පදක්කම් නියඟයට හසුව කේඩෑරි වී පුරන් වී තිබූ මලල කෙළිබිමට මල් වැස්සක්ව පතිතව ලක්මව රන් මලින් සැරසූ තරුෂි දිල්සරා කරුණාරත්න දිරිය දියණියට හදවතේ ගැඹුරුම තැනින් නිපැදෙන සුබාශිංසන රැගෙන එන ශ්‍රී ලාංකික ජනී ජනයා සමග අත්වැල් බැඳගනිමින් ලංකාදීපය ද ඇයට මෙසේ උණුසුම් සුබ පැතුම් එක්කරමු.
චීනයේ හංජෝ නුවර පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 800 කාන්තා ඉසව්ව විනාඩි 2 තත්පර 03.20 කදී ජයග්‍රහණය කරමින් රන් පදක්කම දිනා ගැනීමට තරුෂි සමත් වූවාය. ඒ ආසියානු මලල කෙළිබිමේ අණසක පතුරුවාගෙන සිටින ඉන්දියාව, චීනය ඇතුළු රටවල් හතක ක්‍රීඩිකාවන් අන්ත අසරණ කරමින් පරාජයට පත් කරමිනි. 19 හැවිරිදි සුහුඹුල් යෞවනිය තමන් මෙතරම් අවමන් සහගත පරාජයකට ඇද දමනු ඇතැයි සෙසු තරගකාරියන් නොසිතන්නට ඇත.
එහෙත් තරුෂි බිහි වූයේ මහනුවර නගරයෙන් එපිට සුන්දර කඳුවළල්ලකින් වට වූ මැණික්හින්න නගරයේ වළල මධ්‍ය මහා විද්‍යාලයෙනි. වළල මධ්‍ය මහා විද්‍යාලය යනු මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්රයට තරු පොකුරු බිහිකළ පාසලකි. එහෙයින් ආසියානු ක්‍රීඩා උළෙලක දී වසර 21 කට පසුව රන් පදක්කමක් දිනා ගනිමින් ආසියාවේ අවධානය දිනාගත් යෞවනිය බවට පත්වීමට තරුෂිට හැකිවීම එක් අතකින් විමතියට කාරණාවක් ද නොවේ.
මලල ක්‍රීඩා උළෙලක මීට පෙර රන් පදක්කමක් දිනා ඇත්තේ පසුකාලයේ දී ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත් සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශා පමණී. ඒ වර්ණවත් යුගයෙන් පසුව මෙරට මලල ක්‍රීඩාව පදක්කම් ඉඩෝරයකට ගොදුරු විය. එහෙයින් පදක්කමක් දිනා ගැනීමට තව කල්ප කාලයක් බලාගෙන සිටීමට සිදුවේදැයි යන ප්‍රශ්නයට පදනමක් ද තිබිණි. මෙම පරිසරය තුළ මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගි වන අපේ කණ්ඩායම මෙරටින් පිටව යන විට රළ ගසන බලාපොරොත්තු ද නොවීය.
එහෙත් තරුෂි එම ඉරණම වෙනස් කළාය. එය අහම්බයක් නොව දක්ෂතාව නිසාම දිනාගත් රන් පදක්කමකි. ඇය තරග වැදුණු ආකාරය ඒ තුළ වූ විද්‍යාත්මක ස්වරූපය අනුව ඒ බව පැහැදිලිය. එහෙයින්ම ඇයගේ ජයග්‍රහණයට සුබපතන අතරම ඇයගේ පුහුණුකරු වන වළල මැදි මහ විදුහලේ ප්‍රධාන මලල ක්‍රීඩා උපදේශක සුසන්ත ප්‍රනාන්දු මහතාට ද අපි අතට අත දී සුබපැතුම් එක්කරන්නෙමු.
රන් පදක්කම දිනාගත් මීටර 800 තරග ඉසව්ව නිමා වී පැයකටත් අඩු කාලයක දී පැවැති මීටර් 400 කාන්තා සහාය දිවීමේ තරගයට ද තරුෂි එක්වූවාය. එහිදී සයුරි මෙන්ඩිස්. ජයේෂි උත්තරා, නදීෂා රාමනායක සමග එම ඉසව්වේ ලෝකඩ පදක්කම මෙරටට දිනා දීමට තරුෂි සමත් වූවාය.
ක්‍රීඩා පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගණයට ඇතුල් වීමට අය කරන ලද මුදල ගෙවාගත නොහැකිව පුහුණුවීම් අත්හැර තරුෂිට ගෙදර යාමට සිදු වූ අවස්ථා ඉකුත් සමයේ පුවත්පත්වල පළවිය. ඇයට ක්‍රීඩාංගණයට ඇතුල් වීමට ඉඩ දීමට තරම් කාරුණික වූ මිනිස්සු එහි නොසිටියහ.
එකී සියලු නොසලකා හැරීම් දරා ගනිමින් යෝධබල යෝධ වීර්ය පිරුණු දෙපයින් දුවමින් රන් පදක්කමක් දිනා ගැනීමට තරුෂි සමත්වීම විශේෂිතය. අප රටට ජයග්‍රහණ ගෙනෙන බොහෝ දුවා දරුවන් එම ජයග්‍රහණ රැගෙන එන්නේ දහසක් බාධක, දුෂ්කර කොන්දේසි මැදය. තරුෂි ද එසේමය. මේ මැණික මැනවින් ඔප දමා හැඩ වැඩ දමා ගන්නේ නම් අපට නැවතත් ඔලිම්පික් පදක්කමක් පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගත හැකිය.
ස්තූතියි! තරුෂි අපේ රටට අලුත් බලාපොරොත්තුවක් රැගෙන ආවාට. අප එසේ ලියන්නේ මෙම වසරේ දී අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගාවලි තුනක දී රන් පදක්කමක් ඇතුළුව මුළු පදක්කම් 8 ක් දිනා ගැනීමට තරුෂි සමත්වීම නිසාය.
(***)