ජපන් සබඳතා නැග්ම බැස්ම


2020 සැප්තැම්බර් 21 වැනි දින එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා වූ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග මහතාට ලිපියක් යවමින් ජපන් ආධාර මත ආරම්භ කරන ලද සැහැල්ලු‍ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය වහාම නවතා දමන ලෙසත් එහි කාර්යාලය වසා දමන ලෙසත් දැන්වූයේය.

සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය ඉතා අධික පිරිවැයක් සහිත එකක් බවත් කොළඹ ප්‍රවාහන තදබදයට ඉන් විසඳුමක් නොලැබෙන බවත් ජනාධිපති ලේකම්වරයා ඒ ලිපියේ සඳහන් කර තිබුණි. ඒ දක්වා අඛණ්ඩව වර්ධනය වෙමින් පැවැති ශ්‍රී ලංකා-ජපන් සම්බන්ධතාවල අඳුරු පරිච්ඡේදයක ආරම්භය එතැන් සිට ආරම්භ වූයේ යැයි සිතමි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වූයේ 1952 වසරේ දීය. එදා සිට 2019 දක්වා වසර 67ක කාල පරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාව සහ ජපානය අතර සම්බන්ධතා ක්‍රමයෙන් ඉතා ඉහළ මට්ටමකට පත් විය. විටෙක ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන සැපයුම්කරු වූයේ ජපානයයි. ශත වර්ෂ ගණනාවක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන සැපයුම්කරු මහා බ්‍රිතාන්‍යය වූ අතර 1970 දශකයේ දී දෙරට අතර සම්බන්ධතා ඉහළ මට්ටමකට පත් වෙද්දී මහා බ්‍රිතාන්‍යය අභිබවා යමින් ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන සැපයුම්කරු බවට පත් විය. 

මෑතක් වන තුරුම ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබා දීමේ දී ප්‍රධාන ආධාර සැපයුම්කරු වූයේ ද ජපානයයි. ජපන් රජයේ නිල විදේශ ආධාර යටතේ ඉතා අඩු පොලියකට ඉතා දිගු ගෙවීම් කාලයක් සහිත ණය ජපානයෙන් ශ්‍රී ලංකාවට පිරිනැමුණි. කෝට්ටේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ජාතික තරුණ සේවා සභාව, කොළඹ ජපන් මිත්‍රත්ව පාලම වැනි ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ සංවර්ධනය සඳහා ඉවහල් වූ ණය සහ ආධාර ක්‍රම ජපානය විසින් ශ්‍රී ලංකාවට පිරිනමනු ලැබීය.

කෙසේ වුවද 2019 ආණ්ඩු පෙරළියෙන් පසු ජපන් ශ්‍රී ලංකා සබඳතාවලට කණකොකා හැඬුවේ යැයි ප්‍රකාශ කළහොත් එය නිවැරදි යැයි සිතමි. ජපානය සහ ශ්‍රී ලංකාව සමග දිගු කලක් තිස්සේ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට කොළඹ සැහැල්ලු‍ දුම්රිය සේවාවක් ඇති කිරීම සඳහා වූ ව්‍යාපෘතියට ණය ආධාර ලබාදීමට ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) එකඟ විය. මුළු ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් බිලියන 2.2කි. 2024 දී ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර තිබුණි.

ඉහත ලිපිය එවන විට මෙම ව්‍යාපෘතිය ආරම්භ කර නිල වශයෙන් ඉදිකිරීම් කටයුතු පටන් ගැනීමට සූදානම් කර තිබුණි. මාලබේ සිට කොළඹ දක්වා කිලෝමීටර් 17ක් දිග මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන 16ක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණි. සෑම මිනිත්තු තුනකට වරක් දුම්රියක් ධාවනය කරවමින් කොළඹ වැඩියෙන්ම ප්‍රවාහන තදබදයක් පවත්නා මෙම මාර්ගයේ මගීන්ට පහසුවෙන් ගමන් කිරීමට අවස්ථාව සලසා දීමට බලාපොරොත්තු විය.

ව්‍යාපෘතිය සඳහා ජයිකා ආයතනයෙන් ලබා දුන් ඩොලර් බිලියන 1.8ක මුදල අවුරුදු 12කට පසු ගෙවීම් ආරම්භ කර වසර 40ක් තුළ ගෙවීම් අවසන් කිරීමට ඉඩ සලසා තිබුණි. පොලිය ඩොලර් 100කට ඩොලර් ශත එකකි. එසේ වුවද රජය විසින් ජපානය සමග කිසිදු සාකච්ඡාවක් නොකර එම ව්‍යාපෘතිය නවතා දැමීමට හදිසියේම තීරණය කරන ලදී. ජපන් රජය මේ පිළිබඳව තොරතුරු දැනගත්තේ පුවත්පත්වලින් යැයි ප්‍රකාශ වී ඇත.

මේ ආකාරයටම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ජපානය සහ ඉන්දියාව සමග අත්සන් කර තිබූ ගිවිසුම ද 2019 වසරේ දී එවකට පැවැති රජය විසින් අවලංගු කරන ලදී. මෙය ඩොලර් මිලියන 500ක ව්‍යාපෘතියක් විය. ජපානය සහ ඉන්දියාව ඒ සඳහා මුදල් යොදවන අතර සංවර්ධනය කිරීමෙන් පසු නැගෙනහිර පර්යන්තයේ අයිතියෙන් සියයට 51ක් ශ්‍රී ලංකාවට ද සියයට 49ක් ජපානයට සහ ඉන්දියාවට ද හිමි වනු ඇත.

මෙම ව්‍යාපෘති නවතා දැමීමට ගනු ලැබූ තීරණ පිළිබඳ ජපන් රජය විමතියට පත් වූයේ යැයි ඒ දිනවල ප්‍රචාරය වී තිබුණි. ජපානය ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයේම සංවර්ධනය වෙමින් පවත්නා රටවලට දැඩි හිතෛශීභාවයකින් යුක්තව සංවර්ධන ආධාර සැපයූ රටක් විය. ලබා ගන්නා ණය සඳහා අය කරන ලද්දේ ඉතා අඩු පොලී අනුපාතයකි. බොහෝ විට මුල් ගෙවීම සඳහා නිදහස් කාල පරිච්ඡේදයක් ලබා දී තිබුණි. සෑම ණය මුදලක්ම පාහේ ඉතා දිගු කලක් තුළ ගෙවීමට හැකි වන ලෙස ගිවිසගන්නා ලද දිගුකාලීන ණය විය.

ශ්‍රී ලංකාව විසින් ජපන් ණය ආධාර යටතේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීම පිළිබඳව ලොව පුරා ප්‍රචාරය විය. ජපානය වැනි රටක් ලොවට ලබා දෙන ආධාරවල යටි අරමුණු නොතිබීම නිසාත් බොහෝ ණය අරමුදල් ඒවා ලබා ගන්නා රටේ නිෂ්පාදනය හා සේවා දියුණු කිරීම හෝ සමාජ සංවර්ධනය අරමුණු කරගෙන ක්‍රියාත්මක කිරීම නිසාත් ඒ රටේ ආධාර හඳුන්වා දී ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට හිතකර ණය ආධාර වශයෙනි.

ලොව පුරා ඒ සම්බන්ධ ඒ ආකාරයේ කීර්තියක් ලබා සිටි ජපානයට ඉහත කී ව්‍යාපෘති දෙක නවතා දැමීම නින්දා සහගත ප්‍රතිරූපයක් ලොව පුරා ඇති කිරීම සඳහා ආධාර වූයේ යැයි සිතිය හැක. ජපානය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවල තත්ත්වය පිළිබඳව ප්‍රසිද්ධියේ යමක් ප්‍රකාශ නොවුණ ද ඉන් පසු ණය සහ ආධාර සම්බන්ධයෙන් ප්‍රගතියක් අත් වූ බවක් පෙනෙන්නට නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙවර සංචාරය සිදු වූයේ එවැනි පසුබිමකය. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ජපානයට නිදහස ලබා දීම සඳහා 1951 දී පැවැත්වූ සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේ දී ශ්‍රී ලංකා නියෝජිත ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයට මිත්‍රත්වය සහ ශක්තිය ලබා දෙන ආකාරයේ ප්‍රකාශයක් එම සමුළුවේ දී කළේය. යුද්ධයෙන් පරාජයට පත්ව ඇති ජපානයෙන් වන්දි ඉල්ලීමට වඩා එරටට සමාව දීම වැදගත් වන ආකාරය ජේ.ආර්. ජයවර්ධනයන් පැහැදිලි කළේය. ඒ ඔහු මුදල් ඇමතිවරයාව සිටිය දීය.

1977 මහ මැතිවරණයෙන් ජය ලබා ජේ.ආර්. ජයවර්ධන රාජ්‍ය නායකත්වයට පත් වූ පසු ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නව යුගයකට පිවිසියේය. ජපානය ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර ලබා දෙන ප්‍රධාන රට බවට පත් වූයේත් ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ පාර්ශ්වකරු බවට පත් වූයේත් ඉන්පසුවය. ඉහත කී පරිදි 2019න් පසු සංවර්ධන ව්‍යාපෘති හදිසියේම නවතා දැමීම හරහා ඇති වූ රාජ්‍ය තාන්ත්‍රික නොනගතය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපන් සංචාරය ආරම්භ වන තුරු ද පැවැතියේ ඒ ආකාරයටය.

පසුගිය කාලයේ දී ජපානය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන්නේ නැතැයි ප්‍රකාශ කළ හැකි තරමට දෙරට අතර සම්බන්ධතා කිසියම් පසු බැසීමකට ලක්ව තිබුණි. එසේ වුවද ශ්‍රී ලංකාව බංකොළොත්භාවයට පත්ව ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන මේ අවස්ථාවේ දී ජපානයේ ආධාරය ශ්‍රී ලංකාව සඳහා කිහිප ආකාරයකින් වැදගත් වේ. ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය සැපයුම්කරුවෙකි.

එබැවින් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ දී ජපානයට ඉතා වැදගත් කාර්ය භාරයක් හිමි වන අතර ජපානයේ හොඳ හිත ණය ප්‍රතිව්‍යූහගත කරණයේ දී ඉතා වැදගත් සාධකයක් වනු ඇත. කවර ප්‍රශ්න තිබුණ ද ශ්‍රී ලංකාව බංකොළොත්භාවයට පත්වූ අවස්ථාවේ සිටම ජපානය ශ්‍රී ලංකාවේ ආධාරයට ඉදිරිපත් විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ කළ මෙම සංචාරය ඉතා වැදගත් වන්නේ දෙරට අතර සම්බන්ධතාව පූර්ව 2019 මට්ටමට පත් කර ගැනීමට ඒ නිසා ඉඩ ලැබුණු බැවිනි.

මෙවර ජපානයේ කළ නිල සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල මට්ටමින් සාකච්ඡා රැසකට සහභාගී වූ බව වාර්තා විය. ජපන් අගමැති ෆුමිඕ කිෂිඩා මහතා සමග ද ජපන් මුදල් ඇමැතිවරයා සහ විදේශ ඇමැතිවරයා සමග ද වෙන වෙනම සාකච්ඡාවලට සහභාගි විය. ඒ අතරම ජපානයේ හිටපු අගමැතිවරුන් දෙදෙනකු වන යසුඕ ෆුකුඩා මහතා සහ ටාරෝ අසෝ මහතා සමග ද සාකච්ඡාවට එකතු වූ අතර ජපානයේ සිටින ශ්‍රී ලංකා ප්‍රජාව සමග ද ජපන් ආයෝජකයන්  සමග ද වෙන වෙනම සාකච්ඡා පවත්වා ඇත.

ජපන් අගමැතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේ දී දෙරට විසින් ඇති කරගත් එකඟතා මත ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘති අවලංගු කර දැමීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කනගාටුව ප්‍රකාශ කළේය. රටවල් දෙකක් අතර ඇතිකර ගන්නා එකඟතා මත ආරම්භ කරන ව්‍යාපෘති ඒක පාර්ශ්වීයව අවලංගු කිරීමට නොහැකි වන ආකාරයට නීති ගෙන එන බව ද ඔහු ප්‍රකාශ කළේය.

එක අතකින් ජපානය ශ්‍රී ලංකාවේ හිතෛශී මිතුරු රාජ්‍යයක් වූ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා පසුගිය දශක හයක කාල පරිච්ඡේදය තුළ විශාල සහයෝගයක් ලබා දුන්නේය. එය කිසිම රටකට නොදෙවෙනි තරම් යැයි ප්‍රකාශ කළ හැකිය. ඇතැම් පුද්ගලයන්ගේ හදිසි විනිශ්චයන් මත ගනු ලැබූ තීරණ හේතුවෙන් රටක් ලෙස අපට ඉතා අවාසිදායක තත්ත්වයකට මුහුණදීමට සිදු විය. ජනාධිපතිවරයාගේ සංචාරයේ දී එම තත්ත්වය සමථයකට පත්කරගෙන ජපානය යළිත් වරක් ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ හවුල්කරුවකු කර ගැනීම ශ්‍රී ලංකාවේ අනාගතය කෙරෙහි ඉතා සතුටුදායක තත්ත්වයක් උදා කරන බව සඳහන් කළ යුතුව ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර