ඩඩ්ලි-තිරු වාග් ප්‍රහාරයක


(මෙම ලිපියේ මුල් කොටස  2022/12/29 වැනිදා පත්‍රයේ පළවිය)

ඩඩ්ලි සේනානායක කළ දේත් කී දේත් නිසා තිරුචෙල්වම් කෝපයටත් සිත්තැවුලටත් පත් වූයේය. ඔහු රජයෙන් ඉවත් වීමට තීරණය කළේය. කෙසේ වුවද ඊට පෙර ඒ සඳහා පක්‍ෂයේ අනුමැතිය ගැනීමට අවශ්‍ය විය. එසේ කිරීමට  ඔහුට හේතුවක් තිබිණි. හිටපු සොලිසිටර් ජෙනරාල්වරයකු වූත් රැජිනගේ නීතිඥවරයකුවුත් තිරුචෙල්වම් ඩඩ්ලිගේ ආණ්ඩුවේ ඉලංකෙයි තමිල් අරසුකච්චි නියෝජිතයා බවට පත් කරනු ලැබුවේ විමධ්‍යගත කිරීමේ ඒකකයක් ලෙස යොජිත දිස්ත්‍රික් සභා පිහිටුවීමට සහාය වීම උදෙසාය.
සුප්‍රසිද්ධ ඩඩ්ලි - චෙල්වා ගිවිසුම අනුව එස්.ජේ.වී. චෙල්වනායම් දිස්ත්‍රික් සභා පිහිටුවීමේ අපේක්‍ෂාවෙන් පසු වූයේය.

දිස්ත්‍රික් සභා පිහිටුවීමේ යෝජනාව 

1968 ජුලි මාසයේ දිස්ත්‍රික් සභා යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් තිරුචෙල්වම් කෙටුම්පත් කළ ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කෙරිණි. එහෙත් එකී දිස්ත්‍රික් සභා ශ්‍රීලනිප ලසසප කොප  හවුලත් එජාපයේම වෙන්නප්පුවේ ෆෙස්ටස් පෙරේරා මුලිකත්වය ගත් පසුපෙළ මන්ත්‍රීන්  16 දෙනකුගෙන් යුක්ත ඉඟුරු කල්ලියකුත් එක හෙළා ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

ඩඩ්ලි ඊට බියපත් වී පසු බැස්සේය. ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුයේය. එහෙත් ITAK නායක චෙල්වනායගම් එය විකල්පයක් ලෙස පිළිනොගත්තේය. ඒ අතර බලාපොරොත්තු සුන් වූ තිරුචෙල්වම්ට ඊට විරෝධය පෑමට කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වීමට අවශ්‍ය විය. එහෙත් එම අවස්ථාවේ පක්‍ෂ නායකත්වය එයින් ඔහු වළකා රජයේ ඇමතිවරයකු ලෙස නොකඩවා කටයුතු කිරීමට යොමු කළේය.

කෙසේ වුවද කෝනේස්වරම් ප්‍රශ්නයෙන් පසු තිරුචෙල්වම් තම අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ එය ඔහුගේ ආත්ම ගරුත්වයට අමු අමුවේ කළ අවමානයක් බැවිනි.

තිරුගේ මිත්‍රයන් වූ කැබිනට්ටුවේ සිටි ජේ.ආර්. ජයවර්ධන හා වි.ඒ. සුගතදාස තිරුගේ සිත වෙනස් කිරීමට උත්සහ ගත්ත ද තිරුචෙල්වම් තම මතයේ නොසැලී සිටියේය. එසේ වුවද ඔහුට තම නායක චෙල්වාගේ අනුමැතිය ඒ සඳහා අවශ්‍ය විය.

තිරුචෙල්වම් සහ චෙල්වනායගම් අතර පැවතියේ සුවිශේෂි බැඳීමකි. තිරුචෙල්වම් සහ ඔහුගේ සොයුරු රාජෙන්‍ද්‍ර ගල්කිස්සේ ශා.තෝමස් විදුහලේ ශිෂ්‍යයන්ව සිටි කාලයේ ඔවුන්ගේ භාර කරුවා වූයේ චෙල්වාය. එවකට ඔවුන්ගේ සියා සේවයේ යෙදී සිටියේ මැලේසියාවේය. එම නිසා සිය නායක චෙල්වාගේ අවසරයෙන් තොරව හිතුමගේ ඉවත්වීමට තිරු අකමැති වූයේය.

කොනේස්වරුම් ප්‍රශ්නය සම්බන්ධයෙන් තමාට සිදුවූ අසාධාරණය විස්තර ඇතිව ලිපියක ලියා ඔහු එය චෙල්වනායගම්ට යොමු කළේය.
එය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නිසා හෙතෙම ඉල්ලා අස්වන්නට චෙල්වනායම්ගෙන් අවසර ඉල්ලා සිටියේය.

ඩඩ්ලි සමග හමුවක්

තිරුචෙල්වම් හට අනුකුලත්වය දැක්වූව ද තවත් එක් වතාවත් කාරණය සමථයකට පත් කිරීමට චෙල්වනායගම් උත්සහා ගත්තේය. ඔහු අගමැතිවරයා හමුවීමට වෙලාවක් ඉල්ලා ගත්තේය.

ඉන් පසු 1968 සැප්තැම්බර් 15 වැනිදා එවකට කන්කසන්තුරේ මන්ත්‍රී එස්.ජේ.වී. චෙල්වනායගම්, වඩුකෙඩෙයි මන්ත්‍රී අප්පාපිල්ලේ අමිර්තලිංගම් නල්ලුර් මන්ත්‍රී ආචාර්ය ඊ.එම්. නාගානන්දන් සහ තිරුචෙල්වම් ඩඩ්ලි සේනානයක හමු වූවෝය.
අවාසනාවකට එම හමුවෙන් සතුටුදායක ප්‍රතිඵල ලැබුණේ නැත. ඩඩ්ලි සේනානායක හා තිරුචෙල්වම් යන දෙදෙනාම එකිනෙකාට දොස් පවරා ගත්හ.

තමන්ට පැවරු අමාත්‍යාංශ විෂයකට අයත් කාර්ය භාරයකට අත්තනෝමතික ලෙස මැදිහත් වීම සම්බන්ධයෙන් තිරුචෙල්වම් ඩඩ්ලිට දොස් පැවරූ අතර යෝජිත ක්‍රියාව සම්බන්ධයෙන් තමා දැනුවත් නොකිරීම ගැන සේනානායක තිරුචෙල්වම්ට දොස් පැවරුවේය. ෆෙඩ්රික් බලකොටුව ඔහු යටතේ ඇති ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථයට ද අයත් බව අගමැතිවරයා කියා සිටියේය. ඩඩ්ලි සහ තිරු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූයේය. වසර කිහිපයක් ගත වූ පසු එම සිද්ධිය මා හා සමග සංවාදයකදී අමිර්තලිංගම් මතක් කළේය. මහත්මාගුණයෙන් හෙබි අයකු වූ තිරුචෙල්වම් තමාගේ සන්සුන් ගතිය බිඳගත් කිසිම අවස්ථාවක් ඔහු දැක තිබුණේ නැතැයි අමිර්තලිංගම් කීවේය.

 සංහිඳියාවක් ඇති කළ නොහැකි බව චෙල්වනායගම් වටහා ගත්තේය. තිරුචෙල්වම්ට අමාත්‍යධුරයෙන් ඉවත් වීමට අවසර දීමට පෙර චෙල්වනායගම් 1968 සැප් 14 වැනිදා ඔහු පදිංචි වී සිටි කොළඹ ඇල්ෆ්‍රඩ් හවුස් ගාරඩ්න්ස්හි නිවසේ හදිසි රැස්වීමක් කැඳවූයේය.
මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෝ ඊට සහභාගී වූවෝය. එහිදී පැවති තත්ත්වය අමිර්තලිංගම් විස්තර සහිතව කීවේය. එදින තිරුචෙල්වම් පැමිණියේ නැත. අවසානයේ අමාත්‍ය තිරුචෙල්වම් මෙවන් අවස්ථාවක ගතයුතු පියවර කුමක් දැයි චෙල්වනායගම් සහභාගිවූවන්ගෙන් විමසුවේය. ඉල්ලා අස්විය යුතුය! යන්න ඒකමතිකව ලැබුණ පිළිතුරයි.

ඉල්ලා අස්වීම

සැප්. 15 වැනිදා තිරුචෙල්වම් ඉල්ලා අස්වීමේ ලිපිය ඩඩ්ලි සේනානායක වෙත ඉදිරිපත් කළේය. සැප්. 16 වැනිදා නව ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස රණසිංහ ප්‍රේමදාස දිවුරුම් දුන්නේය. අගමැතිවරයා එරෙහි වීම නිසා සියලුම හින්දු ආගමික ආයතන කෝනේස්වරම් සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු සුන්වීගිය බව පසුව තිරුචෙල්වම් කීවේය.

තිරුචෙල්වම්ගේ දිස්ත්‍රික් සභා සම්බන්ධ යෝජනා සාර්ථක නොවුවද ඩඩ්ලිගේ රජයේ අමාත්‍යවරකු ලෙස වෙනස් කාර්ය භාරයක් ඔහු සාර්ථකව ඉටු කළේය. එය නම් දමිල භාෂාවට විශේෂ ප්‍රතිපාදන සැපයීමේ පනත් කෙටුම්පත් කිරීමයි. මෙය දමිල බස සාධාරණ ලෙස භාවිත කිරීමේ පනත ලෙස ද හැඳින්විණි. ඔහුගේ නීතිය පිළිබඳ තිබුණු විශාරද දැනුම භාවිත කොට තිරු, විශේෂිත පරිපාලනමය අවශ්‍යතා උදෙසා දමිල භාෂාව භාවිත කළ යුතු බව (උතුරු නැගෙනහිර පළාත් සඳහා) ලියා තැබුවේය.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හටගත් කළබලය නිසා එම පනත ඉදිරිපත් කළ ජේ.ආර්. ජයවර්ධන  ‘‘කළ යුතුය’’ යන්න ‘‘කළ හැකිය’’ යනුවෙන් වෙනස් කරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා තම ස්ථාවරයේ දැඩිව සිටියේය. පනත පාර්ලිමේන්තුවේ සම්මත විය. තිරුචෙල්වම් ඒ ගැන මහත් සතුටට පත්වූයේය. සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ පනත විසින් මෙරට දමිල බස කතා කරන ජනතාවගේ ආත්ම ගරුත්වය අහිමිකර දැමුවේය. මෙම නියාමනයන් ක්‍රියාත්මක කරන ලබන මෙකී පනතින් ඔවුන්ගේ ශිලිහි ගිය ආත්ම ගරුත්වය යම් තරමකට නැවත ස්ථාපිත වූයේ යයි ITAK නායක චෙල්වනායගම් පාර්ලිමේන්තුවේ කියා සිටියේය.

අමිර්තලිංගම් නඩුව

1976 ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වූ අමිර්තලිංගම් නඩුව තිරුචෙල්වම්ගේ දක්‍ෂතා විදහා පෑ හොඳම අවස්ථාව විය. මා එවකට නීති ශිෂ්‍යයකු වූ අතර පී.ජී. පොන්නම්බලම් සහ තිරුචෙල්වම්ගේ නිපුනතාව මැනවින් දැක බලාගතිමි.

නඩුව පැවැත්වූයේ අප්පාපිල්ලේ අමිර්තලිංගම්ට එරෙහිවයි. ඔහු ඇතුළු පිරිසක් දමිල ඊළාමය පිහිටුවීමට කැඳවමින් අත්පත්‍රිකා බෙදා හැර තිබීම ඊට හේතුව විය. නඩුව පවරන ලද්දී නීතිපති ශිවා පසුපති විසිනි. විනිසුරන් වූයේ JFA සෝසා, සිවා සෙල්ලයියා හා ආනන් ද සිල්වා යන අයයි. රැජිනගේ නීතිඥයන් 6 දෙනකු ඇතුළුව දමිල නීතිඥවරු 73 දෙනෙක් විත්තිකරු වෙනුවෙන් පෙනි සිටියහ. මෙය විවිධ දේශපාලන මත දරන දමිළ අය පොදු අරමුණක් උදෙසා එක් වූ අවස්ථාවකි.

එස්.ජේ.වී.  චෙල්වනාගම්, ජී.ජී. පොන්නම්බලම්, එම්. තිරුචෙල්වම් යන ත්‍රිමුර්තියේ මනෝභාවය මේ සමග මනාව පිළිබිඹුවේ. ශ්‍රී ලාංකීය දමිල දේශපාලනයේ  ත්‍රිමුතිය ලෙස මෙකි  තිදෙනා හැඳින්වේ.  එහෙත් වසරක් ගත වෙත්ම මෙම තිදෙනාම මෙලොව හැර ගියේය. පොන්නම්බලම් 1977 පෙබරවාරියේද, චෙල්වනායගම් 1977 අප්‍රේල් මාසයේද මියගිය අතර තිදෙනාගෙන් වයසින් බාලම තැනැත්තා තිරුචෙල්වම් 1976 නොවැම්බරයේ මෙලොව හැර ගියේය.

ඔවුන්ගේ මරණය දමිල දේශපාලන රඟමඩලේ අවසානය සනිටුහන් කළේය.

ඉහත කී නඩුව පීඩාකාරී රජයකට එරෙහිව දමිලයන් නීත්‍යානුකූලව සටන්කළ අවස්ථාවක සංකේතයක් වූ අතර එය දේශපාලන වශයෙන් පුපුරා ගියේය. එම නඩුව විභාග වූයේ බුලර්ස් පාරේය. 1917 දී ‘අපගේ දේශපාලන අවශ්‍යතා’ යන මැයෙන් සර් පොන්නම්බලම් අරුනාචලම් පැවැත්වූ දේශනය බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස දිනා ගැනීමේ ලාංකීය ව්‍යාපාරයේ බයිබලය යනුවෙන් හැඳින්​වේ.

එසේම ඉහත කී නඩුවේ මුරුගේසන් තිරුචෙල්වම් අධිකරණයේ කළ කතාවද ශ්‍රී ලංකාවේ දමිල නිදහස බුද්ධිමය පදනමකින් සනිටුහන් කරන්නක් වූයේ.

දමිල ස්වෛරීභාවය

දමිල ස්වෙරීභාවය පිළිබඳ ආත්ම අධිෂ්ඨානයේ අයිතිය පිළිබඳව තිරු ගැඹුරෙන් තර්ක කළේය. දමිලයන් තම භාෂාව, භූමි ප්‍රදේශය හා ඉතිහාසය යන පොදු උරුමයෙන් හා චින්තනයක් සහිත විශේෂිත ජනතාවක් බව ඔහු පෙන්වා දුන්නේය.

යාපනය රාජධානිය පිළිබඳව සඳහන් කළ ඔහු යුද බිමේ දී දමිල ස්වෛරීභාවය, පෘතෘගීසින් නිසා අහිමිවූ ආකාරය ඔහු විස්තර සහිතව පෙන්වා දුන්නේය. මෙම ස්රීවෛරීභාවය පෘතුගීසින්ගෙන්, ඕලන්දකාරයන් අතටත් ඔවුන්ගෙන් බ්‍රිතානයන් අතටත් මාරු වූයේය. ඉන් අනතුරුව 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් දමිළයන්ගේ කැමැත්තෙන් තොරව එය සිංහල පාලකයන් අතට ගියේය.

1972 ව්‍යවස්ථාව දමිළයන් මත බලෙන් පැටවුණු අතර, සටන් බිමේ දී දමිළ ස්වෛරීත්වය සිංහලයන් අතට පාවා නොදුන් බව තිරුචෙල්වම්ගේ අදහස විය. 

මෙම අවස්ථාවේ දී විනිසුරු සිවා සෙල්ලයියා විනිසුරු අසුණේ සිට මෙසේ කීවේය. 
‘‘ඔව් අප යුදමය වශයෙන් ආක්‍රමණය වූ ජනතාවක් නොවේ’’
තිරුචෙල්වම් සමග කතාබහ කිරීමේ අවස්ථා දෙකක් මට ලැබී තිබිණි. හැත්තෑ ගණන්වල මැද භාගයේ මා TULF කොළඹ ශාඛාවේ සාමාජිකයකුව සිටිය දී පළමු අවස්ථාව එළඹුණ අතර දමිළ තරුණ ෆෙඩරේෂණයේදී දෙවැනි අවස්ථාවට මග පෑදිනි. එවකට මම ජනමාධ්‍යවේදියකු නොවීමි. 

මේ අවස්ථා දෙකේදීම කුඩා තරුණ කණ්ඩායමක් වූ අපි තිරුචෙල්වම් මුණගැසී තාන්තායි චෙල්වා මතුකළ සමහරකාරණාවල සැක සහිත තැන් පැහැදිලි කර ගැනීමට ඉඩ දෙන ලෙස TULF නායක චෙල්වනායගම්ගෙන් ඉල්ලා සිටියෙමු. 

ඒ මෙම රචකයා ඇතුළු ඇතැම් දමිළ කණ්ඩායමේ දමිළ ඊළම පිළිබඳව වඩාත් ප්‍රමෝදයෙන් පසු වූ අවධියකි. එම්. තිරුචෙල්වම් බෙදී වෙන්වීමට එකඟ නොවූ අතර එවැනි ඉල්ලීමකට බලපාන හේතු පිළිබඳව වඩාත් සානුකම්පිත වූයේය. 

අප විසින් උණුසුම් අයුරින් නැගූ ප්‍රශ්නවලට තිරුචෙල්වම් ඉතා සංසුන්ව පිළිතුරු දුන්නේය. පලස්තීන සිද්ධි, බංග්ලාදේශයේ නිදහස හා ද්‍රවිඩයන්ගේ වෙන්වීමේ ඉල්ලීම පිළිබඳව ඔහු විස්තර ඇතිව තතු පහදා දුන්නේය.

දෙවැනි අවස්ථාවක හමුවෙන්නට තිරුචෙල්වම්ගෙන් ආරාධනා ලැබෙනතුරු අපි බලා සිටියෙමු. එහෙත් එම අවස්ථාව උදා නොවීය. 1976 නොවැ. 26 වැනිදා රාත්‍රියේ ඔහු සාමදානයෙන් මෙලොව හැර ගියේය.


ඩී.බී.එස්. ජෙයරාජ් විසිනි 


2022/11/22 Daily Mirror පත්‍රයේ පළවූ Murugeysen Tiruchelvam and Koneswarm Issue ලිපියේ පරිවර්තනය 
- සමන් පුෂ්ප ලියනගේ