අද පවත්නා විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට විධායක අගමැතිවරයකු යටතේ රට පාලනය කළ හැකි ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය සූදානම් වන බවට ප්‍රවෘත්තියක් පසුගිය දා ප්‍රචාරය වී තිබුණි. එම ප්‍රවෘත්තියට අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට පාර්ලිමේන්තුවෙන් තෝරා ගන්නා අගමැතිවරයකුට බලය පැවරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රජය විසින් ඉදිරිපත් කරනු ඇත.
මේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන බැවින් ඒ සඳහා ද අවශ්‍ය පියවර ගනු ඇත. වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයා බවට පත්වන ආකාරයේ අන්තර්කාලීන විධි විධාන සැලසීම මගින් මහජන ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන තත්ත්වයක් ද ඇති කරනු ලැබේ. මෙම ප්‍රවෘත්තියට දිනෙන් දිනම තටු ලැබී පසුගිය දිනවල මාධ්‍ය අතර එයට ජීවය ලැබී තිබුණු ආකාරය මහජනතාවට දැකගන්නට ලැබුණි.
මෙම ප්‍රවෘත්තිය තවදුරටත් තහවුරු කිරීමට අගමැතිවරයා විසින් කැඳවන ලද මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳ රැස්වීම ද ආධාර වූයේ යැයි සිතිය හැක. එම රැස්වීම බොහෝ දුරට කේන්ද්‍රගත වූයේ මැතිවරණ කොට්ඨාස ක්‍රමය යළි ස්ථාපිත කිරීමත් ආසන නියෝජිත ක්‍රමය සහ මනාප නියෝජන ක්‍රමය යන දෙකම ක්‍රියාත්මක වන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් ඇති කර ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමටය. ඒ පිළිබඳව අදහස් දැක්වූ සමහර අය ප්‍රකාශ කළේ මෙය ඡන්ද කොට්ඨාස ක්‍රමය නිර්ණය කරන තුරු මැතිවරණය කල් දැමීම අරමුණු කරගෙන රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවක් බවය.
කොට්ඨාස ක්‍රමය සහ මනාප ක්‍රමය එකවර ක්‍රියාත්මක කිරීමට නම් රට පුරා මැතිවරණ කොට්ඨාස ස්ථාපිත කිරීමට හැකි වන ආකාරයේ සීමා නිර්ණය කොමිසමක් පත් කර ඒ සඳහා තීන්දු ගත යුතුව ඇත. එසේ වුවද එවැනි කොමිෂන් පත් කර සීමා නිර්ණය පිළිබඳ තීන්දු ගැනීමට උත්සාහ කළ සෑම අවස්ථාවකදීම පාහේ සීමා නිර්ණය පමා කිරීමට සිදු විය. ඒ අනුව විපක්ෂය චෝදනා කළේ රජය ඒ ආකාරයට ඡන්දය කල් තැබීම සඳහා උප්පරවැට්ටියක් ලෙස මැතිවරණ නීති සංශෝධනය කිරීමේ රැස්වීම කැඳවා ඇති බවයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය අර්බුදයට රට මුහුණ දී සිටින විට ඇති විය. එම මැතිවරණය පැවැත්වීමට නියමිත කාලය තුළ දී රජය කරුණු දෙකක් පිළිබඳව උත්සුක වී සිටියේය. එකක් නම් බංකොළොත්භාවය ප්‍රකාශ කර ඇති රටක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ ණය පහසුකම් යටතේ ණය අරමුදල් ලබා ගැනීමය. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම, යෝජනා ඉදිරිපත් කිරීම, ණයකරුවන් සමග සාකච්ඡා කිරීම සඳහා උපදේශකවරුන් තෝරා ගැනීම, සාකච්ඡා ආරම්භ කිරීම ආදී කටයුතුවල නියැලීමට රජයට සිදු විය.
අනෙක් කරුණ වන්නේ රජයට ලැබෙන සීමිත ආදායම ප්‍රමුඛතා අනුව විවිධ අංශ අතර බෙදාහරින ආකාරය පිළිබඳව ඉතා සංයමයකින් කටයුතු කිරීමට රජයට සිදුව තිබීමයි. ලැබෙන මුදල් ප්‍රමාණය පළමුවෙන්ම මහජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා යෙදවීමට සිදු වේ. ණය නොලැබීම, ආධාර නොලැබීම වැනි හේතු නිසා ඉතා අවම ආදායමක් ලබා සිටිමින් රජයට එම අවශ්‍යතා සම්පූර්ණ කරන විට තව දෙයක යෙදවීම සඳහා මුදල් ඉතිරි වී නොතිබුණි. එම කරුණ පිළිබඳව ද සැලකිල්ල යොමු කිරීමට රජයට සිදු විය.
පළාත් පාලන ආයතන මැතිවරණය යනු රටේ ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම රඳා පැවතුණු කරුණක් නොවේ. ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කරන රටේ පහළම ස්ථරය වූයේ ප්‍රාදේශීය සභාවයි. එසේ වුවද ගම් සභා ක්‍රමය අකර්මණ්‍ය කර තිබූ අවස්ථාවක දී 1991 වසරේදී ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් හඳුන්වා දෙන ලද්දකි. 1991 සිට මේ දක්වා දශක තුනක කාලය තුළ පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පවත්වා ඇති නමුත් ඒ සෑම එකක්ම නියම දිනට පසුව පැවැත්වූ මැතිවරණ බව පැහැදිලි වේ.
එයින් අදහස් වන්නේ 1991න් පසුව මේ දක්වා පැවැති සෑම පළාත් පාලන මැතිවරණයක්ම නියමිත කාල සීමාවේ නොපවත්වා කල් දමා ඇති බවයි. එබැවින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය බිඳ වැටීමක් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමෙන් සිදු නොවන බව ඕනෑම කෙනකුට තේරුම් යනු ඇත. රජය ඒ වන විට ලබමින් සිටි ආදායම අනුව පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාවක් නැති බව මුදල් අමාත්‍යංශය මැතිවරණ කොමිෂන් සභාවට දන්වා ඇත.
මුදල් ප්‍රශ්නය මුල් කරගෙන රජය මැතිවරණය කල් දැමීම මගින් බලාපොරොත්තු වන්නේ මහජන ඡන්දයෙන් පරාජයට පත්වීම වළක්වා ගැනීම යැයි විපක්ෂයේ අදහසය. මැතිවරණයක් පැවැත්වුවහොත් රජය පරාජයට පත් වේ. එයට බිය වී රජය මැතිවරණය කල් දමා ඇත. රජය හැකි සෑම අවස්ථාවකදීම මැතිවරණ පැවැත්වීමෙන් වැළකී සිටීමට කටයුතු කරනු ඇත. ඒ මැතිවරණයකට මුහුණ දුනහොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයකට ලක් වීමට ඉඩ ඇති බැවිනි. පළාත් පාලන ආයතනවල කාලය ඉකුත් වීමෙන් පසුව නාම යෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් රජය කිසිදු බාධාවක් පැමිණවූයේ නැත.
නියමිත පරිදි නාම යෝජනා භාර ගැනීම සිදු විය. එසේ වුවද ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම වැනි කටයුතු සඳහා අවශ්‍ය මුදල් රජයට නොතිබූ නිසා මැතිවරණය කල් දැමීමට සිදු විය. තවමත් එම මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව තීරණයක් ගෙන නැත. ඊළඟට පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයයි. එයින් ද රජය පරාජයට පත්වන බැවින් මැතිවරණ කල් දැමීම හැර රජයට වෙනත් විකල්පයක් නැත යන්න විපක්ෂයේ අදහස වී තිබුණි.
ඉහතින් සඳහන් කළ පරිදි විධායක ජනාධිපති වෙනුවට විධායක අගමැතිවරයකු පත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවට ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය තනිකරම එක්තරා පිරිසකගේ නිර්මාණයක් බව දැන් පැහැදිලි වී තිබේ. අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා එවැනි යෝජනාවක් කෙටුම්පත් කර හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර හෝ නැති බව පැහැදිලිව ප්‍රකාශ කළේය. එසේ වුවද ඉහත පුවත නිර්මාණය කළ පිරිස ඉන් පසුව පිහිටු වූ මැතිවරණ සංශෝධන කොමිසම පිළිබඳ ප්‍රවෘත්තිය ආධාර කරගෙන එම මතය තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කර ඇති බව පෙනේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයන් අට දෙනකුගෙන් සමන්විතව පත් කර ඇති මැතිවරණ සංශෝධනය සඳහා යෝජනා කර ඇති කමිටුවට පැවැරී ඇති වගකීම ඉතාමත් පුළුල් සහ රටට ඉතා වැදගත් වන එකක් බව ඒ පිළිබඳව ගැසට් පත්‍රය පරීක්ෂා කරන විට පැහැදිලි වේ.
තරුණ සහ කාන්තා නියෝජනය, මැතිවරණ ප්‍රකාශයට මැතිවරණය සඳහා වෙන් කරන කාල පරිච්ඡේදය අඩු කිරීම, විද්‍යුත් ගණනය කිරීමේ ක්‍රම යොදා ගැනීම, විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව සැලසීම, ආයතන දෙකක මන්ත්‍රී ධුර දැරීමට ඇති හැකියාව සලකා බැලීම ආදිය එම කොමිසමට පැවැරී ඇති වගකීම වේ.
ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් වසරක කාලයක් ඉතිරිව තිබේ. මහජනතාව විසින් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව මෙන්ම මහජන නියෝජනය වඩාත් විධිමත් කිරීම වැනි කරුණු ද මෙම කොමිසමට පැවැරී ඇති වගකීම වේ. මෙවැනි සංශෝධන බොහෝමයක් අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙනි. එබැවින් ජනාධිපතිවරණය කල් දැමීමේ අදහසින් එම කොමිසම පත් කර ඇතැයි අදහසක් ඇති කර ගැනීමට නොහැකිය. එසේ වුවද මේ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම අදහස නිවැරැදිව රටට ඉදිරිපත් කළේය.
පසුගිය ඉරිදා පැවැති එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ මැතිවරණ පිළිබඳව ඉතා පැහැදිලි ප්‍රකාශයක් කළේය. 2024 වසරේ දී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පවත්වන බවත් 2025 දී පළාත් සභා මැතිවරණය පවත්වන බවත් ඒවා සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු නොවන බවත් ඍජුව සහ දැඩිව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මුළු රටම එක ඡන්ද කොට්ඨාසයක් සේ සලකමිනි. සියලුම ඡන්ද දායකයන් රටේ නායකයා තෝරා ගැනීමේ කටයුත්තට මැදිහත් වේ. විවිධ දේශපාලන පක්ෂ රටේ මහජන මතය පිළිබඳවත් තමන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය පිළිබඳවත් විවිධ මත ප්‍රකාශ කළ හැකිය.
එසේ වුවද ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඕනෑම අපේක්ෂකයකු විසින් සියයට 50 ඉක්මවා යන ඡන්ද ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ලබාගත යුතුය. පසුගිය ජනාධිපතිවරණයේ දී ප්‍රකාශ වූ ඡන්ද හැටනව ලක්ෂය වෙනස් විය හැකිද? සියයට තුනකට සියයට 50 දක්වා ඉහළ ගිය හැකිද? පනස් පන් ලක්ෂය කෙතෙක් ඉහළට නැංවිය හැකිද? උතුරු නැගෙනහිර, වතුකරය වැනි ප්‍රදේශවල ඡන්දය හිමි කරගත හැකි ආකාරය වැනි කරුණු මත රටේ ඊළඟ ජනාධිපතිවරයා පත්වනු ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන බව සඳහන් කරමින් කළ පහත සඳහන් ප්‍රකාශය සෑම දේශපාලන පක්ෂයකම අවධානයට යොමු වන්නේ නම් එම පක්ෂවලට එය ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි. “අද රටේ ජනතාවට දේශපාලන පක්ෂ ක්‍රමය එපා වී තිබෙනවා.
අද දේශපාලනඥයන්ට පිළිගැනීමක් නැහැ. ඔවුන් බොරුකාරයන් බවට පත් වෙලා. ඒ සමඟම ජනතාව දේශපාලන පක්ෂවලින් ඈත් වෙලා. ඒ යථාර්ථය අප තේරුම්ගත යුතුයි. ඒත් අවාසනාවකට අනෙක් දේශපාලන පක්ෂ මෙය පිළිගන්නේ නැහැ. ඔවුන් සිතාගෙන ඉන්නේ ජනතාව ඔවුන් කර උඩින් ගෙන ගොස් ජනාධිපති කරයි කියලා. රටේ අනෙක් දේශපාලන පක්ෂවල සහාය ලැබුණේ නැත්නම් මට මේ රට ගොඩ ගැනීමට හැකි වන්නේ නැහැ.”