සාමාන්‍යයෙන් අපේ ගෙදර ගෑස් සිලින්ඩරය කුස්සියට ගෙනගොස් රෙගියුලේටරය සවි කරන්නේ මම ය. දැනට සති හතරකට පමණ පෙර ගෙදරට ගෙන්වා ගත් ගෑස් සිලින්ඩරයේ රේගියුලේටරය සවි කරන විටත් සවි කළාට පසුවත් ඉන් නැගුණු හඬ ගෑස් ලීක් වීමක් බව තේරුම් ගෙන එය ගෙන්වාගත් ඩිලිවර්වරයාට ඇමතුමක් දී සිද්ධිය වාර්තා කළෙමි.
ඔහු ඉතා කාරුණිකව කියා සිටියේ බිය නොවන ලෙසත් හැකි ඉක්මනින් තමා පැමිණෙන බවත් ය. මා සිතුවේ ඔහු ලීක් වෙන සිලින්ඩරය වෙනුවට වෙනත් එකක් රැගෙන එනු ඇත කියා ය. එහෙත් ඔහු පැමිණියේ ඉතා කුඩා නියනක් සහ බෑගයක් සහිතවය. බූස්ටර් එක කරවෙලා ඇති කියූ ඔහු සිලින්ඩරයේ රේගියුලේටරය සවිවන තැනින් අඟලක පමණ විෂ්කම්භය ඇති කළු පාට රබර් මුදුවක් ගලවා මට පෙන් වූයේ මේ බලන්න කරවෙලා, ඒකයි ලීක් වෙන්නේ කියා ය.
ඔහු අලුත් බූස්ටරයක් සවිකොට රේගියුලේටරය සවි කළේය, ලීක් එක නැවතී තිබුණි. මේ වැඩේ වගකීම ඔයාගෙ ද? මම ඇසීමි. නෑ කොම්පැනියෙන් බලල එතනදී කරන්න ඕනි වැඩ. එයාල ඒක කරන්නේ නෑ. අපි තමයි ඒකත් කරන්නේ. එයාල කරනකම් බලා හිටියොත් ඉතින් කවදාවත් කෙරෙන්නේ නෑ නේ, ඔහුගේ පිළිතුර එය ය. නොමිලේ සේවය ලබා දුන් ඔහු ස්තුතියක් පමණක් ම ගෙන යන්න ගියේ ය.
ජාතික ළිප ගිනි පිපුරුම් මාලාව වාර්තා වන්නට පටන් ගත්තේ ඊට සති තුනකට පමණ පසුවය. මේ පිපුරුම් මාලාව නිසා ගෑස් පාවිච්චි කරන නිවෙස්වල සහ ආයතනවල සියලු දෙනා සිටින්නේ බියකිනි, සැකයකිනි. දරුණු මානසික කම්පනයකිනි, අසහනයකිනි. එසේම මෙම පිපුරුම් මාලාවේ දැනට ගොදුරු බවට පත් වී ඇති නිවැසියන්ගේ තත්ත්වය වඩාත් භයානකය. නිවසක් ගිනි ගැනීම, නිවසකට හොරු පැනීම, නිවසක් තුළ මනුස්ස ඝාතනයක් සිදුවීම, නොසිතූ විරූ හදිසි අනතුරු යන ඒවා අදාළ නිවැසියන්ගේ මනස තුළ දීර්ඝ කාලයක් පවතින දැවැන්ත මානසික කම්පනයක් (trauma) ඇති කරන (එනම් ක්ෂතියක් ඇතිකරන), අවිඥානගතවන සිදුවීම් ය. දරුවන්ට මෙවැනි මානසික කම්පන විසින් කරනු ලබන හානිය සුළුපටු නැත.
මේ ජාතික ළිප ගිනි පිපුරුම් මාලාව විසින් මෙරට නිවැසියන්ට ලබා දෙන පළමු විනාශය එය ය. ඊළඟ හානිය වනුයේ මේ නිසා දරුණු භීතිකාවක්, සැකයක්, තිගැස්මක්, කම්පනයක් සහිත සමාජ මානසිකත්වයක් වර්ධනය වීම ය. එවැනි පසුබිමක් සහිත ජනයා දිවි ගෙවන්නේ නිරන්තර සැකයකින් සහ කම්පනයකිනි. එවිට ඇතුළත් ගිනි ය. පිටතත් ගිනි ය. ගැලවුමක් නැත.
ජාතික ළිප ගිනි පිපුරුම් මාලාව ආරම්භ වන්නේ මෙරට ජනයා පෞද්ගලිකවත්, රට ජාතිකවත් දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති පසුබිමක ය, සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පා ඇති පසුබිමක ය. මේ වන විට සිදුවෙමින් පවතින්නේ හිස ගිනි ගත්තෙකු එ ගිනි නිවන ලෙස විවිධ විකල්ප සොයා ජනයා ඉබාගාතේ දුවන පිළිසරණක් නොමැති තත්ත්වයක් ය. ඒ පිළිසරණක් නැති ජනයා මත කඩාපාත් වී ඇති වෙළඳපොළ අණසක වඩාත් පීඩාකාරී ය. වල්බූරු වෙළඳපොළ නිදහස සහ වෙළඳාමේ නිදහස විසින් පොදු ජනයා නැවත වතාවක් අන්ත අසරණ තත්ත්වයට පත්කොට ඇත.
එසේ වී ඇත්තේ හිතුවක්කාර කොවිඩ් වෙළඳපොළ සමඟ එකතු වෙමින් ගෑස්වලින් ජනයා බේරා ගැනීමේ හිතුවක්කාර අලුත් වෙළඳපොළ ප්‍රභේදයක් නිර්මාණය වීමෙනි. කොවිඩ් වයිරසය නව ප්‍රභේද නිර්මාණය කරන ආකාරයෙන් ම වෙළඳපොළ සහ වෙළෙන්දෝ ද නව වෙළඳපොළ ප්‍රභේද නිර්මාණය කරනුයේ සියලු ආපදා තම ප්‍රාග්ධනය ගොඩගසා ගැනීමේ මෙවලමක් බවට පත්කර ගනිමිනි. ඊට ආචාරධර්ම නැත. ශීලාචාරකමක් නැත. පෘථිවිවාදී, සියලු සත්වවාදී තබා මානවවාදී භාවිතාවක්වත් එම වෙළඳපොළ ප්‍රභේද සතුව නැත. එය හැසිරෙන්නේ තරමක න්‍යායික ආකාරයෙන් කියනුයේ නම් ප්‍රාරම්භක ප්‍රාග්ධන සමුච්චන අශීලාචාර මානසිකත්වයකිනි.
අලුත් ම වෙළඳපොළ ප්‍රභේදය වනාහි ජාතික ළිප ගිනි පිපුරුමෙන් බේරා ගැනීම සඳහා වූ වෙළඳපොළ ය. එම ප්‍රභේදය එලෙස නම් කිරීම ලෝක වෙළඳ සංවිධානය විසින් සිදු නොකළා ට අප එලෙස එය හඳුනා ගනිමු. ඉංග්‍රීසියෙන් නම් NSFRM-21 (National Stove Fire Rescue Market) ය.
ආපදා සහ ව්‍යසන මුල් කරගෙන ගොඩනැගෙන වෙළඳපොළ මායාකාරීය. එනම් ආපදාවලට සහ ව්‍යසනවලට ගොදුරුවන සහ මුහුණදෙන ජනයා ට ආරක්ෂාව රැකවරණය ලබා දෙන මුවාවෙන් සිය ලාභ උපරිමකරණය කර ගැනීමට සියලු අශිෂ්ටසම්පන්න විධික්‍රම භාවිතා කිරීමට එම වෙළඳපොළ අති දක්ෂය. ජනයා වෙළඳපොළ මායාවට හසු වෙනවා මිසක එහි ගොදුරු බවට පත් වෙනවා මිසක එය තේරුම් ගැනීමට උත්සාහ ගන්නේ නැත. එහි ඇති පාලක, ව්‍යාපාරික සහ නිලධාරී සම්බන්ධය තේරුම් ගැනීමට උත්සාහ ගන්නේ ද නැත. එය වෙළඳපොළටත් පාලකයන්ටත් වාසියකි, පහසුවකි. එවිට ආපදාවද ජීවතුන් අතරය. වෙළඳපොළ යහතින් ය. පාලකයෝ සතුටින් ය. ජනයා හිස ගිනිගත් උන් සේ ය.
ජනයා වෙළඳපොළ මායාවට හසු වෙනවා මිසක එහි ගොදුරු බවට පත් වෙනවා මිසක එය තේරුම් ගැනීමට උත්සාහ ගන්නේ නැත. එහි ඇති පාලක, ව්‍යාපාරික සහ නිලධාරී සම්බන්ධය තේරුම් ගැනීමට උත්සාහ ගන්නේ ද නැත. එය වෙළඳපොළටත් පාලකයන්ටත් වාසියකි, පහසුවකි. එවිට ආපදාවද ජීවතුන් අතරය. වෙළඳපොළ යහතින් ය. පාලකයෝ සතුටින් ය. ජනයා හිස ගිනිගත් උන් සේ ය. |
ජාතික ළිපගිනි පිපුරුම ට ඍජුවම වගවිය යුතු එනම් වග උත්තර බැඳිය යුතු ආයතන කියා සිටින්නේ එය සිලින්ඩරවල හෝ ගෑස් සංයුතියේ ප්‍රශ්නයක් නොව රේගියුලේටර සහ හෝස් බටවල ප්‍රශ්නයක් බව ය. ආධුනික පාර්ලිමේන්තුකරුවන් කියා සිටින්නේ එවැනි පිපුරුම් පශ්චාත් සත්‍ය සමාජයේ නව හෝ සමාජ මාධ්‍යවල නොහික්මුණු බොරු ප්‍රචාර බවය. මාධ්‍ය නිදහස අර්බුදයක් වී ඇති බවය. ඒවා ඇත්තනම් පාලක හිතවාදී මාධ්‍ය සමාගම් තම අහිමි වූ රේටින් වැඩි කරගැනීම සඳහා හෝ මේ පිපුරුම් පිළිබඳ සිද්ධි වාර්තා කරනුයේ මන්ද යන්න ප්‍රහේළිකාවකි.
මා මුලින්ම පැහැදිලි කළ සිද්ධිය මගේ ම අත්දැකීමකි. එය කවර ආකෘතියේ මාධ්‍යයක්වත් වාර්තා කළ එකක් නොවේ ය. ඒ සිලින්ඩරයේ ගෑස් ලීක් වූයේ රේගියුලේටරයේ හෝ හෝස් එකේ ප්‍රශ්නයක් නිසා නොව සිලින්ඩරයේ බූස්ටර් එක කරවීම නිසා නම් ඒ වගකීම ගත යුත්තේ ගමන් ගාස්තුව පමණක් අයකරමින් ස්වයං රැකියාවක නියුතු ගෑස් ඩිලිවර්වරයා නොව සිලින්ඩරවලට ගෑස් පිරවීමේ දී ඒ පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක නොවන කොම්පැනියයි. එවැනි ලීක් වීමක් නිසා ළිපක් පිපුරුණොත් කුස්සියක් ගිනිගත්තොත්, පිපුරුණේ කොම්පැනියේ ඝන ලෝහවලින් සැදූ ගෑස් සිලින්ඩරය නොවේ ය. ලෝහවල තිබෙනුයේ තන්‍යතාව, ආහන්‍යතාව, පුපුරන්නේ භංගුරතාව තියෙන ද්‍රව්‍යය කියා අදාළ සමාගම්වලට පැත්තකට විය හැකි ද? බැරි ය. වගකීම භාරගත යුතු ය.
එසේම ගෑස්, ඉන්ධන, ඖෂධ, වසවිෂ සහ අනෙකුත් අවදානම ඉහළ භාණ්ඩ සහ සේවා බෙදාහැරීම සහ අලෙවිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු නොකරන පරීක්ෂාවක් නොකරන නියාමනයක් නොකරන අදාළ රාජ්‍ය යාන්ත්‍රණ ද මේ වගකීම භාරගත යුතු ය. එසේ නොමැතිව සියල්ල වෙළෙන්දන්ට සහ වෙළඳපොළටම භාර දී පාඩුවේ සිටින, එසේම වෙළඳපොළට නිවට වූ රාජ්‍යයක ජාතික ළිපගිනි පිපුරුම අරුමයක් නොවේ ය.
දැන් අපි මේ නව වෙළඳපොළ ප්‍රභේදය එනම් NSFAM-21හෙවත් ජාතික ලිපගිනි පිපුරුමින් බේරාගැනීමේ වෙළඳපොළ (National Stove Fire Rescue Market) තේරුම් ගැනීම සඳහා එහි වෙළඳ ලක්ෂණ දෙස අවධානය යොමුකරමු. ජාතික ළිපගිනි පිපුරුම් වාර්තා වන්නට පටන්ගෙන ටික දිනක් ගතවන විට සියලුම භූමිතෙල් ළිප්වල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. එසේම විදුලියෙන් වැඩකරන හොට්ප්ලේට්වල මිල ද ඉහළ ගියේ ය. රයිස්කුකර මිල ද ඉහළටම ගියේ ය. විදුලියෙන් ම පිසිය හැකි ළිප් එකේ දෙකේ තුනේ හතරේ විදුලි උඳුන්වල මිල ද ඉහළට මිස පහළට ආවේ නැත. එපමණක් නොව රේගියුලේටර් සහ හෝස්වල මිල ද වැඩිවෙන්නට පටන් ගෙනය. දැන් වනවිට මේ සියල්ලට ම අදාළව ඇත්තේ දැඩි හිඟයක් ය.
ඉල්ලුම වැඩිවී මිල ඉහළට ගොස් සැපයුම අඩපණ වී ඇත. නැතහොත් හිතාමතාම සැපයුම අඩපණ කොට ඇත. ටික දිනක් යනවිට ඉහළ ගිය ප්‍රමාණයටත් වඩා මිල ඉහළ ගිය භූමිතෙල් ළිප්, රයිස්කුකර, හොට්ප්ලේට්, එක, දෙක, තුන සහ සතරේ ලිප් සහිත විදුලි උඳුන්වලින් ජාතික ළිප ගිනි පිපුරුමින් බේරාගැනීමේ වෙළඳපොළ’ පිරී ඉතිරී යනු ඇත. ජාතික ළිපගිනි පිපුරුම් නිසා බියට සංත්‍රාසයට සහ දැඩි මානසික කම්පනයට පත් ජනයා තරගයට මෙන් මේ වෙළඳපොළට ගාල් වෙනු ඇත. ඔවුන් වෙළඳපොළ අනුහසින් තම ජීවිත බේරාගැනීමේ මෙහෙයුම් අරඹනු ඇත.
ඒ අතරතුර සිදුවන්නේ වෙළඳපොළේ වගකීම් විරහිත, නොහික්මුණු සහ අශිෂ්ටසම්පන්න ක්‍රියාවලිය කිසිදු අවහිරතාවක් නොමැතිව ඉදිරියටම යාම ය. එපමණක් නොව ගෑස් වෙළඳපොළේ වගකීම් විරහිත, නොහික්මුණු සහ අශිෂ්ටසම්පන්න ක්‍රියාවලිය විසින් ඊට අනුබද්ධ නව වෙළඳපොළ ප්‍රභේදයක් වර්ධනය වීමය. එය වඩාත් න්‍යායික භාෂාවකින් කියනුයේ නම්, වෙළඳපොළ අශිෂ්ටසම්පන්නභාවය විසින් මහජනයාට සිදුවන සහ සිදුකරන අතුරු අන්තරා ම, ඒ වනවිට යටගොස් ඇති වෙළඳපොළ අංශ යළි මතුකොට බලවත් කිරීම සඳහා යොදා ගැනෙන බවය. එනම් වෙළඳපොළ විසින් ඇතිකරනු ලබන අනතුරු තවත් වෙළඳපොළක උපතකි. NSFAM-21 (National Stove Fire Rescue Market-21) යනු එවැනි වෙළඳපොළකි. මේ නම් කිරීම මගේ ය. ඉතින්, වෙළඳපොළ අනතුරට ලක්වන්නේ හෝ පරාජයට පත්වන්නේ නැත. ඒ අනුව අනතුරට ලක්වන්නේ සහ පරාජය වී ඇත්තේ අප, ජනයා, පාරිභෝගිකයෝ මිස වෙළඳාම සහ වෙළඳපොළ නොවේය යන්න අප උගත යුතු ම පාඩමක් ය. පරිස්සමින් ළිප ගිනි මොලවමු.
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ, ධම්ම දිසානායක