තනතුරක සුදුසුකමට ජන්මයේ පෙළපත බැලිය යුතු ද?


මේ දිනවල බහුලව සමාජ අවධානය දිනාගත් මාතෘකා අතර ද්විත්ව පුරවැසිභාවය ප්‍රකට සංසිද්ධියකි. ගත වූ දශකයක කාලය තුළ දෙවැනි වරටත් ද්විත්ව පුරවැසියන්ට මැතිසබයේ දොර වැසීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන තිබේ. මෙයට පෙර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ද ද්විත්ව පුරවැසියන්ට මැතිසබයට පත්වීමේ වරම අහිමි කෙරිණි. අනතුරුව බලයට පැමිණි පොහොට්ටුව ආණ්ඩුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරමින් ද්විත්ව පුරවැසියන්ට නැවත මැතිසබා වරම පිරිනැමීය. පසුගිය දා සම්මත කරගත් 21 වැනි සංශෝධනය මගින් නැවතත් දැන් එය අහෝසි කර ඇත.

ද්විත්ව පුරවැසියන්ට රාජ්‍ය පාලනයේ තීරණ ගැනීම පිණිස ඇති අයිතිය සම්බන්ධව පසුගිය කාලයේ පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය වී තිබුණි. ද්විත්ව පුරවැසියන්ට සිය මවුබිමට වඩා තමන්ට දෙවනුව පුරවැසිකම පිරිනැමූ වෙනත් රටකට පක්ෂපාතී විය හැකි බවට මත පළ විය. එසේම මෙරට දී කිසියම් වරදක් සිදුකොට ද්විත්ව පුරවැසිකම නීතිමය ආවරණයක් කරගෙන වෙනත් රටක ආරක්ෂාව ලැබිය හැකි බවට ද අදහස් පළ විය.

මේ නිසා රජයේ ඉහළ තනතුරුවලට ද්විත්ව පුරවැසියන් හෝ විදේශික පුරවැසියන් පත්කිරීම ගැන දැඩි සමාජ විරෝධයක් නිර්මාණය වී තිබේ. ඒ අනුව වත්මන් ආණ්ඩුව ද්විත්ව පුරවැසියන්ට මැතිසබයට පිවිසීමේ දොරටු වසා දමමින් 21 වැනි සංශෝධනය සම්මත කර ගත්තේ විශාල බහුතර ඡන්දයකිනි. මෙහි දී පොහොට්ටුව කණ්ඩායමේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් චෝදනා කළේ 21 වැනි සංශෝධනය බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගෙන ගෙන ආ බව කියමිනි. එහෙත් එම පක්ෂයේ බහුතරයක් 21 වැනි සංශෝධනයට පක්ෂව සිය ඡන්ද ප්‍රකාශ කළෝය. කෙසේ වෙතත් 21 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසු එය රටේ නීතියක් බවට පත්වීමත් සමඟ තවත් ද්විත්ව පුරවැසියන් ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දරන බවට මත පළ වී තිබේ.

ද්විත්ව පුරවැසියන්ට මැතිසබය තහනම් කිරීම් සම්බන්ධ විවාදයේ දී ඊට පක්ෂව හා විපක්ෂව මත ගණනාවක් ප්‍රකාශිතය. එහෙත් මෙබඳු කරුණු ගැන ජාත්‍යන්තරයේ තත්ත්වය මෙරට තත්ත්වයට වඩා වෙනස්ය. පසුගියදා මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් රිෂී සුනාක්ගේ පවුලේ නිජබිම ඉන්දියාවයි. ඔහු අදටත් හින්දු භක්තිකයෙකි.

ඔහු විවාහ වී ඇත්තේ ඉන්දියාවෙන් බිහි වූ සුපිරි ධනපති ව්‍යාපාරිකයකුගේ දියණිය සමඟය. එහෙත් ඔහුට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ධුරය ලබා ගැනීමට ඔහුගේ ජන්ම උරුමය බාධාවක් වූයේ නැත. එසේම ලන්ඩනයේ සහ එහි තවත් උප නගර ගණනාවක නගරාධිපති ධුර සඳහා මුස්ලිම් දේශපාලනඥයෝ පත්ව සිටිති. ඊටත් පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට මුස්ලිම් සම්භවයකින් පැවත ආ කළු ජාතික බරක් හුසේන් ඔබාමා පත්විය. ඔහුගේ පත්වීමට ද සිය ජන්ම උරුමය හෝ සමේ වර්ණය බාධාවක් නොවීය. කිසියම් තනතුරකට පත්වන තැනැත්තා සුදුස්සකු නම් පෙරදිග අපරදිග භේද, කළු සුදු භේද හෝ කුල මල භේද අදාළ නොවන බව බටහිර රටවල් සපථ කර ඇත්තේ එලෙසින්ය.

එහෙත් අප රටේ වරක් අග්‍රාමාත්‍ය පදවිය සඳහා කීර්තිමත් දේශපාලනඥයකු හා නීති විශාරදයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ නම යෝජනා වූ විට ඔහුගේ ජන්ම උරුමය හේතුවෙන් ඊට විරැද්ධව මත පළ කළ පිරිස් සිටි බව අපට මතකය. එහෙත් කුල මල, වාද භේද ඉතා තදින් මුල් බැසගෙන තිබෙන ඉන්දියාවේ නිදහසින් පසු මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් ජනාධිපති තනතුරු හෙබ වූහ. එසේම නිදහසින් පසු වැඩි කලක් ඉන්දියාව පාලනය කළ ශ්‍රී නේරු නිර්මාණය කළ කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට ඉතාලි සම්භවයක් ඇති සෝනියා ගාන්ධි මහත්මිය පත්වූවාය. එරට වත්මන් ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය එරට ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවකි. වාද භේද බහුල බටහිර මෙන්ම ඉන්දියාව වැනි පෙරදිග රටවල ද මෙබඳු පුළුල් දේශපාලන දැක්ම සහිත ක්‍රියාමාර්ගවලට සමාජ අනුමැතිය හිමිව තිබේ.

එහෙත් අප රටේ දේශපාලන නායකයන් එබඳු පුළුල් මතවාද වැද්ද ගැනීමට බියක් දක්වති. ද්විත්ව පුරවැසියන් රටට පක්ෂපාතී නොවන බවට තර්ක තිබිය හැක. එහෙත් රටේ උසස් තනතුරු තෝරා ගැනීමේ දී ළිං මැඩි සංකල්පයෙන් මිදී වඩාත් පුළුල් මනසින් ක්‍රියා කිරීම කාලෝචිතය. ඒ සඳහා අපේ දේශපාලන සංස්කෘතියේ හරවත් වෙනසක් සිදුකිරීම වරදක් නොවන බව යට කී ජාත්‍යන්තර උදාහරණවලින් ප්‍රත්‍යක්ෂ වේ. අප බොහෝ අවස්ථාවල රටට නායකයන් තෝරා ගැනීමේ දී පාර වරද්දාගෙන ඇත.

යම් විෂයක් පිළිබඳව ප්‍රාමාණික දැනුම සමඟ අවංකභාවය ඇති සමාජ පිළිගැනීමක් සහිත තැනැත්තන්ට වාද භේද නොතකා ඔවුනට හිමි තැන ලබා දිය යුතුය. රටක් දියුණු වන්නේ එබඳු සැමගේ සාමූහික ප්‍රයත්නයකිනි. දූෂණයට, වංචාවට හා රැවටිල්ලට ඉඩ නොතබා පටු වාද භේදවලින් තොරව රටේ නායකයන් හා පාලකයන් තෝරාගත හැකිවන දිනට අප රටේ අනාගතය ගැන සුබ සිහින දකින්නට අප කාටත් වාසනාව උදාවනු ඇත.

(***)