‘‘පවට හා නීතියට ඇති බිය ඇති නොවූ කල්හි ලොව ඇති දරුණුම සතා මිනිසා’’ බවට කියමනකි. ඒකාන්ත සත්‍යයකි. ආහාර ගැනීම, නිදා ගැනීම, මෛථුන සේවනය, බිය වීම යන සාධක තිරිසනාට හා මිනිසාට පොදු ය. එහිදී මිනිසා තිරිසන් සතාගෙන් වෙන් වන්නේ සිතීමේ හැකියාව ඇති නිසා පමණි.
බෞද්ධ දර්ශනයට අනුව මිනිසා යනු ‘උසස් කළ හැකි මනසක් ඇති සත්වයාය’. ඒ අනුව මිනිසාගේ පරම වගකීම වන්නේ මනස උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යාමය. මිනිස් සිත ස්වභාවයෙන්ම වරදට පාපයට නැඹුරුවීමෙන් තෘප්තියට පත්වන්නකි.
මනස දියුණු කිරීම යනු එමගින් සිත මුදා යහපතෙහි යෙදවීමට සමත්වීමය. එහිලා මානව සමාජයට ඉහළම, ගරු කටයුතු වගකීම ඉටුකිරීමේ දී ගුරුවරයාට අත්වන්නේ ඉහළම ස්ථානයකි. ගුරුවරයා උත්තම පුරුෂයකු ලෙස හැඳින්වෙන්නේ ද එම අර්ථයෙනි.
කරුණු කාරණා එපරිදි වුවද ගුරුවරයා සම්බන්ධයෙන් හදවත් කීරි ගස්සන සුළු සිදුවීම් බහුල වශයෙන් වාර්තාවීමට පටන්ගෙන තිබේ. අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ එක් ප්‍රවෘත්තියක සිරස්තලය වූයේ ‘සිසු දැරියක දූෂණය කරලා පාසල් ගුරුවරයෙක් අත්අඩංගුවට’ යන්නය. අනු සිරස්තලවල සඳහන් වූයේ මෙවැන්නකි. ‘ඔහු දෙදරු පියෙකි. බිරිඳත් ගුරුවරියක්’ යනුවෙනි. ඛේදවාචකයේ බරපතළකම පුවත් සිරස්තලයෙන් හා අනු සිරස්තලයෙන් මනාව පැහැදිලි වේ.
අදාළ ගුරුවරයා හම්බන්තොට ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකි. එම පාසලේම ඉගෙන ගන්නා 12 හැවිරිදි සිසුවියක පාසලට ඒම සඳහා බස් නැවතුමක රැඳී සිටිය දී එහි පැමිණ ඇති ගුරුවරයා සිසුවිය සිය මෝටර් රථයට නංවාගෙන හෝටලයකට රැගෙන ගොස් දූෂණය කළ බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
දියණිය පාසල නිමවී නිවසට පැමිණීම ප්‍රමාද වූ හෙයින් මව පාසලට ගොස් විපරම් කිරීමේ දී අනාවරණය වී තිබෙන්නේ දියණිය එදින පාසලට පැමිණ නැති බවය. දියණිය බස් නැවතුමක දී හමුවූ පසු ගුරුවරයා සමග ගිය ගමන ඇය අනාවරණය කර ඇත. තමන් රැගෙන ගිය හෝටලය නොදන්නා බව පවසා ඇති 12 හැවිරිදි දියණිය හෝටලය තුළ දී තමන් සිප වැළඳ ගත් බව පමණක් පවසා තිබේ. එහෙත් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමේ දී තහවුරු වී තිබෙන්නේ ඇය දූෂණයට ලක්වී ඇති බවය.
අදාළ සිසුවිය ගුරුවරයා සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන යන්නට ඇති බවත් ගුරුවරයා බේරා ගැනීමේ අදහසින් තමන් සිප වැළඳ ගැනීමට පමණක් ලක් වූ බවට සිසුවිය ප්‍රකාශ කරන්නට ඇති බවත් පොලිසිය සැක කරන බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
දෙදරු පියකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට 12 හැවිරිදි දියණියක පෙළඹවීමට බලපෑ හේතු සාධක මෙහිදී අවධානයට යොමු කළ යුතුය. මනෝ විද්‍යාඥයන්ට අනුව මෙවැනි පෙළඹවීම් සඳහා නිවෙසේ ඇති පරිසරය තදින්ම බලපානු ලබයි. දරුවාගේ කායික මානසික වර්ධනයට අවශ්‍ය ආදරය හා රැකවරණය නිවෙසින් නොලැබෙන විට එය පිටස්තර සමාජයෙන් අපේක්ෂා කිරීමට එබඳු දරුවකු යොමුවීම ස්වාභාවිකය.
ඇතැම් දෙමාපියන් සිතන්නේ තම දරුවන්ට කෑම බීම සපයා දීම, අධ්‍යාපනය ලබාදීම, ඇඳුම් පැළඳුම් සැපයීම ආදිය පමණක් තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ලෙසය. එහෙත් එය එසේ නොවන බව ඒකාන්ත වශයෙන්ම ප්‍රත්‍යක්ෂ වූවකි. දරුවාගේ මනස නිරෝගි ලෙස වැඩීමට ආදරය රැකවරණය අත්‍යවශ්‍ය වූවකි. තම වගකීම ඉටු නොකිරීමේ තාර්කික අර්ථය තම දරුවා වචනයට නැගිය නොහැකි තරමේ ඛේදවාචකවලට ලක්වීමය.
දරුවන් පාසලට පැමිණෙන්නේ බොහෝ ප්‍රශ්න, දුක් ගැහැටවලින් මිරිකෙමින්ය. ඇතැම්විට තවකෙකුට පැවසිය නොහැකි තරමේ ගොරබිරම් අත්දැකීම්වලට දරුවන් නිවසේ දී ගොදුරු වේ. එම දරුවන්ගේ ජීවන ගැටලු නිවැරැදිව වටහා ගනිමින් ජීවිත විනාශ කරගන්නට ඉඩ නොදී ජීවිතය ජය ගැනීමට අවශ්‍ය මාර්ගය පෙන්වාදීම ගුරුවරයාගේ වගකීමය. එසේ නොමැතිව දරුවාගේ අසරණකම ප්‍රයෝජනයට ගනිමින් තම පාපී අරමුණු ඉටුකර ගැනීමට ගුරුවරයකු කටයුතු කරන්නේ නම් එබඳු ගුරුවරුන් මිනිස් කසළ මෙන් පිටුදැකිය යුතුය.
මුළු මහත් සමාජයම ආර්ථික අර්බුදයක පැටලී බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින වකවානුවක සංස්කෘතික සාරධර්ම නායයෑමකට ලක්වීම ස්වාභාවිකය. එය මුළු මහත් සමාජයේ සෑම සියලු ක්ෂේත්‍රයකින්ම විද්‍යමාන වන තත්ත්වයකි. පාසල් පද්ධතිය පිහිටා තිබෙන්නේ ද මෙම මහා සමාජය තුළ බැවින් එම පාසල් පද්ධතියට පමණක් එමගින් ගැලවීමක් නැත. එහෙත් එය එසේවීමට ඉඩ දිය යුතු ද යන්න මෙරට පාසල් පද්ධතියේ සිටින සෑම ගුරුවරයකුගේම ගුරුවරියකගේම හෘදසාක්ෂියෙන් විමසිය යුතුය.
(***)