ඩොලර් අර්බුදයට කඩිනම් විසඳුම් සොයමු


 

රටේ විදේශ විනිමය පිළිබඳව හටගෙන තිබෙන ගැටලු‍ව තවමත් අවසන් වී නැත. මාස කිහිපයක් තිස්සේ පවතින විනිමය අර්බුදය විසින් රට තුළ නිර්මාණය  කරනු ලැබ ඇති බරපතළ ප්‍රශ්න ගණනාවකි. වරායේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් දහසකට ආසන්න ගණනක් සිරවී තිබීම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකටද මග පාදා ඇත. මෙලෙස සිරවී තිබූ කන්ටේනර්වල අන්තර්ගත වී ඇත්තේ කිරිපිටි, සීනි, අල, ලූනු, මිරිස්, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බව මාධ්‍ය වාර්තා කළේය. ඇතැම් ආහාර ද්‍රව්‍යවල කල් ඉකුත්වීමේ කාලයද ළඟදීම උදාවන බව එම ආනයනකරුවෝ සඳහන් කරති. කෙසේ වුවද මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය බැංකු දෙකට අවශ්‍ය ඩොලර් මුදාහැර ඇත.

මෙම කන්ටේනර් තොගය වහා නිදහස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා රේගුවට සහ වරායට පසුගියදා නියෝග කළේය. ඒ සඳහා ගෙවිය යුතු මූලික ගෙවීම් හා ප්‍රමාද ගාස්තු පියවීමට ආනයනකරුවන්ට ඩොලර් අවශ්‍යය. ඊට අවශ්‍ය ඩොලර් මිලියන 50ක් ශ්‍රී ලංකා මහබැංකුව දැනටමත් වෙන්කර ඇති බැවින් ආනයනකරුවන්ගේ ඩොලර් ප්‍රශ්නය විසඳා ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. මෙහිදී ජනතාව තුළ අලු‍ත් බලාපොරොත්තුවක් දල්වමින් නව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ලබන මස මුල් සතියේ රටට ඉදිරිපත් කරන මහ බැංකුවේ ඉදිරි මාර්ග සැලසුම මගින් තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සැපයෙන ආකාරය හෙළිදරව් කරන බවය. මෙහිදී රාජ්‍ය නිලධාරීන්ද පංගු පේරුවකින් තොරව ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතුය.

මෙයට සති කිහිපයකට පෙර රටේ විනිමය අනුපාත තුනක් එකවර ක්‍රියාත්මක විය. ඒ අනුව මහ බැංකුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 203/- යැයි නියම කර තිබියදී වාණිජ බැංකු ඩොලර් අලෙවි කළේ රුපියල් 228/-කටය. එසේම කොළඹ බලපත්‍රලාභී පෞද්ගලික වෙළෙන්දෝ (කළු කඩයේ) ඩොලරයක මිල රුපියල් 245/-ත් 250/-ත් අතර මිලකට අලෙවි කළහ. මෙම තත්ත්වය සාමාන්‍ය ජනතාව මෙන්ම ආනයනකරුවන්ද ආකූල ව්‍යාකූල කළ බව අමුතුවෙන් කිවයුතු නැත. එයින් ජනතාවට ගම්‍ය වූයේ මහ බැංකුවට ඩොලරයේ වටිනාකම පාලනය කරගන්නට පවා නොහැකි බවකි. මෙම අර්බුද සියල්ල සංකීර්ණ වී උත්සන්න වූ විට හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ඉල්ලා අස්විය. එහෙත් තවමත් ඩොලර් ප්‍රශ්නය විසඳී නැත. ඒ ගැන ඇත්තේ අපේක්ෂාවක් පමණි.

ඩොලර් අර්බුදය නිසා විදේශගතව අධ්‍යාපනය ලබන සිසු සිසුවියෝද දැඩි පීඩාවකට පත්ව සිටිති.

සාමාන්‍යයෙන් වසරකට විදේශ අධ්‍යාපනය සඳහා සිසු සිසුවියෝ 5000ත් 7000ත් අතර පිරිසක් රටෙන් පිටට යති. මෙරට විදේශ විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට දේශප්‍රේමීන් ඉඩ ලබා නොදීම නිසා විදේශ උසස් අධ්‍යාපනයට ලැදි දරුවෝ මේ රටේ ඩොලර් රැගෙන පිටරටවලට ගොස් තම අරමුණ සපුරා ගනිති. සාමාන්‍යයෙන් වසරේ අවසාන කාර්තුවේදී විදේශගතව අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සඳහා ඊළඟ වසරට අවශ්‍ය ගෙවීම ඩොලර්වලින් කළ යුතුය. එසේ වුවද ඒ සඳහා බැංකු වෙත ගිය බොහෝ දෙමව්පියන්ට ලැබුණේ ‘‘ඩොලර් නැත’’ යන පිළිතුරයි. තමන්ගේ මුදල බැංකුවට ගෙවා සිය දරුවන්ගේ අධ්‍යාපන ගාස්තු ගෙවා ගන්නට දෙමව්පියන්ට නොහැකි වනවිට ඔවුන් කොතරම් අසරණ තත්ත්වයට පත්වේද යන්න මේවා ගැන තීරණ ගන්නා බලධරයෝ කල්පනා කළ යුත්තාහ.

පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සඳහන් වූ තවත් වාර්තාවකින් කියැවුණේ විදේශයක පැවැත්වෙන ජාත්‍යන්තර මල්ලවපොර තරගයක් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු දායකත්ව මුදල ගෙවීමටද අදාළ ක්‍රීඩා සංගමයට ඩොලර් ලැබී නැති බවය. ඊට අවශ්‍ය ඩොලර් ගණන 5500කි. එය අද කාලයේ සිදුවන ගනුදෙනුවල හැටියට සොච්චම් මුදලකි.

මේ සියල්ලෙන් අපට පසක් වන්නේ රටේ පවත්නා ඩොලර් හිඟය උග්‍ර ප්‍රශ්නයක් බවය. මේවාට විසඳුමක් ලැබෙන්නේ රටේ මූල්‍ය සංචිතය ප්‍රමාණවත් ලෙස තර වුවහොත් පමණි. දැනට ඩොලර් කෝටි 350ක් (බිලියන 3.5ක්) පමණ සංචිතයේ පවත්නා බව සඳහන්ය. ප්‍රශ්නයට විසඳුමක් ලෙස රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත කිසියම් සැලසුමක් ඉදිරිපත් කොට ණය මුදලක් ලබාගත යුතු යැයි යෝජනා වී තිබේ.

 එහෙත් මූල්‍ය අරමුදල ණය සපයන විට රටකට ලබාදෙන කොන්දේසි වට්ටෝරුව නිසා රටේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් හට ගනී යැයි රජය බියට පත්ව සිටින බව පැහැදිලිය. සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදල රටකට පනවන ප්‍රකට කොන්දේසි අතර රාජ්‍ය සේවය කුඩා කිරීම, නව බදු පැනවීම, රජයෙන් ගෙවන විශ්‍රාම වැටුප් කප්පාදුව වැනි යෝජනා පවතී. එහෙත් ඒවා පිළිගැනීම හෝ නොපිළිගැනීම රජයේ කාර්යයක් ලෙස සැලකෙයි. කෙසේ නමුත් දැනටත් මෙරට ඉහළ පොලියට විදේශවලින් සෑම ආණ්ඩුවක්ම ලබාගත් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 16කි. එනිසා තවදුරටත් රට රටවලින් වාණිජ ණය ගැනීම ණය උගුලේ සිරවීමක් බවට තර්කයක් ගොඩනැගී ඇත. කොවිඩ් වසංගතය විසින් ආර්ථිකයට කරනු ලැබ ඇති විනාශයද සුළුපටු නොවන නමුත් දැන් ආණ්ඩුවේ වගකීම වන්නේ ඒක පුද්ගල ණය බර වෙනුවට ඒක පුද්ගල ආදායම් තත්ත්වය සහ ආර්ථික වර්ධන වේගය නැංවීමට උත්සාහ ගැනීම බව සඳහන් කළ යුතුය. එවිට ඩොලර් අර්බුදය නිරාකරණය කර ගැනීම වඩාත් පහසුවන බව විද්වත් මතයයි.

(***)