කාලීන ආර්ථික හා දේශපාලන තේමා රැසක් ප්‍රශ්න කරමින් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය:- දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තා. ඊළඟට මොකද වෙන්නේ?
පිළිතුර:- දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හරහා විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළොත් ණය ගෙවීම් කරන්න ශක්තියක් නිර්මාණය කරගත්ත බව ලෝකයට තහවුරු කරනවා. අපේ මූලික අරමුණ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන එක. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය යන්නෙන් අදහස් වෙන්නේ, විදේශයන්ට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් බිලියන 37ක් සම්බන්ධයෙන් ණය දුන් රටවල් සහ ආයතන සමග යම් කිසි එකඟතාවක් ඇති කරගන්න එකට. ඒ මුදල් අපට නොගෙවා ඉන්න බෑ. ගෙවිය යුතු මුළු විදේශ ණයවලින් සියයට 37ක් ඉදිරි වර්ෂ 5ක කාලයේදී ගෙවිය යුතුයි. තව සියයට 51ක් ඉදිරි වර්ෂ 6ත් 20ත් අතර කාලයේදී ගෙවිය යුතු වෙනවා.
ඉතිරි සියයට 12 අවුරුදු විස්සකට වැඩි කාලයකදී ගෙවිය යුතු වෙනවා. මේ විදිහට තමයි විදේශ ණය මුදල් කල් පිරෙන්නේ. කවර ආණ්ඩු තිබුණත් 2044 වන තෙක් මේ විදේශ ණය ගෙවන ආකාරය ගැන විදේශ ණය හිමි ආයතන සමග අපි එකඟතාවක් ඇති කරගත යුතු වෙනවා. ලෝකයට අපි ඔප්පු කරන්න ඕනෑ ඉදිරි වසර 5ක කාලයේදී ගෙවිය යුතු සියයට 37ක ණය මුදල ගෙවීම සඳහා අපට හැකියාවක් තියෙන බව.
ප්‍රශ්නය:- කොහොම වුණත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන බවක් ආණ්ඩුව මුලදී කිව්වේ නෑ. ඒ වගේම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවෙහි සඳහන් නොවන බවත් කියවෙනවා. ඔබට ඒ සම්බන්ධයෙන් කුමක් ද කිව හැක්කේ?
පිළිතුර:- ආණ්ඩුවටයි දේශපාලනඥයන්ටයි විෂයානුබද්ධ ප්‍රාමාණිකයන්ටයි හිතෙන ආකාරයට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න බෑ. ඒක අපිට තේරෙන විෂයයක් නෙවෙයි. රටක් මේ විදිහේ අගාධයකට ඇදවැටුණට පස්සේ එයින් රට ගොඩගන්නෙ කොහොම ද කියන එක ගැන විද්‍යාත්මක තාක්ෂණික ඥානය අපට නෑ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුත්ත සඳහා විදේශීය මූල්‍ය හා නීති ක්ෂේත්‍ර නියෝජනය කරන විශේෂඥ ආයතනවලින් අභිප්‍රාය යෝජනා කැඳෙව්වා. ඒ සඳහා විදේශීය ආයතන 28ක් ඉදිරිපත් වුණා. එයින් ආයතන විස්සක් සුදුසුකම් ලැබුවා. ඒ ආයතන විස්ස අතරින් කාට ද මේක භාර දෙන්නේ කියලා තීරණය කිරීමට මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවකුත් පත් කළා. ඒ අනුව ප්‍රංශයේ ලසාර්ඩ් සමාගමට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වගකීම භාර දුන්නා. මේ කටයුත්තේදී මතු විය හැකි නීතිමය ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම තෝරා ගත්තා. මේ විදිහේ විශේෂඥයන්ගේ උපදෙස් ඇතුව මිසක් ණයකාරයන්ට අවශ්‍ය විදිහට ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න බෑ.
ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ දේශීය ණයත් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි කියලා කිව්වා ද කියන එක?
පිළිතුර:- මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට නිල වශයෙන් සහභාගි වෙන ආයතන කිහිපයක් තියෙනවනේ. ප්‍රධාන ආයතනය තමයි ප්‍රංශයේ ලසාර්ඩ් ආයතනය. ඊළඟට නීතිමය පැත්තෙන් ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනය. අනිත් ආයතනය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණයට සම්බන්ධ විශේෂඥයනුත් මේ කටයුත්තට සහභාගි වෙනවා. මේ විදියට ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තීන්දු තීරණ ගන්නේ ඒ සම්බන්ධව විශේෂඥ දැනුමක් ඇති අය මිසක් දේශපාලන නායකයන් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නෙවෙයි. ඒ අයට හිතෙන ආකාරයට මේවා කරන්න බෑ.
ප්‍රශ්නය:- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය මේ වසරේ සැප්තැම්බර් පැවැත්වෙනවා. ඒ ණය මුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු මේ වෙන කොට සම්පූර්ණ කරල ද තියෙන්නේ?
පිළිතුර:- බොහොමයක් ඒවා සම්පූර්ණ කරලා තියෙන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා තියෙනවා. ඛනිජ තෙල්, ගෑස්, පොහොර ආදී බොහෝ භාණ්ඩ හා සේවාවලට ඒවායෙහි පිරිවැය නිරූපිත මිල ක්‍රම හඳුන්වා දීලා තියෙනවා. පාඩු ලබන රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ආණ්ඩුවට පවරාගෙන තියෙනවා.
අලාභ ලබන අනිත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙනවා. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කරගත හැකි පරිද්දෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය මෙහෙයවනවා. බදු ආදායම් ඉහළ නැංවීමට අදාළ යෝජනා ක්‍රියාත්මක කරලා තියෙනවා. දෙවැනි ණය වාරිකය ලබා ගැනීම සඳහා කරන්න පුළුවන් උපරිමය ලංකාව ඉෂ්ට කරලා තියෙනවා.
ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්ත දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාවෙන් රටේ බැංකු හා මූල්‍ය පද්ධතියට බලපෑමක් වෙන්නේ නැද්ද?
පිළිතුර:- බලපෑමක් වෙලා තියෙනවනේ. මූල්‍ය පද්ධතිය පිළිබඳ විශ්වාසය බරපතළ ලෙස ඉහළ ගිහින් තියෙනවා. බැංකු තැන්පත් ආපහු ඉවත් කරගන්නවා වෙනුවට තැන්පතු මුදල් වැඩි කිරීම ගැන තැන්පතුකරුවන්ගේ විශ්වාසය ඉහළ ගිහින් තියෙනවා. බැංකු ආයතනවල කොටස් මිල බැංකු ඉතිහාසයේ කෙදිනකවත් නොවූ විරූ පරිද්දෙන් ඉහළ යෑමෙන් එය පැහැදිලි වෙනවා.
ප්‍රශ්නය:- සේවක අර්ථසාධක අරමුදල සඳහා සියයට 9ක පොලියක් ඉදිරි වර්ෂ සඳහා සහතික කරන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා. එහෙත් භාණ්ඩාගාර බැඳුම්කරවල මුදල් ආයෝජනය කරන පාර්ශ්වවලට ගෙවන පොලිය අඩු කරලා නෑ. මේක සාධාරණ ද?
පිළිතුර:- මේ අවුරුද්ද අවසන් වෙන කොට උද්ධමනය තනි ඉලක්කමේ මට්ටමට අඩු වෙනවා. ඊට සාපේක්ෂව පොලී අනුපාතත් පහළ යා යුතුයි. එතකොට තමයි තැන්පත්කරුවන්ට මූර්ත ආදායමක් ඇති වෙන්නේ. උදාහරණයක් විදිහට උද්ධමනය සියයට 10ක අගයක පවතිද්දී පොලී අනුපාතය සියයට 15ක මට්ටමක පවතිනවා නම් සියයට 5ක් පාඩුයි.
ඒ නිසා උද්ධමන අනුපාතිකය පහළ යෑමත් සමග බැංකු පොලී අනුපාතයත් පහළ වැටෙනවා. ඒ නිසා තමයි මහ බැංකු අධිපතිවරයා සහතිකයක් දීලා තියෙන්නෙ අනාගතයේදී පොලී අනුපාතය සියයට 6 හෝ 7 දක්වා අඩු වුණත් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට සියයට 9ක පොලියක් අනිවාර්යයෙන් ගෙවනවා කියලා.
ප්‍රශ්නය:- එහෙත් 2020ට කලින් ඊ.පී.එෆ්. සාමාජිකයන්ට සියයට 10ට වැඩි පොලී අනුපාත ගෙවලා තියෙනවා?
පිළිතුර:- ඔව් ඉතින්, පොලී අනුපාතය කියන එක කවදාවත් ස්ථාවර නෑනේ. ලෝකයේ දියුණු රටවල්වල පොලී අනුපාතය සියයට 1ක් හෝ 2ක් වෙන්නේ. ඇමෙරිකා ආර්ථිකයේ දරුණු කඩාවැටීම හමුවේ එරටේ පොලී අනුපාතයත් සියයට 6 දක්වා ඉහළ ගිහින් තියෙනවා. රටක් දියුණු වෙන කොට පොලී අනුපාතය තනි ඉලක්කමේ මට්ටම දක්වා අඩු විය යුතුයි.
ප්‍රශ්නය:- දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 120 ඉක්මවපු මට්ටමක තියෙන රාජ්‍ය ණය 2032 වෙද්දී සියයට 95ක් දක්වා අඩු කළ යුතුයි. ඒක කරන්න ආණ්ඩුවට තියෙන වැඩපිළිවෙළ මොකක්ද?
පිළිතුර:- ඒක කරන්න තියෙන්නේ කරුණු දෙකයි. අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5ට අඩුවෙන් අඛණ්ඩව පවත්වාගෙන යන්න ඕනෑ. ඒක තමයි ප්‍රධාන කරුණ. දෙවැනි එක තමයි බාහිර ආර්ථිකයේ ගෙවුම් තුලනයේ තියෙන ජංගම ගිණුමේ හිඟයත් අඩු කරගන්න ඕනෑ. මේ කරුණු කාරණා කිසිවක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ මම මුදල් අමාත්‍යාංශයේ වැඩ කරද්දි (2001-2004) ගෙනාපු 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සම්මත කළා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. රට මේ විදිහේ ආර්ථික අගාධයකට වැටෙන බව අපි දැනන් හිටියෙ මීට අවුරුදු විස්සකට කලින්. එයින් රට මුදා ගන්න තමයි අපි ඒ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කළේ.
ඒ නීතියේ ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. පළමුවැන්න තමයි 2006 වන විට අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5 මට්ටමට අඩු කිරීමත්, එය අඛණ්ඩව පවත්වාගෙන යෑමත්. දෙවැන්න තමයි 2013 වන විට නොපිය වූ මූළු රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 60 දක්වා අඩු කළ යුතුයි කියන එක. තුන්වැනි එක තමයි රජය විදේශ වත්කම් සඳහා ඇප වන විට ඇප විය හැක්කේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5ක් දක්වා පමණයි කියන එක.
මේ ටික 2003 ඉඳන් 2023 දක්වා අවුරුදු 20ක් කළා නම් මේ රට කවදාකවත් බංකොළොත් වෙන්නේ නෑ. ණය ගෙවන්න බැරි වෙන්නෙත් නෑ. එහෙත් අවාසනාවකට ඒ ආණ්ඩුව බලයෙන් පහ කිරීම නිසා ඒ නීතිය ක්‍රියාත්මක කරන්න හැකි වුණේ නෑ. ඊළඟට බලයට පත් වුණු ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පත් වුණේ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා. එතුමාගේ උපදෙස් අනුව ඒ ආණ්ඩුව මේ පනත විටින් විට වෙනස් කළා. ඉන් පසු බලයට පත් වුණු ආණ්ඩුත් මේ පනත වෙනස් කළා. අවසාන ප්‍රතිඵලය වුණේ රට මේ විදිහේ ආර්ථික අගාධයකට ඇද වැටීම. ඒ නිසා රට බංකොළොත් කළේ ගෝඨාභය රාජපක්ෂ නෙවෙයි 2003 මූල්‍ය වගකීම් කළමනාකරණ පනත ආපසු හරවපු සියලු පාර්ලිමේන්තු මැති ඇමැතිවරු.
ප්‍රශ්නය:- විද්‍යුත් විකාශන අධිකාරි පනත් කෙටුම්පතෙන් ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට සැරසෙන බවට චෝදනා නැගෙනවා. විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඔබට ඒ ගැන කුමක් ද කිව හැක්කේ?
පිළිතුර:- මාධ්‍ය ආයතනවලට බලපත්‍ර දෙන්න අවශ්‍ය නම් දීපු ඒවා අවලංගු කරන්න මට විශාල බලයක් තියෙනවා. ඒ විදිහේ අසීමිත බලයක් පාවිච්චි කරන්න මම කැමැති නෑ. ඒ නිසා අපි ඒ බලය වෙනම අධිකාරියකට පවරනවා. ඒකෙන් මාධ්‍ය මර්දනයක් වෙන්නේ නෑ.
අපි මාධ්‍ය මර්දනයක් කරන්න සූදානම් නෑ. මම විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ නියෝජිතයෝ කැඳවලා මේ පනත් කෙටුම්පතේ අහිතකර දේවල් තියෙනවා නම් පෙන්වා දෙන්න කියලා දැනුම් දුන්නා. එහෙම අහිතකර දේවල් තියෙනවා නම් ඒවා ඉවත් කරලා මේ පනත් කෙටුම්පත සම්මත කරන්න ආණ්ඩුව සූදානම්.
ප්‍රශ්නය:- පළාත් පාලන ආයතන මැතිවරණ, පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නැද්ද? මැතිවරණ නැති දේශපාලන ගමනක් ද මේ ආණ්ඩුව යන්නේ?
පිළිතුර:- මැතිවරණ අවශ්‍ය වෙලාවට තියයි. රට දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලෙමින් තියෙද්දී ඒකට විසඳුම් සොයනවා වෙනුවට මැතිවරණ පැවැත්වීමෙන් රටට යහපතක් වෙනවා කියලා ඔබ හිතනවාද.
ප්‍රශ්නය:- එහෙත් මැතිවරණ කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්?
පිළිතුර:- ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඔක්කොම නැති වෙනවා ණයවර ලිපියක් විවෘත කරගන්න බැරි තත්ත්වයක් ඇති වුණොත්. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපේ මනුස්සකමේ අයිතිය මැයි 9 වැනිදා නැති වුණු හැටි අපි දැක්කානේ. මිනිසුන්ට නිදහසේ පාරේ ගමන් කිරීමට සහ තමන්ගේ දරුවන් එක්ක නිදහසේ නිවෙස්වල ජීවත් වීමට ඇති අයිතිය නැති කළානේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය කළේ නැත්නම් නැවත ඇති වෙන්නේ එවැනි තත්ත්වයක්. ණය ප්‍රතිව්‍යුහගතකරණය කළේ නැත්නම් තෙල්, ගෑස් මේ මොනවත් රටට ගේන්න වෙන්නේ නෑ. ඒ ප්‍රශ්නය විසඳ ගත්තට පස්සෙ ඡන්ද තියන්න පුළුවන්.
ප්‍රවාහන සහ මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන
සාකච්ඡා කළේ - උපුල් වික්‍රමසිංහ