විවිධාකාර සමීක්ෂණ, පර්‌යේෂණ සහ සංගණන පැවැත්වූ බව ප්‍රකාශ කරමින් රට පිළිබඳවත්, රටේ ආර්ථික සමාජ සහ දේශපාලන තත්ත්වය පිළිබඳවත් විවිධ චිත්‍ර රූපගත කිරීමට විවිධ පිරිස් මේ දිනවල සූදානමින් සිටින බව පෙනේ. මහජනතාවගේ අදහස් ලෙස හෝ යම් යම් අංශවල සංඛ්‍යා දත්ත ලෙස හෝ ප්‍රකාශයට පත්කර ඇති එවැනි වාර්තාවලින්, සැබෑ තත්ත්වය දරුණු ලෙස විකෘත කර ඇති අවස්ථා ද දක්නට ලැබේ.
ශ්‍රී ලංකාව වැනි ආර්ථික අර්බුදවලට මැදිව ඇති සමහර රටවල් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මේ ආකාරයේ විකෘති කිරීම් එම රටවලට අවාසි සහගත ලෙස බලපාන බවද මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනයවීමට හේතුවන බව ද පෙන්වා දිය යුතුව ඇත.
රට පිළිබඳව මෙන්ම රටේ ජනතාව පිළිබඳව ද මේ ආකාරයෙන් විකෘති කරන ලද දත්ත, තොරතුරු සහ වාර්තා ප්‍රසිද්ධ කිරීමට ඇතැම් පිරිස් විසින් කටයුතු කරනුයේ සෑහෙන කලෙක සිට බව පෙන්වා දිය යුතුව ඇත. විශේෂයෙන් ම යුද්ධය පැවැති කාල පරිච්ඡේදය තුළ ඒ ආකාරයට රට සම්බන්ධයෙන් වැරදි තොරතුරු ප්‍රකාශයට පත් කරන වාර්තා ලොව පුරා ප්‍රචාරය කරනු ලැබීය. උදා: යුද්ධයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස පිළිබඳව අතිශයෝක්තියට නගන ලද සංඛ්‍යා මේ ආකාරයට ප්‍රචාරය කරන ලද අතර, සැබෑ තතු ඕනෑම කෙනකුට පිළිගත හැකි ආකාරයෙන් නිශ්චිත ලෙස ඉදිරිපත්වීමෙන් පසුව ද නිවැරදි තොරතුරු පිළිගැනීමට ඇතැම් අය සූදානම් නොවූ ආකාරය දැකීමට හැකි විය.
එවැනි වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත් කිරීමේ දී විකෘති කරන ලද තොරතුරුවලින් ඒවා පිරී තිබීමයි. “ චැනල් 4 ” මගින් මෑතදී ප්‍රකාශයට පත් කරන ලද පාස්කුදා ප්‍රහාරය පිළිබඳව වීඩියෝව උදාහරණයක් ලෙස දැක්විය හැකිය.
එම වීඩියෝව ප්‍රදර්ශනය කළ වහාම ශ්‍රී ලංකාවේ අගරදගුරුතුමන් ඇතුළු බොහෝ දෙනකුගේ ඉල්ලීම වූයේ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. පසුව ජාත්‍යන්තරයේ සහාය ලබන පරීක්ෂණයක් පැවැත්වීම ප්‍රමාණවත් බව කාදිනල්තුමන්ගෙන් ප්‍රකාශ විය. එහෙත් දැන් ජාත්‍යන්තර පරීක්ෂණයක් නොව, දේශීය පරීක්ෂණයක් හෝ පැවැත්විය යුතු යැයි ප්‍රකාශ කරන කිසිවකු හෝ දැක ගන්නට නොලැබේ. එයට හේතුව එම වීඩියෝව නිෂ්පාදනය කළ පිරිස් විසින්ම එහි ඉදිරිපත් කළ තොරතුරු සත්‍ය යැයි සහතික කළ නොහැකි බව ප්‍රසිද්ධියේ ම පිළිගැනීමයි.
මේ ආකාරයේ තොරතුරු මෑතක සිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශාල ලෙස ප්‍රකාශයට පත් කරන ලද බව පෙනේ. පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය පිළිබඳව එවැනි වාර්තා ප්‍රකාශයට පත්ව තිබුණි. ඉන්පසු ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිළිබඳව ද මන්දපෝෂණය පිළිබඳව ද එවැනි වාර්තා ප්‍රකාශයට පත්විය. උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් ඇති දිළිඳුකම ඉහ වහා ගොස් ඇති මන්දපෝෂණයෙන් පෙළෙන පිරිස් විශාල ලෙස වැඩි වී ඇති රටක් පිළිබඳව විදේශිකයන් කවර ආකාරයකින් සිතනු ඇත්ද? එවැනි රටකට සංචාරකයන් පැමිණේවි යැයි බලාපොරොත්තු විය හැකිද? එම තොරතුරුවලින් යම් කිසිවකු ශ්‍රී ලංකාව පිළිබඳව ඇතිකර ගන්නා මතය කවර ආකාර වේද? විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට තම රට පිළිබඳව ප්‍රචාරය කරනු ලබන මෙවැනි අසත්‍ය ප්‍රචාර හමුවේ අනෙක් පිරිස්වලට මුහුණ දිය හැකිද?
මේ සතියේ සඳුදා එවැනි පර්‌යේෂණයකින් හෙළිවූයේ යැයි කියන තොරතුරු පුවත්පත්වල පළවී තිබුණි. ‘වෙරිටේ රිසර්ච්’ නමැති ආයතනයක් විසින් ‘රට හිතන හැටි දීපව්‍යාප්ත ජනමත විමසුමේ නවතම ප්‍රතිඵලය’ ලෙස එය ප්‍රකාශයට පත්කර තිබුණි. එම සමීක්ෂණ මගින් සැබැවින් ම රටේ තත්ත්වය හෙළිදරව් කරන්නේ ද යන්න සලකා බැලීම වැදගත් වනු ඇත.
වෙරිටේ රිසර්ච් නමැති ආයතනය විසින් සිදුකර ඇතැයි කියනු ලබන ජනමත විමසුම මගින් ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය සියයට 9 දක්වා පහත වැටී ඇතැයි දක්වා තිබේ. මේ වසරේ ජුනි මාසයේ එය සියයට 21 ක්ව පැවැති බවත්, එහෙත් ඔක්තෝබර් මාසය වන විට එය සියයට 9 දක්වා අඩු වී ඇති බවත්, එම ආයතනය විසින් පැවැත්වූ ජනමත විමසුමෙන් හෙළිවන බව ප්‍රකාශ කරයි. ඒ ආකාරයටම ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය සෘණ 44 සිට සෘණ 62 දක්වා අඩුවී ඇති බවද රටේ වැඩ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය පිළිබඳව පැවැති ජනතා තෘප්තිය ජුනි මාසයේ දී සියයට 12 සිට ඔක්තෝබර් මාසයේ දී සියයට 6 දක්වා අඩුවී ඇති බව ද පෙන්වා දී ඇත.
මෙම ආයතනය රට හිතන හැටි මත විමසුම වසරකට තුන් වතාවක් පවත්වනු ලබන බවත්, එය දීප ව්‍යාප්ත, ජාතික වශයෙන් නියෝජනය වන ප්‍රතිචාර නියැදියක් මත පදනම් වන බවත්, එම ආයතනය විසින්ම සඳහන් කර ඇත. කෙසේ වුවද, දීප ව්‍යාප්ත සහ ජාතික වශයෙන් නියෝජනය වන ප්‍රතිචාර නියැදියක් බව සඳහන් වී ඇතත්, එය රටේ ඒ ඒ ප්‍රදේශ නියෝජනය වන්නේ කවර සංඛ්‍යා දත්තවලට අනුවද යන්න හෝ දීපව්‍යාප්ත ලෙස හැඳින්වුවත් එසේ ව්‍යාප්ත වී ඇත්තේ කවර ප්‍රමාණ අනුව ද යන්න හෝ හෙළිකර නැත.
ඉතා වැදගත් කරුණ වන්නේ ඔවුන්ගේ මෙම හෙළිදරව් කිරීම සඳහා තොරතුරු ලබාගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාවයි. තොරතුරු ලබාගෙන ඇති මුළු පුද්ගලයන් සංඛ්‍යාව 1029 කි. ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව දෙකෝටි විසි ලක්ෂයකි. ඉන් 1029 ක් තෝරාගෙන කර ඇති මෙම සමීක්ෂණය දීප ව්‍යාප්ත එකක් ලෙසද ජාතික වශයෙන් නියෝජනය වන එකක් ලෙසද හඳුන්වා දී ඇති නමුත්, ඒ සඳහා තෝරාගෙන ඇත්තේ ඉතා කුඩා නියැදියක් බව පෙනී යයි. බටහිර රටවල ජනමත විමසුම් සඳහා මේ ආකාරයට ඉතා කුඩා නියැදි භාවිතා කරන බවද එම කුඩා නියැදි ඔස්සේ නිවැරදි තොරතුරු ලැබෙන බවට ද සත්‍යයකි.
බටහිර රටවල වුවද ජනමත විමසුම් දැඩි ලෙස අසාර්ථක වී ඇති ආකාරය පිළිබඳ කොතෙකුත් උදාහරණ, ප්‍රචාරණ ඇත. 2015 බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ දී කොන්සර්වේටිව් සහ කම්කරු පක්ෂය සමාන ආසන ගණනක් ලබනු ඇතැයි ද අස්ථාවර පාර්ලිමේන්තුවක් ඇති වන බවට ද සියලු ජනමත විමසුම්වලින් ප්‍රකාශ වී තිබුණ ද කොන්සර්වේටිව් පක්ෂය විශාල ජයග්‍රහණයක් ලැබුවේය. 2016 දී කොන්සර්වේටිව් පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබන බවට ජනමත විමසුම්වලින් ප්‍රකාශ වුවද පක්ෂ දෙක අතර සමාන ප්‍රතිඵලයක් ලැබී තිබුණි.
ජනමත විමසුම්වලදී මේ ආකාරයට ඇතැම් රටවල ඉතා කුඩා ජන සංඛ්‍යාවක් තෝරාගෙන එයින් මුළු රටේම මහජනතාවගේ අදහස් නියෝජනය වන බවක් හැඟවීම පෙන්වා දිය හැක්කේ දරුණු අපරාධයක් ලෙසය. ශ්‍රී ලංකාව වැනි සමාජීය වශයෙන් විවිධ අදහස් දරන විවිධාකාරයේ විෂමතා පවතින, විවිධාකාර මතවාද අනුව බෙදී ඇති සහ අධ්‍යාපන මට්ටම සම්බන්ධයෙන් වැඩි විෂමතා ඇති රටක 1029 ක් වැනි පිරිසකගේ අදහස් රටේම අදහස ලෙස පිළිගත හැකිද යන්න පිළිබඳව අවධානය යොමුවිය යුතුව ඇත.
ඒ අතරම සමීක්ෂණ පවත්වන කණ්ඩායම්වල අභිප්‍රායයන් සහ ඉලක්ක ද සමීක්ෂණ තොරතුරු නිවැරදි වීම සඳහා අතිශයින් වැදගත් වන බව බැහැර කළ නොහැකි සත්‍යයකි. මෙම සමීක්ෂණ ආයතනවල වගකීම් දරන අය විසින් රජය, විපක්ෂය සහ ශ්‍රී ලංකාව පිළිබඳව උනන්දුවක් දක්වන රටවල් සහ කණ්ඩායම් සමග පවත්වාගෙන යන සම්බන්ධතා පිළිබඳ තොරතුරු ද රටට හෙළිකළ යුතුව ඇත.
රජය විසින් පිහිටුවන ලද ආර්ථික ස්ථායීකරණ කමිටුවේ තනතුරු ඉල්ලා සිටියේද යන්නත් ව්‍යවස්ථා සභාවට උපදෙස් දීම සඳහා කමිටුවක් පත්කර එහි සාමාජිකයෙක් වීමට උත්සාහ කළේද යන්නත් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ සුමන්දිරන් පාර්ශවය සමග එම ආයතනවල ප්‍රධානීන් කවර ආකාරයේ සම්බන්ධතාවක් පවත්වන්නේ ද යන්නද හෙළිකළ යුතුව ඇත.
ඒ අතරම රජය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ අර්ථසාධක අරමුදලින් සහ සේවක භාරකාර අරමුදලේ පොලී අනුපාතික අඩු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ආධාර අනුබල දුන්නේ ද යන්න හෙළිකළ යුතුව ඇතැයි සිතමි.
ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයක් ද මේ ආකාරයට දේශපාලනයට සම්බන්ධ ජනමත විමසුම් පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරයි. එම ආයතනයේ අරමුණ ලෙස දක්වා ඇත්තේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව පර්‌යේෂණ පැවැත්වීමයි. සිදුව ඇත්තේ සහ සිදුවෙමින් පවත්නේ කුමක්ද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙවැනි ආයතනවල ක්‍රියාකාරීත්වයෙන් හැකියාව ලැබෙනු ඇතැයි සිතමි. එම ආයතනය ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන බව පෙනේ.
කිසිදු වගවීමකින් හෝ වගකීමකින් තොරව තම සිතැඟි පරිදි ජනමතය විකෘති වන ආකාරයෙන් මෙවැනි තොරතුරු සමීක්ෂණවල ප්‍රතිඵල ලෙස හඟවමින් ප්‍රකාශයට පත් කිරීම ඉතා බරපතළ තත්ත්වයක් බව පෙන්වා දිය යුතුව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අනුකූලව කටයුතු කර ඇත්තේ සියයට කුමන ප්‍රමාණයකින් ද වැනි තොරතුරු දැක්වීම සඳහා ද මෙම ආයතන විසින්ම විවිධාකාර ක්‍රම භාවිතා කරන බව පෙනේ.
ඒ සියල්ල නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ මෙම සංවිධාන සහ පුද්ගලයන්ගේ අරමුණ වී ඇත්තේ හුදෙක්ම රජය දුර්වල හෝ අකාර්යක්ෂම බව, ජනප්‍රිය නොවන බව පෙන්වීම පමණක් බව පෙනී යයි. රට සහ ජනතාව නොමග යවන ආකාරයට කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව මෙවැනි වාර්තා ඉදිරිපත් කරන පුද්ගලයන්ට සහ ආයතනවලට ජනතා පිළිගැනීම සම්බන්ධයෙන් ඇත්තේ කෙටි ආයුෂක් බව සඳහන් කළ යුතුව ඇත.
(***)