ඩඩ්ලි- ප්‍රේමදාස ගැටුමක්


ඩඩ්ලි සේනානායක නමින් හැඳින්වූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක වසර 50කට පෙර, අවුරුදු 61ක් ආයු වළඳා 1973 අප්‍රේල් 13 වැනිදා මෙලොව හැර ගියේය. එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකු වූ ඔහු සිව් වරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරුවේය. විධායක ජනාධිපති ක්‍රමය එන්නට පෙරාතුව පැවති කාලයේ රජයේ ප්‍රධානියා වූයේ අග්‍රාමාත්‍යවරයාය. අග්‍රාමාත්‍ය ධුරය එතරම් බලවත් තනතුරක්ව පැවතියේය. ඩඩ්ලි සේනානායක 1952 සිට 53 දක්වාත්, 1960 දීත්, 1965-70 දක්වාත් අගමැති තනතුර හෙබවූයේය. 

1911 ජූනි 19 වැනිදා උපත ලැබූ ඩඩ්ලි, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය දොන් ස්ටෙෆාන් සේනානායකගේ වැඩිමල් පුත්‍රයා වූයේය. ඔහුට රොබර්ට් නම් බාල සොයුරකු සිටියේය. ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඩඩ්ලි එම විදුහලේදී ඉගෙනීමටත් ක්‍රීඩාවටත් එක සේ දක්ෂතා ප්‍රදර්ශනය කළේය. ඔහු විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දැරුවේය. 

ඊට අමතරව ඔහු හොකී, බොක්සිං සහ මලල ක්‍රීඩා  උදෙසා වර්ණ දිනා ගත්තේය. විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ ඩඩ්ලි වඩාත් විශිෂ්ට ශිෂ්‍යයාට පිරිනැමෙන වික්ටෝරියා පදක්කම දිනා ගත්තේය. 

ඉන් අනතුරුව එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කොර්පස් ක්‍රිස්ට් කොලේජ් වෙත ගොස් ස්වාභාවික විද්‍යා උදෙසා ට්‍රයිපෝස් උපාධිය දිනා ගත්තේය. ඉන් අනතුරුව හෙතෙම ලන්ඩනයේ මිඩ්ල් ටෙම්පල් වෙත බැඳී බැරිස්ටර්වරයකු බවට පත්විය. 

නැවත ශ්‍රී ලංකාවට (එකල සිලෝන්) පැමිණි ඩඩ්ලි සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේය. ලංකා ජාතික කොංග්‍රසයට බැඳුණු ඔහු ජූනියස් රිචඩ් ජයවර්ධන සමග එහි සම ලේකම් ධුරය ඉසුලුවේය. 1936 දී විසි පස් වැනි වියේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම ඡන්ද කොට්ඨාසයෙන් ජාතික සභාවට තේරී පත් වූයේය. ඉන් අනතුරුව 1947, 1952, 1960 (මාර්තු), 1965 සහ 1970 මැතිවරණවල දැදිගම ආසනය නියෝජනය කරමින් ඩඩ්ලි පාර්ලිමේන්තුවට තේරී පත් වූයේය. 1956 මැතිවරණට ඩඩ්ලි තරග නොකළේය.

ඩී.එස්. සේනානායක නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයා වූ විට ඩඩ්ලි සේනානායක සිය පියාගේ කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ධුරය දැරුවේය. ඩී.එස්. 1952 මාර්තු 22 වැනිදා මිය ගියේය. දින හතරකට පසුව 1952 මාර්තු 26 වැනිදා ආණ්ඩුකාර සෝල්බරි සාමිවරයා විසින් ඩඩ්ලි අගමැති තනතුරට පත් කරනු ලැබීය. ඩඩ්ලි වාර 4 ක් දැරූ අග්‍රමාත්‍ය තනතුරට, මුල් වරට එම ධුරයට ඩඩ්ලි පත්වූයේ එම අවස්ථාවේය. අගමැති තනතුරට පත්වූ පසු ඩඩ්ලි පාර්ලිමේන්තුව විසුරුවා හැර අලුත් ජනවරමක් ලබා ගැනීම සඳහා මැතිවරණයක් කැඳවූයේය. 

1953 අගෝස්තු හර්තාලය 

1952 මැතිවරණයෙන් එජාපය ඩඩ්ලිගේ නායකත්වය යටතේ කීර්තිමත් ජයග්‍රහණයක් ලැබුවේය. පාර්ලිමේන්තු ආසන 95කින් එජාපය ආසන 54ක් දිනා ගත්තේය. ඩඩ්ලි අග්‍රාමාත්‍ය ධුරයේ දෙවැනි වතාවට දිවුරුම් දුන්නේ එවරයි. අවාසනාවකට ඉන් වසරකට පසු 1953 අගෝස්තු හර්තාලය නිසා රජය අසීරුවට පත් වූයේය. එජාප රජය බලයේ සිටියදීම ඉමහත් කම්පාවට පත්වූ ඩඩ්ලි අසනීපවලින් පීඩා විඳින්නට ගත්තේය. 

1953 ඔක්තෝබර් මාසයේදී ඩඩ්ලි අගමැති තනතුරෙන් ඉල්ලා අස්වූයේය. ඔහුගේ ඥාති සොයුරු සර් ජෝන් කොතලාවල අගමැති තනතුරට පත් වූයේය. ඩඩ්ලි පක්ෂ නායක තනතුරෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ පසුපස ආසනයක හිඳ ගත්තේය. 

දේශපාලනයෙන් විශ්‍රාම ගත් ඔහු 1956 මැතිවරණයෙන්ද ඉවත්ව සිටියේය. එම මැතිවරණයෙන් එජාපයට දිනාගත හැකි වූයේ ආසන 8ක් පමණි. ක්‍රියාකාරී දේශපාලනයට නැවත එන්නට පක්ෂ සාමාජිකයන්ගෙන් දැඩි බලපෑමක් ඩඩ්ලිට එල්ල වූයේය. 1957 එම ඉල්ලීමට කන් දුන් ඩඩ්ලි නැවත පක්ෂ නායකත්වය භාර ගත්තේය. 

1960 මාර්තු මැතිවරණයේදී සීමාසහිත ජයක් ලැබීමට ඩඩ්ලි එජාපය මෙහෙයවූයේය. එජාපය පළමු තැනට පැමිණි මුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 151කින් දිනා ගත්තේ 50ක් පමණි. එය දෝලනය වන පාර්ලිමේන්තුවක් බවට පත්විය. අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක විසින් තුන්වැනි වතාවට ඩඩ්ලි අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබ ඔහු දිවුරුම් දුන්නේය. එහෙත් ඩඩ්ලිට පාර්ලිමේන්තු බහුතරය ඒකරාශි කරගත නොහැකි වූයෙන් රාජාසන කතා ඡන්දයේදී ඔහුගේ රජය පරාජයට පත්විය. ඩඩ්ලි ඉල්ලා අස් වූයේය. 

1960 ජූලි මාසයේ නව මැතිවරණය පවත්වන ලදුව ශ්‍රීලනිප ජය ගත්තේය. සිරිමාවෝ බණ්ඩාරනායක ලෝකයේ ප්‍රථම අගමැතිවරිය බවට පත් වෙමින් ඉතිහාසයට එක් වූවාය. ඩඩ්ලි ඔහුගේ ජීවිතයේ ප්‍රථම වතාවට විපක්ෂ නායකයා බවට පත්වූයේය. 1964 දෙසැම්බරයේදී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සී.පී. ද සිල්වාගේ නායකත්වය යටතේ රජයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් විපක්ෂයට මාරු වූවෝය. රජය බිඳ වැටුණ අතර නව මැතිවරණය 1965 මාර්තු මාසයේ පැවැත්විණි. 

නැවත ඩඩ්ලිගේ නායකත්වය යටතේ එජාපය ජයග්‍රහණය කළ ද නැවත බලයට ආවේ 1960 මෙන් දෝලනය වන පාර්ලිමේන්තුවකි. එජාපයට හිමිව තිබුණේ ආසන 66ක් පමණි. එහෙත් 1960 දී මෙන් නොව බහුතරයක් සහිත රජයක් ගොඩනගන්නට මෙවර ඩඩ්ලිට හැකි වූයේය. 

හත් හවුල් රජය 

හත් හවුල් රජයේ ප්‍රධානියා බවට පත්වෙමින් ඩඩ්ලි සිව්වැනි වතාවටත් අගමැතිවරයා බවට පත් වූයේය. එම පක්ෂ නම්, එජාපය, ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK), සී.පී. ද සිල්වා නායකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය, සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය, පිලිප් ගුණවර්ධන නායකත්වය දැරූ මහජන එක්සත් පෙරමුණ, කේ.එම්.පී. රාජරත්න නායකත්වය දැරූ ජාතික විමුක්ති පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසයයි. එය ජාතික රජය ලෙස හැඳින්වූ අතර බලය හිමිව තිබූ සම්පූර්ණ කාලය පුරාම එය බිඳ නොවැටී පැවතුණේය.

කෙසේ වුවද 1970 මැතිවරණයෙන් එජාපය අන්ත පරාජයක් ලැබුවේය. එජාපයට ලබාගත හැකි වූයේ ආසන 17ක් පමණකි. ඩඩ්ලි දැදිගම මන්ත්‍රීවරයා වශයෙන් පත් වුවද අසනීප ගති නිසා පසුපස ආසනයක් තෝරා ගත්තේය. දකුණු කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්. ජයවර්ධන ඔහුට හිමිව තිබූ විපක්ෂ නායක තනතුරට පත් වූයේය. මැද කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී රණසිංහගේ ප්‍රේමදාස විපක්ෂයේ ප්‍රධාන සභානායක පදවියට පත් වූයේය. 

ශුභ රාත්‍රියක් කුමරුණි 

හෘද රෝගයක් නිසා 1973 අප්‍රේල් 13 වැනිදා ඩබ්ලි මෙලොව හැර ගියේය. ඔහුට සතුරන් සේම මිතුරෝද අවසාන ගෞරව දැක්වූවෝය. රටේ සිව් දිග් භාගයෙන් පැමිණි ජනතාව ඔහුට අවසන් බුහුමන් පුදන්නට කොළඹට රැස්වූවෝය. ජේ.ආර්. ජයවර්ධන අවමංග්‍යලයේදී පැවැත්වු ගුණකථනය බොහෝ දෙනාට සංවේගය දනවන්නක් විය. ඔහු සිය කතාව අවසන් කළේ ශේක්ස්පියර්ගේ රොමියෝ ජුලියට් නාට්‍යයේ එන දෙබසක් අස්ථාවට උචිත ලෙස ‘සුබ රාත්‍රියක් සුමිහිරි කුමරුණි, දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා’ යනුවෙන් වෙනස් කරමිනි. 

වසර 50කට පෙර සිදු වූ ඩඩ්ලිගේ මරණයත්, අවමංගල්‍යත් නිසා එජාපය වෙත සානුකම්පිත රැල්ලක් හමා ආවේය. නව නායක ජේ.ආර්. ජයවර්ධන, සිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක ප්‍රේමදාස සමග එක්ව එම අවස්ථාව පක්ෂයේ ජුනර්ජීවනය ඇති කිරීම සඳහා හොඳින් භාවිතයට ගත්තේය. ජයවර්ධන – ප්‍රේමදාස දෙදෙනා, 1977 එජාපයේ දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයකට නායකත්වය දුන්හ. පක්ෂය පාර්ලිමේන්තු ආසන 168කින් ආසන 141ක් ජයග්‍රහණය කළේය.

ජේ.ආර්. සහ ප්‍රේමදාස, ඩබ්ලිගේ මරණය පක්ෂයේ උන්නතියට හරවා ගත්තද, ඩඩ්ලිගේ මරණය සිදු වනවිට දෙදෙනාම ඩඩ්ලිගේ ජීවිතයේ සැදෑ කාලයේදී ඔහු සමග පවත්වා ගත්තේ ගැටලු සහිත සම්බන්ධතාවකි. කෙසේ වුවද ඩඩ්ලිගේ මරණයට අවුරුද්දකට පෙර තම නායකයා සමග මතභේද සමථයකට පත් කර ගත්තේය.

එහෙත් ප්‍රේමදාස ඩඩ්ලි සේනානායක සමග තිබූ ආරවුල් මහජනයා අතර ප්‍රසිද්ධ වන තැනට ගෙන ආවේය. ඩඩ්ලි දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල්ගත කර සිටියදී ප්‍රේමදාස වරක් ඔහුගේ උපකාරකයාව සිටි ඩඩ්ලි සමග ප්‍රසිද්ධියේ කෝප සහගත වදන් හුවමාරු කර ගත්තේය. සේනානායක හිතවාදීන් බොහෝ දෙනෙක් ඩඩ්ලිගේ මරණය සිදු කිරීම සම්බන්ධයෙන් (අසාධාරණ ලෙස) ප්‍රේමදාසට දෝෂාරෝපණ එල්ල කළහ.

ඉහත සඳහන් ආකාරයට 1970 මැතිවරණයෙන් ශ්‍රීලනිප ප්‍රමුඛ රජය ආසන 116ක් පාර්ලිමේන්තුවේ දිනා ගන්නා විට එජාපයට හිමිවූයේ ආසන 17ක් පමණි. මෙම තත්ත්වය මත පක්ෂය භේද භින්න වන්නට පටන් ගත් අතර පක්ෂයේ කටයුතු පිරිහෙන්නටද එම තත්ත්වය බලපෑවේය. 

ජේ.ආර්. සහ ප්‍රේමදාස 

එජාපයට පැහැදිලි අනාගතයක් අවශ්‍ය නම් එජාපය නැවත ප්‍රතිසංස්කරණයට ලක්කොට අලුත් කිරීම කළ යුතු වුවද ජේ.ආර්. සහ ප්‍රේමදාස එකිනෙකාගෙන් වෙන්ව කටයුතු කළහ. එම ප්‍රතිසංස්කරණ කිරීමට ඩඩ්ලි සේනානායක අපොහොසත් විය. ඩඩ්ලි වටා සිටි පිරිස් විසින් කළ කී දෑ නිසාද ඩඩ්ලි තවදුරටත් පක්ෂයෙන් ඈත් ව හුදෙකලා වූ බව වාර්තා වේ. 
 

තවත් කොටසක් මීළඟට...

2023 අප්‍රේල් 12 වැනිදා Daily FT පත්‍රයේ පළවූ Dudley Senanayake's demise and the Premadasa problem ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ.

ඩී.බී.එස්. ජෙයරාජ් විසිනි