රටේ පරිපාලන සේවයේ ඉහළම තනතුර වන ජනාධිපති ලේකම්වරයාගේ පරිපාලනය, ක්‍රියාකාරීත්වය, කාර්යක්ෂමතාව ද රටේ වත්මන් තත්ත්වය තීරණය වීම කෙරෙහි මෙන්ම රටේ එදිනෙදා පැවැත්ම කෙරෙහි ද විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි සිතමි. රටේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් ජනාධිපති ලේකම් පදවිය ආරම්භ වූ අතර එම තනතුර සම්බන්ධයෙන් දැකගන්නට ලැබුණු විශේෂ අවස්ථාවක් වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් වරින් වර ලේකම්වරුන් වෙනස් කිරීම හේතුවෙන් ලේකම්වරුන් කිහිප දෙනකුම සේවය කිරීමත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේදී අන් අයගේ බල කිරීම මත ජනාධිපති ලේකම්වරයා සේවයෙන් ඉවත් කිරීමට සිදුවීමත්ය.
රණසිංහ ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කේ.එච්.ජේ. විජේදාස මහතා පසුගිය දා අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික හා සමාජ විකාශනයේ සුවිශේෂ අවස්ථාවල දී රජයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස එම තතතුරේ කාර්ය භාරය සහ එය රටේ පැවැත්ම කෙරෙහි කවරාකාර බලපෑමක් ඇති කරන්නේ ද යන්න හඳුනාගැනීම සඳහා අවස්ථාවක් සැලසේ.
මම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටියදී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් එතුමා අමාත්‍ය ධුරය හෙබවූ සැලසුම් සහ සැලසුම් ත්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ උපදේශකවරයකු වශයෙන් පත් කරනු ලැබීමි.
විජේදාස මහතා එම අවස්ථාවේ සිට මම ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල රැස්වීමට කැඳවනු ලැබුවෙමි. මා එම රැස්වීමට 1990 වසරේ අවසන් භාගයේ සිට 1993 ජූනි මාසය දක්වාම සහභාගී වූයෙමි. එම රැස්වීම තුළින් ඉතා කාර්යක්ෂමව සේවා ඉටු කර ගැනීම පිළිබඳව මා ලැබූ අත්දැකීම් පසුකාලයේදී රජයේ සහ විශ්වවිද්‍යාලයේ විවිධ පරිපාලන තනතුරු දැරීමේදී මට බෙහෙවින් ආධාර විය. විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වන රටක ජනාධිපති ලේකම්වරයා විසින් විධායකයේ තීන්දු රට තුළ ක්‍රියාත්මක කරවන ආකාරය පිළිබඳවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඒ සඳහා කටයුතු කරන ආකාරය පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීමට මට අවස්ථාව සැලසුණි.
ජනාධිපති ප්‍රේමදාස මහතාට සියලු කටයුතු නිසි පරිදි නිසි වේලාවට ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විය. පෙරවරු 4ට අවදි වන ඔහු එතැන් සිට තම කටයුතු ආරම්භ කරයි. සෑම වැඩක්ම කාර්යක්ෂමව ඉටු වනු දැකීමට මෙන්ම රජයේ කාර්යාල සහ ආයතන පිරිසුදුව ක්‍රමානුකූලව සහ විධිමත්ව පවත්වාගෙන යන බව සහතික කිරීමට ද අවශ්‍ය විය. එවැනි තත්ත්වයක් තුළ විධායක ජනාධිපතිවරයාගේ එම අවශ්‍යතාවට අනුකූලව සියලු කටයුතු මෙහෙයවීමේ වගකීම ජනාධිපති ලේකම්වරයාට පැවරුණු අතර එය ඒවා ඉටු කිරීම මගින් විධායකයේ තීරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසුණි.
කේ.එච්.ජේ. විජේදාස මහතා ජනාධිපති ලේකම් ධුරය හොබවන කාලය තුළ ජනාධිපතිවරයා රටත් මුහුණ දුන් අභියෝගවල දී ක්‍රියා කළ ආකාරය පිළිබඳව සිදුවීම් රැසක් මගේ මතකයට නැගේ. මෙහි ලැබෙන ඉඩ කඩ තුළ තෝරාගත් සිදුවීම් කිහිපයක් පමණක් කෙටියෙන් සඳහන් කිරීමට උත්සාහ කරමි. 1991 වසරේ අගෝස්තු මාසයේ දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග යෝජනාව ඉන් එකකි.
එම වසරේ අගෝස්තු මස 28 වැනි දින ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් සිටියදී කතානායක එම්.එච්. මොහොමඩ් මහතාගෙන් විජේදාස මහතාට දුරකතන ඇමතුමක් ලැබුණි. කතානායකවරයා දන්වා සිටියේ තමා එවන ලියුම වහාම ජනාධිපතිවරයා අතට පත් කළ යුතු බවයි. විජේදාස මහතා එය කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ හැකි බව දැන්වූ නමුදු කතානායකවරයා යළිත් අවධාරණය කළේ එය හැකි ඉක්මනින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙසයි.
ලිපිය ලැබී ඇති බව ඔහු කැබිනට් මණ්ඩලයේ සිටි ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා එය විවෘත කර කියවන ලෙස පැවසීය. දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවත් එය තමන් විසින් භාර ගත් බවත් කතානායකවරයා සඳහන් කර තිබූ අතර එය ඇසූ ප්‍රේමදාස මහතා කලබල වූ බවක් නුදුටු බවත් සාමාන්‍ය තත්ත්වයේ පසු වූ බවත් විජේදාස මහතා සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා පැවැත්වෙමින් තිබූ කැබිනට් රැස්වීමට දෝෂාභියෝගය පිළිබඳ විස්තර දන්වා සිටියේය. ඉන් පසු සභානායක රනිල් වික්‍රමසිංහ මහතා වහාම යෝජනාවක් ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා වෙත විශ්වාසය පළ කරන බව සඳහන් කළේය. එය රටේ දේශපාලනයේ තවත් තීරණාත්මක අවස්ථාවකට මග පෑදුවේය. දෝශාභියෝගයට අත්සන් කළ ලලිත් ඇතුලත්මුදලි මහතා සහ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර මහතා රැස්වීමේ සිටියහ.
එසේ වුවත් ඔවුහු දෝෂාභියෝගයට තමන් අත්සන් කළ බවක් එහිදී සඳහන් නොකළහ. එම දෙදෙනා ඇතුළු මන්ත්‍රීවරු අට දෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපූ අතර ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩු විභාගයේ දී ලලිත්, ප්‍රේමචන්ද්‍ර දෙදෙනාගේ එම ක්‍රියාව හේතුවෙන් ඔවුන් මන්ත්‍රී ධුරයෙන් නෙරපීම සාධාරණ බව අධිකරණයේ විනිශ්චය විය.
දෝෂාභියෝගයට අත්සන් කළ මන්ත්‍රීවරු බොහෝ පිරිසක් තම අත්සන් ඉවත් කරගෙන දෝෂාභියෝගයට ලබාදුන් සහයෝගය අස් කර ගත්තෝය. එහිදී අග්‍රාමාත්‍ය ඩී.බී. විජේතුංග, සභානායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සිරිසේන කුරේ යන මහත්වරුන් මන්ත්‍රීවරුන් ඒ සඳහා පොළඹවාගෙන ප්‍රේමදාස මහතා දෝෂාභියෝගයෙන් බේරා ගැනීම සඳහා සුවිශාල කාර්ය භාරයක් ඉටු කළහ.
දෝෂාභියෝගය ජයගත් ප්‍රේමදාස මහතා ඉන් මාස තුනකට පසු පැවැත්වීමට නියමිතව තිබූ සාක් සංවිධානයේ 6වැනි රැස්වීමට සූදානම් වූයේය. දෝෂාභියෝගයක් තුළින් ගොඩනැගුණු අවිනිශ්චිතතාව සමනය කර ගැනීම සඳහා ද එය අවස්ථාවක් කර ගැනීමට ඉඩ ලැබුණි. එනිසා ප්‍රේමදාස මහතා එම රැස්වීම ඉතා ඉහළ මට්ටමකින් සංවිධානය කිරීමට කේ.එච්.ජේ. විජේදාස මහතාට උපදෙස් ලබා දුන් අතර මෙහෙයුම් කමිටුවල විශාලතම වගකීමක් ඉටු කරන ලද්දේ ඔහු විසිනි. නිලධාරී මට්ටමේ ප්‍රධාන මෙහෙයුම්කරු වූ සභාපතිවරයා ලෙස ඔහු එම කටයුතු ඉතාමත් කාර්යක්ෂම අයුරින් මෙහෙයවමින් සිටියේය. නොවැම්බර් මස 05 වැනි දින ඔහු මෙහෙයුම් කමිටුවේ අවසන් සාකච්ඡාව මෙහෙයවමින් සිටියේය.
හදිසි දුරකතන ඇමතුමක් ලැබී ඔහු රැස්වීම පැවතියදීම මදක් ඔබ්බට ගොස් එයට ප්‍රතිචාර දැක්වීය. මද වේලාවකින් විජේදාස මහතා එතැන සිටි අයකුගෙන් දුම්වැටියක් ඉල්ලාගෙන එය දල්වාගත් අතර තවත් ඇමතුම් කිහිපයක් ගත්තේය. ඉන් පසු යළි අසුනට පැමිණි විජේදාස මහතා රැස්වීම සඳහා පැමිණිය යුතු නේපාල අගමැතිවරයා පැමිණ නැති බවත් ඔහුට නැවත පැමිණිය හැකි ගුවන් යානාවක් නැති බවත් ඒ අනුව සාක් නායක සමුළුව ආරම්භ කිරීමට පෙර ඔහු පැමිණේවියැයි බලාපොරොත්තු විය නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය. සාක් ප්‍රඥප්තිය අනුව කිසියම් රටක නායකයකු සහභාගී නොවන්නේ නම් රාජ්‍ය නායක සමුළුවක් පැවැත්විය නොහැකිය. ඒ අනුව ඉන්දියාව සහ භූතානය ද සමුළුවට සහභාගී නොවන බව දැනුම් දුන්නේය.
කෙසේ වුව ද පාකිස්තානයේ, බංගලිදේශයේ සහ මාලදිවයිනේ නායකයන් රටට පැමිණි අතර ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම රටවල් අතරේ නායකයන්ගේ රැස්වීමක් පැවැත්වීය. විජේදාස මහතා ඇතිව තිබූ හදිසි තත්ත්වයට අනුකූලව ප්‍රේමදාස මහතාගේ උපදෙස් පිට සියල්ල වෙනස් කරමින් එම රැස්වීම පැවැත්වීමට කටයුතු සංවිධානය කළේය.
1993 මැයි මස 01 දින මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාගේ කාර්යාලයේ රැඳී සිටියෙමි. එකවරම මගේ කාමරයට ඇතුල් වූයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ඡායාරූප ශිල්පියකු වන වෙන්ස්ලි මහතාය. ඔහුගේ කමිසයේ ලේ පැල්ලම් තිබෙනු දුටු මම ඒ පිළිබඳව විමසුවෙමි. ඔහු ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ප්‍රේමදාස මහතා මැයි දින පෙළපාළිය සූදානම් කරමින් සිටි ස්ථානයේදී බෝම්බයක් පුපුරා ගිය බවයි.
මා ජනාධිපතිතුමා ගැන විමසූ විට ජනාධිපතිතුමාට කිසිදු හිරිහැරයක් නැති බවත් වාහනයක නැගී පිටත්ව ගිය බවත් ප්‍රකාශ කළේය. මා වහාම විජේදාස මහතා අමතා එම විස්තරය දැන්වූයෙමි. ඔහු එම තොරතුරු තමාටද ලැබී ඇති බවත් එහෙත් ජනාධිපතිවරයා ගිය තැනක් සොයා ගැනීමට නොහැකි බවත් එබැවින් එම කැමරාකරු ආපසු එම ස්ථානයට යවා ජනාධිපතිවරයා පිළිබඳ තොරතුරු ලබා ගන්නා ලෙස දැන්වූයේය. එහෙත් මද වේලාවකින් බෝම්බය හේතුවෙන් ජනාධිපතිතුමා ඝාතනය වී ඇති බව දැනගැනීමට ලැබුණු අතර අපට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වනු ලැබීය.
ජනාධිපති ඝාතනය දැනගත් සභානායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප මැයි රැලිය සංවිධානය කර තිබූ ගෝල්ෆේස් පිටියට ගොස් රැස්වීම නවතා මහජනතාව ආපසු නිවෙස්වලට පිටත් කර යැවීමට කටයුතු කළේය. ඉන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේය. විජේදාස මහතා සමග එකතු වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඊළඟට ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කර අග්‍රාමාත්‍ය ඩී.බී. විජේතුංග මහතා වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දීම සඳහා කටයුතු සැලස්වීය.
ඉහතින් විස්තර කරන ලද්දේ විජේදාස මහතා ජනාධිපති ලේකම් ධුරය හොබවමින් සිටි අවස්ථාවලදී මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථා පිළිබඳවයි. විජේදාස මහතා බොහෝ දෙනකු විසින් අගය කරනු ලබන්නේ ඔහු විසින් ශ්‍රී ලංකාවේ පරිසරය සංරක්ෂණය වෙනුවෙන් ඉටු කළ මෙහෙය හේතුවෙනි. 1980 ජාතික පාරිසරික පනත ගෙන ඒම සඳහා ඉටු කළ මෙහෙයයි. මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවීම සඳහා ද ඔහු විශාල මෙහෙයක් ඉටු කළ අතර දස වසරක් පමණ එහි සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර