ත්‍රිපිටක සංරක්ෂණ පනතේ ඇත්ත නැත්ත


පසුගිය කාලයේ සංඝ අධිකරණයක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් විවිධ මත පළවී තිබේ. සංරක්ෂණය කළ යුත්තේ ත්‍රිපිටකය ද? ශාසනයද? යන ලිපි මගින්  පුවත්පත් හා විවිධ අවස්ථාවල දී පළ කොට තිබූ අදහස් මගින් ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබඳ අදහස් සමාජගත කිරීමට වෑයම් කරන බව දක්නට ලැබේ.

මෙම ලිපි මගින් ඒවායෙහි සඳහන්ව තිබූ සාවද්‍ය කරුණු කිහිපයක් පිළිබඳව විමර්ශනයක් කරමින් ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබඳ හැඳින්වීමක් කිරීමට අපේක්ෂා කෙරේ.

යථෝක්ත ලිපිවල ත්‍රිපිටක සංරක්ෂණ පනත මගින් පත්කෙරෙන මණ්ඩලයට සර්වබලධාරී දෙවියන් වහන්සේ සතු බලය දරන අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කෙරෙන බව සඳහන් කොට තිබුණි. මෙය සම්පූර්ණයෙන් මහජනතාව මුළා කිරීමට සිදු කොට ඇති ප්‍රකාශයක් බව පනත කියවූ කවරෙකුට වුවද වටහාගත හැකිය. මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පිළිබඳව සඳහන් වන 20 වැනි වගන්තියෙහි 2ඡේදයෙහි අධ්‍යක්ෂ ජනරාල්වරයා මණ්ඩලයේ විධිවිධාන හා අධීක්ෂණයට යටත් ව ක්‍රියා කළ යුතු බව සුපැහැදිලිව දක්වා තිබේ. ඒ අනුව අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළ යුතුව ඇත්තේ අති පූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගෙන් යුක්ත උසස් උපදේශක කමිටුවකින් හා ධර්මවිනයධර ව්‍යක්ත විශාරද වගකිවයුතු භික්ෂූන් වහන්සේලාගෙන් යුක්ත ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ විධිවිධානයන්ට හා අධීක්ෂණයට යටත්වය. එසේම එම වගන්තියෙහි 3වැනි ඡේදය යටතේ මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන විධානයන්ට අනුකූල නොවුණහොත් ඔහු ධුරයෙන් පහ කිරීමට ද මණ්ඩලයට බලය ඇත. යටත් පිරිසෙන් මණ්ඩලයේ ඡන්ද බලයවත් ඔහුට නැත. මෙම පනතින් බුද්ධාගම සම්බන්ධව සර්වබලධාරී දෙවියන් වහන්සේ සතු බලය දරන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් වන්නේ යැයි සමහරු කියන්නේ මෙවැනි නිලයකට ය. මේ අනුව මුල දී ම පැවසිය යුත්තේ එක්කෝ ඔහු පනත හරියට කියවා නැත. නොඑසේ නම් ඔවුන් සුපුරුදු  ක්‍රමයට අනුව බොරු බේගල් ඇදබාමින් මහජනතාව මුළා කරන බව ය. 

මීට එරෙහි විවේචන තුළ අදාළ නොවන කරුණු ද රාශියක් දක්වමින් ජනතාව තුළ  ත්‍රිපිටක පනත සම්බන්ධයෙන්  වැරදි මතයක් නිර්මාණය කිරීමට උත්සහ දරන බව පෙනේ.  ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් වූයේ රටේ තිබෙන කුමන නීතියක් යටතේදැයි පනතේ සඳහන් නොවන බව එහි පවසා ඇත. පෙනෙන විධිහට නම් ත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශ කිරීම ගැන ද විවේචකයෝ යම් කිසි අවුලකින් පසු වෙති. මෙකල පමණක් නොව එකල ද තුනුරුවන්ට ලැබෙන ගරුබුහුමන් නුරුස්සන ඇතැම් අමනුෂ්‍ය කොට්ඨාස පවා සිටි බව පැරණි බණ පොත්වල දක්නට හැකි ය. එබැවින් ත්‍රිපිටකයට ජාතියේ ගෞරවය පුදකිරීම හා රැකවරණය සැපයීම නොඉවසන්නන් සිටීම පිළිබඳ පුදුම විය යුතු නැත. 

ඇත්ත වශයෙන්ම මෙම පනත සකස් කොට ඇත්තේ ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම සඳහා නොවේ. එවැන්නක් පිළිබඳව සඳහනක් වත් පනතෙහි අඩංගු වී නොමැත. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වැනි හානි දායක ක්‍රියා වැළැක්වීමට හැකි වන්නේ ද මෙම පනත සම්මත කිරීම මගින් ය. ඇතැමුන් විසින් ත්‍රිපිටකය පිළිබඳ අත්තනෝමතික කටයුතු කිරීම සඳහා පෙළඹෙනුයේ ද මෙවැනි පනතක් මගින් නෛතික ආරක්ෂාව සපයා නොමැති බැවින් ය. එසේ තිබිය දී ලෝක උරුම කතාවක් පටලවා තිබීම ජන මනස අවුල් කර විකාර අදහස් ඇතුළත් කිරීමට දරන ලද  වෑයමක් බව පෙනේ. අනෙක් අතට මෙම පනත සකස් කොට ඇත්තේ ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට පාදක වූ නීතිය කුමක් දැයි ටීකාවක් සැපයීමට ‍නොව එහි සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා බව කාහට වුවත් තේරුම්ගත හැකි ය.

බුදුදහමේ ඇති ආගමික නිදහස පිළිබඳව ද ඇතැමුන්ගේ ප්‍රකාශ තුළ තරමක් දීර්ඝව සඳහන් කරනු පෙනේ. සාරාංශයක් වශයෙන් ගත් කල බුදුදහම විකෘති කිරීම හෝ වෙනස් කිරීම වැළක්වීම සඳහා වත් නීතියක් පැනවීම අවශ්‍ය නොවන බව එයින් හඟවා ඇතැයි කිව හැකි ය. බුදුදහමෙහි සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අතීතයේ ශාසන භාරධාරී මහරහතන් වහන්සේලා පවා රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබාගත් බව ශාසන ඉතිහාසය යාන්තමක් හෝ කියවූ අය නම් දනිති. කෙසේ වුවද ඉතිහාසයෙහි රාජ්‍ය අනුග්‍රහය තුළින් බුදුසසුනේ ආරක්ෂාව සලසා ඇති අවස්ථා එකක් දෙකක් සඳහන් කොට ඒවා වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී රටකින් බලාපොරාත්තු තබා ගත නොහැකි බව පවසමින් රාජ්‍ය අනුග්‍රහයක අවශ්‍යතාව ගැන කිසිවක් නොකියා නිහඬ වනු පෙනේ. මෙවැනි පනතක් නිර්මාණය වන්නේ ම ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ අතීත රාජ්‍ය පාලන සමයේ මෙන් රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබා ගැනීමට නොහැකි බැවින්ය.  

මෙහි දී අප විසින් පාඨකයාගේ අවධානය යොමු කරනු ලබන්නේ ඉතිහාසයෙහි රාජ්‍ය අනුග්‍රහය නොලැබී ගිය කාලයන්හි බුදුසසුන අභාවයට ගොස් ඇති ආකාරය හා රාජ්‍ය අනුග්‍රහය නොමඳව ලැබී ඇති යුගවල බුදුසසුන මනා කොට පැවැති ආකාරය දෙසට ය. අතීත රජදරුවන් කළ පරිදි කටයුතු කිරීමට වර්තමාන පාලන තන්ත්‍රයට නොහැකි බැවින් මෙකල රාජ්‍ය අනුග්‍රහය හා රාජ්‍ය  ආරක්ෂාව ලැබීම සඳහා සුදුසු ම ක්‍රමය වන්නේ අදාළ අනපනත් සම්මත කරගැනීම බව කිව යුතු ය. 

පාලි පද ත්‍රිපිටකයේ විවිධ තැන්වල යෙදී ඇති ආකාරය ඉතා වැදගත් වන බව පෙනේ. පාලි පොත්වල දිරත්ත, තිරත්ත, රත්තඤ්ඤූ, රත්තන්ධකාර වැනි යෙදුම්වල මෙම ‘රත්ත’ යන පදය දක්නට හැකි ය. නිදසුනක් වශයෙන් පාචිත්තිය පාලියෙහි කණ්ටක ශික්ෂාපදයෙහි ‘දිරත්ත තිරත්තං’ යන පදයෙහි අර්ථ වන්නේ ‘දෙතුන් රැයක්’ යන්නයි. බුදුරජාණන් වහන්සේ විසින් යම් අන්තරායකර ධර්ම කෙනෙක් දේශනා කොට ඇත් නම් ඒ ධර්මයන් සේවනය කරන පුද්ගලයාට එයින් අන්තරායක් නොවන්නේ යැයි යම් සාමණේර පැවිද්දෙක් පවසා නම් ඔහු නෙරපා දැමිය හැකි ය. එහි දී වෙනත් සාමණේරයන් රාත්‍රී  දෙකතුනක් භික්ෂු ආවාසයක සිටිය ද ඔහුට එසේ සිටිය නොහැකි බව ප්‍රකාශ කොට නෙරපා හරිනු ලැබේ. ඉහත සඳහන් කළ ‘දිරත්ත තිරත්ත’ යන යෙදුම හමුවන්නේ මෙහි දී ය.  

මෙම පනත මගින් ධර්ම දේශනාවක දී සිදු වන වරදක් නිසා වුවත් එම දේශකයන් වහන්සේලාට හා මාධ්‍ය ආයතනවලට දඬුවම් විඳීමට සිදු වන බවත් සමහරු කියති.  එසේම ධර්ම දේශකයන් වහන්සේලාට තායිලන්තය, බුරුමය වැනි රටවලත් අප රටේත් පවතින සියලු‍ ත්‍රිපිටකත් අට්ඨකථාත් සන්සන්දනාත්මකව අධ්‍යයනය නොකොට බණ කීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව ද එබැවින් ධර්ම දේශනා කිරීමට ඉදිරියේ දී භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් නොවිය හැකි බව ද ඔවුන් හඟවනු පෙනේ.

නීතිය පිළිබඳ අල්පමාත්‍ර හෝ දැනුමැති අයෙක් යථෝක්ත පනත කියවූයේ නම් මෙබඳු අඥාන කථාවක් කිසි දිනක නොකියති. පනත තුළ ත්‍රිපිටකය, අට්ඨකථා හා ටීකා යනු කුමක් දැයි නිශ්චිතව දැක්වීමට අවශ්‍ය  වන බැවින් ථෙරවාද ත්‍රිපිටකය යන්නට අර්ථකථනය සැපයෙන තැන ඇති කොටසක් උපුටා දක්වමින් එබඳු අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම අනුව පැහැදිලි වන්නේ බුදුදහම විනාශ කිරීමේ ක්‍රියාදාමයට ඔවුන්ගේ ඇති අභිරුචිය යි. එසේ නොමැතිව ධර්ම දේශනා කිරීමට මේ සියල්ල කියවිය යුතු බවක් එයින් කිසි ලෙසකින් වත් නොහැඟ වේ. අනෙක් අතට බණ පද වැරැද්දීමෙන් හිමිවරුන් අත්අඩංගුවට පත් කළ හැකි යැයි ද බොරු බිල්ලෙක් මවා පාන අයුරු පෙනේ. මෙහි දී පනතේ ක්‍රියා පිළිවෙත පිළිබඳ කෙටි හැඳින්වීමක් කිරීම පාඨකයාට වඩා වැදගත් වන බව පෙනේ.


මෙම පනතට අනුව අතිපූජනීය මහානායක මාහිපාණන් වහන්සේලාගෙන් යුක්ත උසස් උපදේශක සභාවක්, ධර්මවිනයධර භික්ෂූන් වහන්සේලාගෙන් යුක්ත ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් හා විමර්ශන ඒකකයක් පවතී. ධර්මය විකෘති කිරීමක් හෝ විනාශ කිරීමක් ආදී පනතේ දක්වා ඇති වැරදි දෙයක් පිළිබඳ පැමිණිල්ලක් කළ හැක්කේ එකී විමර්ශන අංශයටය. එහි දී අදාළ පාර්ශ්වය විසින් නොදැනීමෙන් හෝ චේතනාත්මකව කරන ලද්දක් ද, සංවිධානගත පිරිසක් විසින් කරන ලද්දක් ද ආදී කරුණු පිළිබඳ විමර්ශනය කොට අදාළ වාර්තාව මණ්ඩලයට යොමු කෙරේ. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ හිමිවරුන් එකී වාර්තාවට අනුව අදාළ කරුණු ත්‍රිපිටක, අට්ඨකථා ආදිය හා පාලි ව්‍යාකරණ සම්ප්‍රදායට අනුව සන්සන්දනය කරනු ලබයි. මෙම කටයුතු කළ හැකි වන්නේ ද ථේරවාද අර්ථකථන සම්ප්‍රදායට අනුව මිස අත්තනෝමතිකව නොවේ.

එහි දී යම් ධර්ම විකෘති ආදියක් සිදු වී ඇත්නම් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම, අවශ්‍ය  උපදෙස් හා අනුශාසනා ලබා දීම ආදිය සිදු කෙරේ. අදාළ පාර්ශ්වය විසින් අවවාද අනුශාසනා නොතකමින් දිගින් දිගට ම ධර්මවිනය විකෘති කිරීම් සිදු කරන්නේ නම් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය විසින් ධර්ම විකෘති කිරීම් සිදු වී ඇති ආකාරය පිළිබඳ නිර්දේශයක් සපයයි. එකී නිර්දේශය සැපයීමෙන් පසු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නීතිපති මගින් නඩු පවරනු ලැබේ. මෙවැනි නඩුවක දී විනිසුරුවන් හට තීන්දු ගැනීම සඳහා ත්‍රිපිටකය ගැන සියල්ල හැදෑරිය නොහැකි බැවින් ධර්මවිනය පිළිබඳ විශේෂඥයන් සිටින මණ්ඩලයේ නිර්දේශය අවසානාත්මක බව පනතෙහි සඳහන් කොට ඇත. වරදට අනුව දඬුවම් පැමිණවීම අධිකරණයෙන් සිදු කෙරේ. මේ අනුව ඉහත දැක් වූ ආකාරයට සියලු‍ ත්‍රිපිටක හා අටුවා අධ්‍යයනය කොට බණ කිවයුතු බවක් හෝ බණක, පිරිතක දී දහම් පද වැරදීමෙන් සිරගත කෙරන බවක් හෝ පැවසීම කෙතරම් සාවද්‍ය ප්‍රකාශනයක් ද?


විටෙක මහානාහිමිපාණන් වහන්සේලාගේ බලය ඉක්මවා යන අධිකාරියක් හදන බව පවසමින් ද තවත් වරෙක බමුණු පැළැන්තියක කතාවක් ගොතමින් ද අන්‍යෝන්‍ය විසංවාදී අදහස් පළ කරමින් සංඝයා අතර ‍මත භේදයනට මග පෑදීමට සමහරු උත්සාහ කරති. ආගමික නිදහස, භාෂණයේ නිදහස, බමුණු පැළැන්තිය හා බණපද වැරදීමෙන් හිමිවරු සිරගත කිරීම වැනි ප්‍රලාප ඔස්සේ පනත පිළිබඳ අසුබවාදී අදහස් සමාජගත කිරීමට කෙතරම් උත්සාහ කළ ද රටේ මහජනතාව රැවටිය නොහැකි බව තේරුම් ගත යුතු ය. 

මෙම පනත පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිමින් ජනතාව තුළ භීතියක් නිර්මාණය කිරීමට සැරසෙන්නේ මෙමගින් සිදුවන සුවිශාල ශාසනික උන්නතිය අවුරාලීමට බව පෙනේ. යථෝක්ත පනත මගින් කටයුතු සම්පාදනය වන්නේ වැරදිවලට දඬුවම් කිරීමට පමණක් නොවේ. අප රටෙහි පමණක් නොව සමස්ත ලෝකය පුරා ම සම්බුද්ධ ශාසනය පතුරුවා හැරීම සඳහා ඉතා පුළුල් වැඩ පිළිවෙළ සැකසීම මෙමගින් සිදු කිරීමට අපේක්ෂිත ය.

නූතන තාක්ෂණය මගින් ධර්ම අධ්‍යයනය සඳහා විවිධ වැඩ පිළිවෙළ සකස් කිරීම, සරල බසින් ත්‍රිපිටකය අධ්‍යයනය කිරීම සඳහා ක්‍රමවේද පිළියෙළ කිරීම, බෞද්ධ අධ්‍යයන පර් යේෂකයන් සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ හා අවස්ථා නිර්මාණය කිරීම, දැයේ දරුවන්ගේ දහම් දැනුම දියුණු කිරීම සඳහා නවමන් තැනීම ආදිය එම පුළුල් වැඩ පිළිවෙළේ අංග කිහිපයක් පමණි.

සම්බුද්ධ ශාසනයේ උන්නතිය හා ආරක්ෂාව සැලසෙන මෙවැනි උතුම් කටයුතු දෙස බලා සතුටු වීමට නොහැකි උදවිය අතීතයේත් සිටියහ. එබැවින් අනුන්ගේ මුදලට හා කූට අරමුණු ඉටු කරගැනීම සඳහා මෙම පනත පිළිබඳ ඇතැමුන් විසින් සිදු කරන ව්‍යාජ ප්‍රචාරණයන්ට හසු නොවන ලෙසත් දැයේ දූදරුවන් සඳහා බුදුසසුන සුරැකිව තැබීමට සියල්ල අත්වැල් බැඳගත යුතු බවත් ඒ සඳහා පෙළගැසීමට මේ සුදුසුම කාලය බවත් සිහිපත් කරමු.


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය 
මැදගොඩ අභයතිස්ස හිමි