ණය බර සැහැල්ලුවේ ඉලක්ක


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුය කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකා ආණ්ඩුවට කොතැනකදීවත් නිර්දේශ කර හෝ යෝජනා කර නැත. ලංකා ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව දැන් මුද්‍රණය කර තිබේ. ‘‘ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට්’’ නමැති මුද්‍රිත ලියැවිල්ලේ ඒ එකඟතා සඳහන් වෙයි. ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද, ඒ කාගේ ණය ද කියා මූල්‍ය අරමුදල කිසිම අදහසක් ඉදිරිපත් නොකරයි.

මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන්නේ ලංකාවේ ඉදිරි ආර්ථික ගමනේ දී ලංකාව හැඩ ගැසිය යුතු අයුරු හා ඉලක්ක ගැන ය. ලංකාව තම මුළු ණය අඩු කරගත යුතු බව කියනවා මිස දේශීය හෝ විදේශීය ණය ගැන මූල්‍ය අරමුදල කිසිවක් නොකියයි. මූල්‍ය අරමුදල කියන්නේ 2032 වන විට ලංකාව තම මුළු ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 95කට අඩු කර ගත යුතු බවය. දැන් එය සියයට 128කි. ආර්ථික වර්ධනය සහ ණය අඩු කර ගැනීම යන ක්‍රම දෙක මගින් එය කළ යුතු බව මූල්‍ය අරමුදල කියයි. මූල්‍ය අරමුදල ලංකා ආණ්ඩුවට දෙන්නේ ඉලක්කයකි.

මූල්‍ය අරමුදල සමග පවතින එකඟතාව වන්නේ ලංකා ආණ්ඩුව ලියා දෙන සැලැස්මය. අරමුදල ඒ සැලැස්ම පිළිගනියි. සැලැස්ම ලබා දී තිබෙන්නේ මූල්‍ය අරමුදලෙන් නොවේ. තාක්ෂණික දැනුම දී ඒ සැලැස්ම ලියන්නට අරමුදල ද සහභාගි වෙයි. එහෙත් එය ආණ්ඩුවේ සැලැස්මක් මිස අරමුදලේ සැලැස්මක් නොවෙයි. මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සම්මත කළේ එලෙස ලංකා ආණ්ඩුව විසින් සැකසු සැලැස්මයි.

වාර්ෂික අය වැය පරතරය සහ ණය ගෙවීමට වැය වන මුදල් ප්‍රමාණය අඩුකර ගත යුතු බව මූල්‍ය අරමුදල කියයි. එසේ කියන්නේ අය වැය පරතරය පියවා ගැනීමටත්, ණය ගෙවීමටත් ණය ගන්නා බැවිනි. ඒ දෙකෙහි එකතුව රජයට ණය ලෙස ගැනීමට අවශ්‍ය වන මුදල් ප්‍රමාණය (Gross Financing Needs – G.F.N.) ලෙස හැඳින්වෙයි. ණය ගෙවීමට වැය වන මුදල අඩු වන්නේ අයවැය අතිරික්තයක් තිබුණොත් පමණකි.

මේ මේ ක්‍රම මගින් වාර්ෂිකව අය වැය පරතරය අඩු කර ගන්නා බව ආණ්ඩුව මූල්‍ය අරමුදලට දුන් සැලැස්මේ සඳහන් වෙයි. 2032 වන විට එය කොපමණ අඩු කරගන්නවා දැයි ඒ සැලැස්මේ සඳහන් වෙයි. රජයේ ආදායම වැඩි කර ගත යුතු බව ද මූල්‍ය අරමුදල කියයි. එය කරගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ මගපෙන්වීම් රැසක් ද ඉහත කී එකඟතාවේ සඳහන් වෙයි. ආණ්ඩුව වැඩි කළ බදු ගැන ද ඒ එකඟතාවේ සඳහන් වෙයි.

එහෙත් මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවේ සඳහන් සියලු බදු තවමත් වැඩි කර නැත. සූදු බද්ද, කැසිනෝ හා රේස් ඔට්ටු ඇල්ලීමේ බදු උදාහරණ කිහිපයකි. එසේම සිගරට් බද්ද ද හරි හැටියට වැඩි කර නැත. අය වැයේ සඳහන් බදු ආදායමට වඩා අඩුවෙන් ඒ බදු එකතු වන්නේ එහෙයිනි.

සාමාන්‍ය ජනතාවට සහ වෘත්තිකයන්ට බලපාන බදු ඉහළ අගයකින් වැඩි කිරීමට උනන්දු වී තිබෙන ආණ්ඩුව සූදු, කැසිනෝ, රේස් ඔට්ටු, සිගරට් යනාදී බදු වැඩි කිරීමට හොර වී සිටින බවත් බැලූ බැල්ලමටම පැහැදිලියි. ඒ බදු වැඩි කිරීමට කල්ගෙන තිබේ. එසේම අඩු අගයකින් වැඩි කර තිබේ. වැඩිවීම අඩු කර තිබේ. ඒ බදු වැඩි කිරීමට කම්මැලි බව බැලූ බැල්මටම පෙනෙයි. එහෙත් සාමාන්‍ය ජනතාවට සහ වෘත්තිකයන්ට බලපාන බදු වැඩි කිරීමට කිසිම කම්මැලිකමක් නැතිව උනන්දු වී තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත නොකර ආණ්ඩුවට ඉලක්කවලට යාමට නොහැකිය. එහෙත් ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ දේශීය ණය ද නැතිනම් විදේශ ණය ද කියා මූල්‍ය අරමුදල නොකියයි. ආණ්ඩුවට තම ණය තිරසාර කර ගැනීම සඳහා රටේ පොලී අනුපාත අඩුකර ගැනීමේ විශාල අවශ්‍යතාවක් තිබිණි. එහෙත් දැනට පවතින ව්‍යුහය මත පොලී අනුපාත අඩුකර ගත නොහැකිය. ආණ්ඩුවේ වියදම සියයට 99 කින් වැඩි වන්නේ දේශීය ණය පොලී ගෙවීමට සිදුවන නිසාය.

දේශීය ණයවල පොලී අනුපාතිකය ඉතා ඉහළය. බොහෝ බැඳුම්කරවලට ආණ්ඩුව ගෙවූ පොලිය සියයට 30කට අධිකය. ඒ ණය සඳහා ගෙවන පොලිය සියයට 10 දක්වා හෝ අඩු කර ගත යුතුය කියා දැන් ආණ්ඩුවට ඉලක්කයක් තිබේ. මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු පොලී අනුපාත අඩුකර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි. එසේ කිරීමෙන් දේශීය ණය පිළිබඳ අවිනිශ්චිතතාව අවම කර ගැනීමට හැකි වෙතැයි ආණ්ඩුව විශ්වාස කරයි. 

ප්‍රාථමික වෙළෙඳ පොළේ ක්‍රියාත්මක වන බැංකු හා මූල්‍ය සමාගම් බැඳුම්කර මිලදී ගැනීම ඔස්සේ ආණ්ඩුවට ණය දුන්නේ විශාල පොලියක් අපේක්ෂාවෙනි. ඒ පොලිය යම් මට්ටමකින් කපා හැරියත් කමක් නැත යන ස්ථාවරයෙන් ඔවුහු එසේ කළහ. මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඔවුන්ට ගෙවන පොලිය අඩු නොකළොත් ඔවුහු අතිවිශාල ලාබයක් ලබති. මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුළු බර පටවා තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් මතය. මහ බැංකුව මත පටවා තිබෙන්නේ බරක් නොවේ. මහ බැංකුව ආණ්ඩුවේය. ආණ්ඩුව මහ බැංකුවේය. ඒ දෙකම එකය. ආණ්ඩුව මහ බැංකුවට ගෙවන ණය යළි ආණ්ඩුවටම ලැබෙයි. එමගින් ආර්ථිකයේ තිරසාරභාවයට බලපෑමක් නොවෙයි. ආර්ථික තිරසාරභාවයට බලපාන මුළු බරම දමා තිබෙන්නේ ජනතාවගේ විශ්‍රාම වැටුප් අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල මතය.

මේ දේශීය ණය  ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ඉදිරි අවුරුදු 16ක් එනම් 2038 වනතුරු ඒ අරමුදලට ලැබෙන්නට නියමිත පොලී අනුපාත කප්පාදු කර තිබේ. එමගින් ඊ.පී.එෆ්. සාමාජිකයන්ගේ මුදලේ වර්ධන වේගය අඩුවෙයි. උද්ධමනය සහ ආර්ථික වර්ධනය සමග ඊ.පී.එෆ්. සාමාජිකයන්ගේ අරමුදල් ද වර්ධනය විය යුතුය. එසේ නොවුණොත් ඒ මුදලේ වටිනාකමත් නැතිවෙයි.

ඔවුන්ගේ අරමුදල්වල වර්ධන වේගය සිතා මතාම අවහිර කිරීමෙන් ඔවුනට සිදුවන පාඩුව ඉතා විශාලය. බැඳුම්කර මිලදී ගත් වාණිජ බැංකු, මූල්‍ය සමාගම්, විශ්‍රාම වැටුප් අරමුදල් යනාදී සියල්ලේ අරමුණ ඉහළ ලාභයක් ලැබීමය. මේ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැංකු හා මූල්‍ය සමාගම්වල ඒ අරමුණු බිඳනොවැටෙයි. එහෙත් ඊ.පී.එෆ්. සාමාජිකයන්ගේ අරමුණු බිඳවැටෙයි. ඒ අනුව පැහැදිලි වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුළු බර ඊ.පී.එෆ්. සාමාජිකයන් මත පටවා තිබෙන බවය. බැංකු හා මූල්‍ය සමාගම්වල ලාබ උපරිම කරගැනීමේ අවකාශ සලසා දී තිබෙන බවය. එහෙයින් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අසාධාරණය. අයුක්තිසහගත ය.

බැඳුම්කර මිලදී ගෙන තිබෙන්නේ ප්‍රාථමික වෙළෙඳපොළේ ක්‍රියාකාරි සමාගම්, ආයතන සහ බැංකුය. එසේම විවිධ පුද්ගලයෝ ද බැඳුම්කර මිලදී ගනිති. රක්ෂණ සමාගම් ද බැඳුම්කර මිලදී ගනියි. ඒ සියල්ලෝ අධි පොලියකට ඒවා මිලදී ගන්නේ යම් අවස්ථාවක ඒ පොලිය කප්පාදු වෙයි කියන සැකයෙනි. එසේ කප්පාදු වුවහොත් ඒ ලාබ අවම වීම ගණනය කරමින් දැනටත් ඔවුහු තමන්ගේ ශේෂ පත්‍ර සකසා ගෙන සිටිති. එහෙත් එසේ නොවීම නිසා ඔවුනට අතිවිශාල ලාභයක් ලැබෙයි. එමගින් බැංකුවල සහ සමාගම්වල කොටස්කරුවන්ට අතිවිශාල ලාබයක් ලැබීමට හැකි වෙයි.

එසේම ඒ බැංකුවල කොටස් මිල ද ඉහළ යයි. ඉදිරි සති දෙක තුනේ දී බැංකු හා මූල්‍ය සමාගම්වල කොටස් මිල ඉතා ඉහළ යනු නිසැකය. එය එසේ වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ සියලු බර සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් මත පටවා තිබෙන හෙයිනි. මා සරලව සහ කෙටියෙන් කියන්නේ භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් මිලදී ගත් ඊ.පී.එෆ්. සාමාජිකයන් නොවන සියලු බැංකු, සමාගම් සහ පුද්ගලයන්ගේ කරල පැහෙන බවය. ඊ.පී.එෆ්. සාමාජිකයන්ගේ කරල් බොල් වන බවය.

අතිවිශාල පොලියකට අතිවිශාල වශයෙන් බැඳුම්කර නිකුත් කළේ පසුගිය වසර දෙකේ දීය. එහෙත් බැඳුම්කර නිකුත් කිරීම වසර දහයක පහළොවක පමණ සිට සිදුවෙයි. රජය රුපියල් ට්‍රිලියන 8.7ක බැඳුම්කර නිකුත් කර තිබේ. 2023 මැයි අග වෙද්දී සමස්ත බැඳුම්කරවලට ආණ්ඩුව ගෙවා තිබෙන්නේ සාමාන්‍ය පොලී අනුපාතයක් නොවේ. බැඳුම්කරවලට දුන් සාමාන්‍ය පොලී අනුපාතය සියයට 13.52කි. එහෙත් මෑතක දී නිකුත් කළ බැඳුම්කරවලට ගෙවන බව කිව්වේ සියයට 26කට අධික පොලියකි. එහෙත් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ රජය ඊ.පී.එෆ්. සාමාජිකයන්ට කියන්නේ ඉදිරි අවුරුදු 16දී ඊ.පී.එෆ්. සාමාජිකයන්ට සියයට 9.1ක පොලී අනුපාතයක් ගෙවන බවය.

බැඳුම්කරවලට ගෙවන සාමාන්‍ය (Avarage) පොලී අනුපාතය 13.52ක් බව ඉහත කීවෙමු. ඒ 13.5 සහ 9.1 අතර පරතරය 4.4කි. ඊ.පී.එෆ්. සාමාජිකයන්ට එවැනි අඩු පොලියක් ගෙවීම ඔවුන්ගේ අරමුදල් තුනෙන් එකකින් කැපීමට සමානය. ඒ අනුව ඊ.පී.එෆ්. සාමාජිකයන්ට ගෙවන පොලිය අඩු කිරීමෙන් වන්නේ ඔවුන්ගේ අරමුදල් කපා හැරීමකි. එමගින් ඔවුනට වන පාඩුව අතිවිශාලය. අරමුදල් නොකපා පොලිය කපා හැරීමෙන් වන්නේ ද අරමුදල් කපාහැරීමකි. ඊ.පී.එෆ්. සාමාජිකයන්ට එය දැනෙන්නේ දැන් නොව විශ්‍රාම ගොස් අරමුදල් අතට ගන්නා විශ්‍රාම වයසේ දීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පාඩුව රටේ සමස්ත එනම් බැඳුම්කරවල ආයෝජනය කළ බැංකු, මූල්‍ය හා රක්ෂණ සමාගම් සහ පුද්ගලයන් යනාදී සියලු දෙනා වෙත බෙදාහැරියොත් ඒ හැම පාර්ශ්වයකටම වන්නේ කුඩා පාඩුවකි. එසේ කළහොත් පාඩුව ඒ කොයි කවුරු අතරත් බෙදී යයි. එහෙත් එසේ නොකර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ බර සේවක අර්ථසාධක අරමුදල මත පමණක් පැටවීමෙන් ඒ අරමුදලේ සාමාජිකයන්ට වන පාඩුව සුවිශාලය.

එය කිරීම අසාධාරණය, අයුක්ති සහගතය. රජයක් කාටත් සැලකිය යුත්තේ සමානවය. එහෙත් මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී වැඩිම අයුක්තියක් අසාධාරණයක් වන්නේ ඊ.පී.එෆ්. සාමාජිකයන්ටය. ඒ පිරිස අතිවිශාලය. රටේ ජනගහනයෙන් විශාල පිරිසක් ඒ අතර සිටිති. අනාවරණය වන තොරතුරු අනුව සේවක අර්ථසාධක අරමුදලේ තිබෙන ගිණුම් ගණන ලක්ෂ 100කට වැඩිය. 

ඊ.පී.එෆ්. සාමාජිකයන්ගේ අරමුදල් ගැන තීරණයක් ගත යුත්තේ ඔවුන්ගේ කැමැත්ත මතය. එහෙත් මේ තීරණය ගෙන තිබෙන්නේ ඔවුන්ගේ කැමැත්ත අකැමැත්ත විමසීමකින් තොරව ආණ්ඩුව සහ මහ බැංකුව විසිනි. එය බලහත්කාරකමකි. එහි කිසිම විනිවිදභාවයක්ද නැත. ඊ.පී.එෆ්. සාමාජිකයන්ට තෝරා ගැනීම සඳහා අවස්ථාවක් ද නොදෙයි.

සමාන සැලකිල්ලක් ද නොදක්වයි. එය අයුක්ති සහගතය. අසාධාරණය. ජනතාවගේ මානව අයිතීන් උල්ලංඝනය කිරීමකි. රටක ආණ්ඩුවක් සහ ඒ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින මහ බැංකුවක් එසේ නොකළ යුතුය. එසේ කිරීමට ඔවුනට අයිතියක් ද නැත.


සටහන ගුණසිංහ හේරත්

වෙරිටේ රිසර්ච් පර්​යේෂණායතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මැල්