ණය වාරිකය ලැබීම උදම්වීමට කරුණක්ද?


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි කොටස මුදාහැරීමට අවශ්‍ය කාර්ය මණ්ඩල එකඟත්වය ලැබුණු බව පසුගියදා වාර්තා විය. ඒ අනුව මූල්‍ය අරමුදලේ කළමනාකරණ සහ විධායක අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව ඩොලර් මිලියන 330ක් වූ ණය වාරිකය ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත ය.

ජාත්‍යන්තර ණය ආධාර මත අධික ලෙස බලාපොරොත්තු රඳවා ඇති මෙරට ආර්ථිකය මේ වනවිට මුහුණ දී සිටින තත්ත්වය අනුව මේ ප්‍රවෘත්තියට හිමිවන්නේ විශේෂ වටිනාකමකි. පැහැදිලිව එය අසාධ්‍ය රෝගියකුට සේලයින් ලබාදීමක් බඳු ය.

තවදුරටත් ප්‍රතිකාර ලැබෙනතුරු යාන්තම් පණනල ගැටගසා ගැනීමට එසේ ලබාදෙන සේලයින් උපයෝගී වන්නා සේ ම මූල්‍ය අරමුදලෙන් ලැබෙන දෙවැනි වාරිකය ද ආර්ථිකය යන්තමින් ඉදිරියට පවත්වාගෙන යාමට උත්ප්‍රේරකයක් වශයෙන් ක්‍රියාකරනු ඇතැයි අපි සිතමු. ඒ ගැන රට තුළ තිබෙන බලාපොරොත්තුව ද ඉහළ ය.

කොතරම් ඉහළ බලාපොරොත්තු රඳවාගෙන තිබුණත් මේ ලැබෙන්නේ ණය ආධාර මුදලක් බව කිසිවකුත් අමතක කළ යුතු නැත. අප විශේෂයෙන් මේ කරුණු පවසන්නේ රටේ දේශපාලන අධිකාරියටයි. මූල්‍ය අරමුදලෙන් ණය වාරිකයක් නිදහස් කිරීම යනු කිසිසේත් ම උදම් ඇනීමට කාරණයක් නොවේ. එය රටේ දේශපාලනයට සම්බන්ධ කිරීමෙන් ලැබෙන කෙංගෙඩියක් නැත. කළ යුත්තේ එම ණය ආධාර මුදල නිවැරැදිව භාවිත කිරීමට අවශ්‍ය කාරණා ඉටු කිරීම මිස ඒ ගැන පම්පෝරි ගැසීම නොවේ.

මූල්‍ය අරමුදලින් ණයගන්නා තැනට රට තල්ලු‍කර රට බංකොළොත් කිරීමට ඉහළ දායකත්වයක් සැපයූ ඇතැම් මැති ඇමැතින් මේ වාරිකය මුදාහැරීම සඳහා වන එකඟත්වය ලැබීමටත් පෙර සිටම ඒ ගැන මහත් අභිමානයකින් කතා කරනු ද අපට දැකගන්නට ලැබිණි. ඒ අයගෙන් අප ඉල්ලා සිටින්නේ පසුගිය වසර දෙක තුනක කාලය තුළ දී තමන් ක්‍රියාකළ ආකාරය පිළිබඳ පසු විපරමක යෙදෙන ලෙස ය. රටේ ආර්ථිකය බංකොළොත්වීම සහ තම තමන්ගේ කෙරුවාව පිළිබඳ හොඳ තක්සේරුවකින් පසුව අරමුදලේ ණය මුදාහැරීම පිළිබඳව උදම් ඇනීම වඩාත් සුදුසු යැයි අපි සිතමු.

මූල්‍ය අරමුදලින් ලැබෙන ඩොලර් ප්‍රමාණය වැටුප් ගෙවීමට, කෑමට, බීමට වැය කිරීමට යොදා නොගැනීම දේශපාලන අධිකාරියේ වගකීම වෙයි. රට ඉදිරියට ගමන් කරන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ බව යථාර්ථයයි. එසේම මේ විස්තීර්ණ ණය ආධාර මුදල ලබාගැනීම සඳහා ලොකුම කැපකිරීම් සිදුකර ඇත්තේ දේශපාලනඥයන් නොව රටේ පොදු මහජනතාව බව ද අවබෝධ කර ගැනීම අවශ්‍ය ය. කර මුලටම හිරවෙන තෙක් බදු වැඩිකිරීම්වලට මෙන්ම සියයට දෙසීයකින් පමණ විදුලිය ගාස්තු වැඩි කිරීම්වලට ද මුහුණ දුන්නේ මේ පොදු මහජනතාව ය.

ඒ සමඟ තෙල් මිල වැඩිවීම් මෙන්ම ආහාර ඇතුව සියලු‍ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යාම ද සිදුවිය. එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය කිරීම හරහා ඊ.පී.එෆ්. අරමුදලින් කැපකිරීම් කළේ ද මේ රටේ වැඩකරන ජනතාවයි. මූල්‍ය අරමුදලේ ණය ආධාර අපට ලැබෙන්නේ ජනතාව සිදුකරන මේ කැපකිරීම් හේතුවෙන් බව කුමන මොහොතක හෝ අමතක කර දැමිය යුතු නොවේ.

ඒ අතරම කිව යුත්තේ අපේ රටට හැමදාමත් මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් මත පමණක් රැඳී සිටිය නොහැකි බව ය. එම ණය වාරිකය ලැබීමෙන් යම්තාක් දුරකට ආර්ථික පීඩනය ලිහිල් වෙයි නම් ඒ ඉඩකඩ භාවිත කළ යුත්තේ රටට මුදල් උපයාගත හැකි මාර්ග විවෘත කර ගැනීමට ය.

මුදල් උපයා ගැනීම සඳහා සිදුකළ හැකි එකම ක්‍රියාව පාඩු ලබන රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් නොවන බවත් මෙහිදී පෙන්වා දිය යුතු ය. ඒ සඳහා රටට විදේශ විනිමය රැගෙන එන ඍජු ආයෝජන වර්ධනය කර ගැනීම ද නිෂ්පාදන ආර්ථිකය ඉහළ නංවා ගැනීම ද සිදුකළ යුතු ය. ඒ වෙනුවෙන් විශාල වෙහෙස මහන්සියක් දැරීමට ද කැපකිරීම් කිරීමට ද මේ රටේ බලාධිකාරීන්ට සිදුවන බවත් පෙන්වා දිය යුතුය.

රටට ඩොලර් උපයාගැනීම වර්ධනය කර ගැනීමට දේශපාලකයන්ට සිදුකළ හැකි ලොකුම කාර්යභාරය නම් රටේ ඉහවහා ගොස් තිබෙන දූෂණය හා වංචාව මුලිනුපුටා දැමීමට අවශ්‍ය ඉහළම පියවර ගැනීම ය. මේ බව ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදෙන මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසියක් වශයෙන් ද සඳහන් කර ඇති බවත් සියලු‍ දෙනාටම යළි යළිත් මතක් කරදෙනු කැමැත්තෙමු.

(***)