම්පත් උපයෝජනය කොටගත් සංවර්ධනයකට අදාළ තුන්කල් බලා සැකසෙන ප‍්‍රතිපත්ති සැකසෙන්නේ නැත. ඒ වෙනුවට පහසුම දේ ඔවුහු කරති.
විදේශවලින් ණය ගැනීම, ජනතාවට බදු සහ දඩ ගැසීම, විකිණීම, බදු දීම හා වෙන්දේසි කිරීමට අදාළ නීති රීති සකසති. මේවා සංවර්ධන උපායමාර්ග නොවේ. මෙය ”ඉන්න ටිකේ සැපෙන් ඉන්න, ණයට අරන් ගිතෙල් කන්න” යැයි කියපු හෙටක් ගැන නොසිතු චාප‍්‍රාවාකගේ දර්ශනයයි.
එහෙත් අද ජනතාවගේ මතය ප‍්‍රකාශ කිරීමට මැති සබයට ගිය ජනතා පුත‍්‍රයන්ට ණයට ගිතෙල් කන ප‍්‍රතිපත්තිවලට එකඟ විය හැකිදැයි ප‍්‍රශ්න කළ හැකිය. ඔවුන් කළ යුත්තේ ජනතා සුබසිද්ධියට අදාළ තීන්දු තීරණ ගැනීමයි. එකී උත්තරීතර වගකීම ඉටු කරනු වෙනුවට හොරුන් රකින ජාතික දේපළ විටෙක චීනයට තවත් විටෙක ඉන්දියාවටත් වෙන්දේසි වෙද්දි මුනිවත රැකීම නොවේ. තමන්ගේ හෘදසාක්‍ෂියට ඉඩදී ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමයි.
ඒ නිසා ජනතා නියෝජිතයකු යනු ජනතාවගේ පැත්තෙන් සිට ආණ්ඩුවේ කි‍්‍රයාකාරකම් සැකසීම මිස ආණ්ඩුව රැකීම නොවේ. එහෙත් මඩ ගොහොරුවේ නෙළුම් වැනි රටට ජාතියට ගහකොළට ආදරේ ඇති ජන නියෝජිතයන් කිහිප දෙනකු හෝ සිටීම සැනසුමට කරුණකි. අද දේශපාලකයාට ජනතාව වැදගත් නැත. හේතුව ජනවරමක් නොමැතිව වුවද ආණ්ඩුවකට ගොස් ඇමතිකම් දැරීමට පවා හැකියාවක් තිබෙන අලූත් කලාවක් යහපාලනය හඳුන්වා දී ඇති බැවිනි. මෙසේ ඡුන්ද බලය ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය රටේ පාලකයන් විසින් අවතක්සේරු කර ඇති බව ජනතාවට වැටහී තිබේ.
පාර්මේන්තුවක ප‍්‍රශ්න ඇසීමේ කාලය යනු දේශපාලකයන්ට තම ජනතා මෙහෙවර ඉටුකිරීමට ලැබෙන මහඟු අවස්ථාවකි. එහෙත් අද ජනතාවගේ දුක් ගැනවිල්ලක් වංචාවක් ¥ෂණයක් අයුක්තියක් අසාධාරණයක් මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධ ප‍්‍රශ්නයක් ඇසීමේ අයිතියක් පොදු විපක්ෂයට නැති ගානය. ප‍්‍රශ්නයක් ඇසූවිට එවැන්නක් ඇසීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි පවසනු ඇත. නැතහොත් නිල විපක්ෂයේ නොවේ යැයි පවසයි. ඝෝෂා කර ප‍්‍රශ්නය යටපත් කරයි. මෙසේ ජනතා නියෝජිතයන්ගේ අශ්ශීල වර්ෂාව නිසා ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පාර්ලිමේන්තුවෙන් ගිළිහෙමින් පවතී.
පාර්ලිමේන්තුවක් හැසිරවීමේ වගකීම ඇත්තේ කතානායකවරයාටය. පාර්ලිමේන්තුවේ උත්තරීතර සංකේතය වන සෙංකෝලය පෙරටු කරගත් කතානායකවරයා ගෞරවනීය අපක්ෂපාතී ආයතනයක් ලෙස සැලකේ. හෙතෙම නිර්පාක්ෂික වේ. ඒ නිසාම හෙතෙම සභාගැබට සම්ප‍්‍රාප්ත වනවිට මෙන්ම පිටව යන විට ද සභාවේ සියල්ලෝම නැගී සිටිති. එයට හේතුව කතානායකවරයාගේ පාර්ලිමේන්තුවේ භූමිකාව ගෞරවාන්විත වන බැවිනි.
වරක් එර්ක්සින් මේ ප‍්‍රකාශ කළේ කතානායකවරයා නොමැති පාර්ලිමේන්තුව ව්‍යවස්ථානුකූල පැවැත්මක් නැති සභාවක් වන බවයි. යටත්විජිත යුගයේ රටේ ආණ්ඩුකාරයාම මන්ත‍්‍රණ සභාවේ කතානායක පදවිය ද හෙබවීමෙන් මෙම තනතුරේ ඇති වැදගත්කම පැහැදිලි වේ. කතානායකවරයකුට කිසිදු පක්ෂයකට වාසි සහගත ලෙසින් හැසිරිය නොහැක. සෙංකෝලය සභා ගැබේ නැති විටෙක එතුමන් කරන ප‍්‍රකාශන තීන්දු තීරණ වලංගු නොවේ. එහෙත් වත්මන් කතානායකවරයා අගමැතිගේ හස්ත සංඥා අනුව පක්‍ෂවාදීව කටයුතු කළ බවට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා වරක් පවසා තිබුණි.
කතානායකවරයා කතානායක අසුනේ වාඩි වූ විට හෙතෙම මධ්‍යස්ථ පුද්ගලයකු විය යුතුය. එසේ නොවන විට පාර්ලිමේන්තුව ගැනත් එහි උත්තරීතරත්වය පිළිබඳවත් ජනතාව තුළ ප‍්‍රසාදයක් හෝ විශ්වාසයක් ඇති නොවේ. වරක් ප‍්‍රැන්සිස් මොළමුරේ කතානායකවරයා ප‍්‍රකාශ කළේ ”මම අර පුටුවේ සිට (එනම් ඔහුගේ මන්තී‍්‍ර ආසනයේ සිට) මේ පුටුවට එන විට (එනම් කතානායක අසුනට එනවිට) මගේ පිටේ අලවා තිබූ පක්ෂ ලේබල ගලවා දමා ආ බවයි. මෙය වත්මන් කතානායකවරුන්ගේ ගෞරවනීය භූමිකාවට ද ගළපා ගතයුතු ආදර්ශ පාඨයක් නොවන්නේ දැයි ඔබට වැටහෙනවා නොඅනුමානය. වර්තමාන ආණ්ඩුවට පැහැදිලි ගමනක් නැත. ඒ නිසාම හිතුවක්කාරය. එයට හේතුව ශක්තිමත් විපක්ෂයක් පාර්ලිමේන්තුව තුළ නොමැති නිසාය. අද විපක්ෂ නායකතුමා විපක්ෂ වී ඇත්තේ විපක්ෂයටය. එතුමා තරම් ආණ්ඩුවට හීලෑවූ වෙනත් කිසිවකු නැත. එය එසේවන්නේ ආණ්ඩුව බිහි වනවිට ඇති කර ගත් ගිවිසුම් ප‍්‍රකාරව ඒවා සිදු වන නිසාය. එතුමන්ට අවශ්‍යවන්නේ පෙඩරල් ව්‍යවස්ථාව යථාර්ථයක් බවට පත් කර ගැනීමටය. ඒ නිසා හොරුන් ඇල්ලීමට කියමින් රාජපක්ෂ ආණ්ඩුවේ වංචා දුෂණ ගැන කියමින් බලයට පැමිණ එක් මසක් තුළ ලංකා ඉතිහාසයේ බරපතළම වංචාව වන මහජනතාවගේ මුදල් මහ දවල් කොල්ල කෑ ආණ්ඩුවට එරෙහිව වචනයක්වත් නොකියා ගොවීන් කම්කරුවන් සිසුන් හා ආබාධිත රණවිරුවන් මර්දනය කරද්දී රටේ සම්පත් විකුණා කද්දී ඒ පිළිබඳ වචනයකුදු කතා නොකර සිටීම විපක්ෂයක හෝ විපක්ෂ නායකයකුගේ භූමිකාව නොවේ. ඒ නිසා වර්තමාන ආණ්ඩුව සෑම පැත්තකින්ම ජනතාව තුළ ඇතිකර ඇත්තේ අඳුරු අපැහැදිළි හැඟීමකි.
ජනතාව ජලයෙන්, නියඟයෙන්, ගංවතුරෙන්, කුණු කඳු ඇතුළු කඳු නායයෑම්වලින් පීඩාවට පත්ව සිටිති. එසේ සිටින්නේ ආණ්ඩුවේ දඩ සහ බදුබර ඔසවාගෙනය ගම්මිරිස් ගොවියාට, වී ගොවියාට, එළවළු ගොවියාට, කිරි ගොවියාට තම නිෂ්පාදනවලට සාධාරණ මිලක් නැත. ඒ නිසා කිරි ගොවියෝ කිරි මහමඟ හලති. තක්කාලි, ලොකු ලූනු මඟ දෙපස කඳු ලෙසින් ගොඩ ගැසේ. මඟක් තොටක් බෝක්කුවක් පාලමක් නැති ජනතාවකට යාන්තමින් හෝ පිළිසරණක් වන්නේ ඇතැම් මාධ්‍ය සත්කාරයය. ජනතාව බරපැනදැරූ පෙට් ස්කෑන් යන්ත‍්‍රය තවමත් සවිකර ඇත්දැයි නොදනී.
ආණ්ඩුව මෙන් පරිපාලන තන්ත‍්‍රය ද දුෂිතය. අකර්මණ්‍යය කාර්යාල අසල දින ගණන් ජනතාව ළතවෙන්නේ ඉතා සුළු කාර්යයක් කරවා ගැනීමටය. නිලධාරීන් නැත. ලිපිගොනු ද නැත. විසඳුම වන්නේ තවත් සතියකින් එන ලෙසය. නැතිනම් විෂයභාර නිලධාරියා නිවාඩු ගොස් ඇති බවය. පරිපාලනයේ අකාර්යක්‍ෂමතාව ජනතා ගැටලූ උග‍්‍රකොට තිබේ. හේතුව පරිපාලකයන් ජනතා සේවකයන් වනු වෙනුවට රාජ්‍ය සේවකයන් වී සිටීමය.
මේ නිසා ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා අප‍්‍රසාදය පුපුරා යාමට තරම් ආසන්නය. මෙසේ පාර්ලිමේන්තුව පිළිබඳ තමන්ගේ නියෝජිතයා පිළිබඳ විශ්වාසයක් හෝ ගෞරවයක් ජනතාව තුළ නැත. මෙසේ පුපුරා යාමට ආසන්න ජනතා විරෝධය උරාගැනීමට නම් ජනමතයේ ප‍්‍රකාශනයට ඉඩහළ යුතුය. ඒ සඳහා ඇති එකම මාර්ගය එනම් මැතිවරණයකට ඇති බාධක ඉවත්කොට ජනතා තීන්දුවකට ඉඩ දීමය.
එසේ නම් වහාම කළ යුත්තේ ගොවියන් තුළ කම්කරුවන් තුළ භික්ෂූන් තුළ ශිෂ්‍යයන් තුළ වෛද්‍යවරුන් තුළ කැකෑරෙමින් පවතින අප‍්‍රසාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමෝපාය මගින් උරාගැනීමයි. එසේ කිරීම රටේ සාමයට හා සංවර්ධනයට ඇති දොරටු විවර කිරීමක් වන අතර එසේ නොමැතිව බටහිරින් දෙන තිත්ත බෙහෙත් ගිලිමින් මුනිවත රැකීම ලෙඬේ උග‍්‍ර වී ලෙඩා මියයාමට හේතුවක්ම වන බව වගකිවයුත්තන්ට දන්වනු කැමැත්තෙමි.