ජීවිත කෑලි ගානට සලකන මගමරුවෝ


නුගේගොඩ ගුවන් පාලම මත දී බස් රථයක් හා යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරෙන් කැබ් රථය පැදවූ යුද හමුදා ලාන්ස් කෝප්‍රල් ගොඩගේ ලලිත් මහතා මියගොස් කපිතාන්වරයකු ඇතුළු දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව සඳහන් පුවත අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පෞද්ගලික බස් රථය වෙනත් බස් රථයකට ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යුද හමුදා කැබ් රියේ ගැටී ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

මෙම රිය අනතුරෙන් පසුව ගනු ලැබූ ඡායාරූපයක් ද අප පුවත්පතේ පළවී තිබූ අතර යකඩ ගොඩකින් කිසි ලෙසකින් හෝ වෙනස් නැති කැබ් රියෙහි ඡායාරූපය දුටුවිට මග මරුවා කෙතරම් වේගයකින් පැමිණ තිබේ ද යන්න වටහා ගත හැකිය. මෙම අනතුර සිදුවී තිබෙන්නේ නුගේගොඩ ගුවන් පාලම මතදීය. ගුවන් පාලමක දී නොව මග මග ඇති බෝක්කුවක දී වුව ද වාහනයක් ඉස්සර කිරීම රථවාහන වරදකි. පෞද්ගලික බස් රථයේ රියැදුරා කොතරම් නොසැලකිලිමත් ලෙස බස් රථය පදවා තිබේ ද යන්න එමගින් පැහැදිලිය. මහ මග ජනී ජනයා ප්‍රවාහනය කරන්නේ මෙබඳු වගකීම් විරහිත නරුම රියැදුරන් නම් මේ රටේ පුරවැසියන්ගේ ජීවිත කොතරම් අවදානමකට ලක්වී තිබේ ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.

මාර්ග විනය යනු රටක ජනතාවකගේ ආධ්‍යාත්මික ශික්ෂණය සහ විනය පිළිබිඹු කරන කැඩපත වේ. මහා මාර්ගයක කිසිවකුට තමන් අභිමත පරිදි වාහන ධාවනය කළ නොහැකිය. අවම තරමින් පයින් ගමන් කළ නොහැකිය. මාර්ග නීති රීති තිබේ. සෑම රියැදුරකුම මෙන්ම සෑම පදිකයකුම එම මාර්ග නීති රීතිවලට අවනත විය යුතුය. ඒවා අනුගමනය කළ යුතුය. මහ මග දී එම නීති රීතිවලට අවනත වන්නේ නම් රිය අනතුරු සිදුවීමේ සම්භාවිතාව බෙහෙවින් අඩුය. රිය අනතුරු බහුල වීමෙන් පැහැදිලි වන්නේ බොහෝ දෙනකු මාර්ග නීතිරීති අනුගමනය නොකරන බවය. මාර්ග විනයෙන් රටක ජනතාවකගේ ආධ්‍යාත්මික ශික්ෂණය හා විනය පිළිබිඹු වන්නේ නම් රිය අනතුරු බහුල රටක ජනයාගේ ඉරණම විසඳෙමින් තිබෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම අසීරු නැත.
නුගේගොඩ ගුවන් පාලම මත සිදුවූ අනතුරෙන් මියගිය ලාන්ස් කෝප්‍රල් ගොඩගේ ලලිත් මහතා තිස්පස් හැවිරිදිය. දෙදරු පියෙකි. යුද සමයේ ක්‍රියාන්විතවල දී දෙවරක්ම වෙඩි වැදුණ ද ජීවිතය බේරා ගැනීමට ඔහු සමත් විය. යුද පිටියේ දී බේරාගත් ජීවිතය නුගේගොඩ ගුවන් පාලම මත දී මග මරුවා බිලි ගත්තේය. කුඩා දරු දෙදෙනකු සමග ඒ අම්මා මහ පොළොවේ තනිවී ඇත. මහ මග විනයක් නැති රියැදුරු අම්බරුවන් නිසා කොතෙක් නම් මිනිසුන්ට අකාලයේ මරු වසඟයට යාමට සිදුවී ඇද්ද? එනිසාම කොතරම් මිනිස් ජීවිත ප්‍රමාණයක් මේ මහ පොළොවේ අසරණ වී ඇද්ද?

රිය අනතුරු සරලව නොගත යුත්තේ එහෙයිනි.

පෞද්ගලික බස් රථ සේවාව මෙරටට හඳුන්වා දීමත් සමග සමාජය කැපී පෙනෙන වෙනසකට බඳුන් විය. මහ ජනතාවගේ ගමනාගමනය පහසු විය. එහෙයින්ම රට කාර්යක්ෂම විය. විය යුත්තේ ද එයයි. එහෙත් ඒ සමගම ඇතිවූ නරක ප්‍රවණතා ද හඳුනාගත යුතුය.

රියැදුරු බලපත්‍රයක් ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් මෙරට තිබේ. රිය පුහුණු ආයතනයකින් පුහුණුව ලැබිය යුතුය. මාර්ග නීතිරීති මෙන්ම මාර්ග සංඥා සම්බන්ධයෙන් ද ප්‍රමාණවත් අවබෝධයක් ලබා තිබිය යුතුය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ලිඛිත පරීක්ෂණයකින් සමත්ව ප්‍රායෝගික පරීක්ෂණයෙන් ද සමත් වූ විට රියැදුරු බලපත්‍රය ලබාගත හැකිය. මෙම ක්‍රියාවලිය තුළ දී විධිමත් රියැදුරකු බිහිවේ.

පෞද්ගලික බස් රථයක රියැදුරකු මෙන්ම කොන්දොස්තරවරයා හෙවත් ගෝලයෙක් ද සිටියි. මේ ගෝලයා විවේකී අවස්ථාවල සුක්කානම අතපත ගෑමටත් බස් රථය එහාට මෙහාට ගැනීමටත් පුරුදු වේ. එසේ පුරුදු වූ බස් ගෝලයා නොබෝ දිනකින්ම බස් රියැදුරකු බවට පත්වේ. ඔහු රියැදුරකු වන්නේ විධිමත් ආකාරයට නොවන හෙයින් නිරෝගී රිය පැදවීමක් අපේක්ෂා කළ නොහැකිය.

බස් ගෝලයාට බස් මගියා යනු රුපියල් හතරේ, පහේ දහයේ කෑල්ලකි. නවත්තන්න ඕනෑ නෑ ඒක රුපියලේ කෑල්ලක් ටිකට් පත රුපියලට තිබූ සමයේ ගෝලයා කියන්නේ එහෙමය. මිනිසා රුපියලේ දෙකේ කෑලි ලෙස හඳුනා ගන්නා ගෝලයා රියැදුරකු වූ විට ද වෙනස් නොවේ. ඔහුට මහජනයා යනු කෑල්ලක් පමණි. පෞද්ගලික බස් සංස්කෘතියට අදාළ මෙම තත්ත්වය වෙනස් කිරීමට විධිමත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඔබේ ජීවිතය ද හෙට මගමරුවා බිලි ගැනීම අනිවාර්යය වනු ඇත.