දවස් පහක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට කෝටි 06ක වටිනාකමක් හිමිවීමේ ප්‍රවෘත්තියක් පසුගියදා පාර්ලිමේන්තුවෙන් අසන්නට ලැබිණි. දවස් කිහිපයකට පත්වූ හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු තමන්ට රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය විකුණා ගැනීමෙන් මේ මුදල උපයාගෙන ඇතැයිද එහිදී සඳහන් විය. මේ සිද්ධිය අපගේ රටේ පවතින ක්‍රමයේ වැරැද්දක් පෙන්වා දෙන කදිම උදාහරණයක් වශයෙන් අපි දකිමු.
අපේ රටේ පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් හෝ පත්වීමට ලැබීම මහා ධනවතකු වීමට පාර කපාදෙන මාර්ගයක් බවට දෝෂාරෝපණ එල්ල වූයේ කාලයක සිටමය. සෑම මන්ත්‍රීවරයකුටම තීරුබදු රහිත වාහන බලපත්‍රයකට හිමිකම් කීමට හැකිවීමත් සමඟ මේ දෝෂාරෝපණය වඩාත් උග්‍ර විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ හැන්දෙන් තමන්ටම බෙදාගැනීමට ඉඩ සැලසීමක් වශයෙන් මෙය හැඳින්විණි. එහෙත් මේ ක්‍රමයට තිත තැබීමට කිසිදු ආණ්ඩුවක් ක්‍රියා කළේ නැත. ආණ්ඩුවක් තබා විපක්ෂයක් හෝ කිසි කලෙකත් තීරුබදු රහිත වාහන බලපත් තමන්ට එපා යැයි කියා නැත. ජවිපෙ මන්ත්‍රීවරුන් පමණක් එම බලපත්‍රය උපයෝගී කරගෙන ඩබල් කැබ් වාහන පමණක් ගෙන්වාගත් අතර ඔවුන්ගෙන් කිසිවකුත් තමන්ට හිමි වූ වාහන බලපත්‍රය විකුණාගෙන කෑ බවට චෝදනා ලබා නැති බවද මෙහිදී සඳහන් කළ යුතුය.
මන්ත්‍රීවරුන් තමන්ට හිමි වාහන බලපත්‍රයක් විකුණාගත් පළමු අවස්ථාව මෙය නොවන බව මේ චෝදනාව එල්ල කළ අමාත්‍යවරයාද නොදැන සිටීමට හේතුවක් නැත. තමන්ගේ පක්ෂයේ කෙනකු මේ වැරැද්දම කළ විට එය නොදැක්කා සේ සිටීමත් තමන්ගේ ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයකු හෝ තමන්ට දිරවා ගත නොහැකි මන්ත්‍රීවරයකු හෝ මේ වැරැද්දම කළ විට එය පෙන්වීමත් කොළේ වසා ගැහිල්ලක් බව කිව යුතුය. කවුරු කළත් වැරැද්ද වැරැද්දමය. කළ යුත්තේ එම වැරැද්ද නිවැරැදි කිරීමට සාමූහිකව ක්‍රියා කිරීම මිස එයින් දේශපාලන වාසියක් ගැනීමට කටයුතු කිරීම නොවන බවද පෙන්වා දිය යුතුය.
වාහන බලපත්‍රයක් තීරුබදු රහිතව ලබා ගැනීමේ වරප්‍රසාදය හිමිව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ. පළාත් සභා මන්ත්‍රීවරුන්ටද මේ වරප්‍රසාදය හිමි විය. මන්ත්‍රී ධුරයක් ලැබීම මුදල් හම්බ කිරීමේ මාර්ගයක් කරගත හැකි බවට උගන්වන පළමු පාඩම එය බව බැලූ බැල්මට පෙනෙයි. බොහොමයක් මන්ත්‍රීවරුන් කරන්නේ තමන්ට ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍රය කෝටි ගණනකට විකුණා ගනිමින් එම පළමු පාඩමට අත්පොත් තැබීමය. හම්බ කිරීම එතැනින් නොනවතින බව ඉතිහාසය අපට කියා දී තිබේ.
දවසකට මන්ත්‍රී ධුරයක් ලැබුවත් වාහන බලපත්‍රයක් හිමිකර ගත හැකි මේ දූෂිත ක්‍රමයට දැන්වත් තිත තැබීම අවශ්‍යය. මෙහි වැරැද්ද ඇත්තේ එය සිදුකරන පුද්ගලයා අතේ නොව මේ ක්‍රමය තුළ බව පෙන්වා දිය යුතුය. රටේ භාණ්ඩාගාරය හිස්කරන මේ නාස්තිකාර ක්‍රියා නැවැත්විය හැක්කේ එවැනි දූෂණ ක්‍රියාවලට පාර කපන ක්‍රම මුලිනුපුටා දැමීමෙන් පමණි.
තීරු බදු රහිත වාහන බලපත් හේතුවෙන් රටට වාර්ෂිකව රුපියල් කෝටි සිය ගණනක් අහිමි වෙයි. රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටද මේ වරප්‍රසාදය හිමි වුවද එය ඔවුන්ගෙන් රටට සිදුවන සේවය ඇගයීමට ලක්කිරීමකි. පෞද්ගලික අංශයේ ඉහළ නිලධාරීන්ට මෙන් නොව රජයේ සේවයේ ඉහළම නිලධාරීන්ට වුවද සංසන්දනාත්මකව ලැබෙන්නේ අඩු වැටුපකි. එසේම බෝනස් වැනි වෙනත් ආර්ථික වාසිද ලැබෙන්නේ නැත. මේ නිසා ඔවුන්ට බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම වැරැද්දක් යැයි කිව නොහැක.
එහෙත් මන්ත්‍රීවරුන් එසේ නොවේ. ඔවුන් තේරී පත්වන හැම අවස්ථාවකදීම සල්ලි හම්බ කරගත හැකි ධන උල්පත් පෑදෙයි. දූෂණයට සහ වංචාවට අතහිත දෙන සමානුපාතික ඡන්ද ක්‍රමයේ හඳුන්වාදීමත් සමඟ මේ මන්ත්‍රී ධුරයෙන් හරි හම්බ කරගැනීමේ ක්‍රමයද ආරම්භ වූ බවත් සඳහන් කළ යුතුය. මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවන තත්ත්වයක් තුළ ඒ වටා බොහෝ ජාවාරම්කරුවන් දූෂිතයන් එක්රොක් වීම වැළැක්විය නොහැක. එහි ඊළඟ පියවර තම තනතුරේ බලතල භාවිත කර හැකි තරම් ධනය උපයා ගැනීමට කටයුතු කිරීමය.
හැකි තරම් මුදල් හම්බ කර ගැනීමට තමන්ට උදව් උපකාර කළ හෙංචයියන්ටද ඉඩ ලබාදීමය. මේ බඩගෝස්තරවාදී මජර ක්‍රමය තුළ වාහන බලපත්‍රය විකුණා ගැනීම එක් ජරාව කෑමක් පමණි. එසේම තමන්ගේ බදු රහිත වාහන බලපත්‍රය විකුණා කෝටි ගණනින් මුදල් හම්බ නොකළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ඇත්තේ ස්වල්ප දෙනකු පමණක් බව අපගේ පිළිගැනීමය.
තීරු බදු රහිත වාහන බලපත් මන්ත්‍රීවරුන්ට ලබාදීම වැළකී ගියේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙනි. එසේ නොවන්න ආණ්ඩුවේත් විපක්ෂයේත් බොහොමයක් මන්ත්‍රීවරුන් මේ වනවිටත් කෝටිපතියන් වී හමාරය. දැන් කළ යුත්තේ මේ වැරැද්ද කළ එක් මන්ත්‍රීවරයකු උළුප්පා පෙන්වීම නොව බදු රහිත වාහන බලපත් ලබාදෙන ක්‍රමයම නවත්වා දැමීමට ක්‍රියා කිරීමය. මහජන සේවය සඳහා අවශ්‍ය හොඳ වාහන රජයේ සංචිතයකින් ලබාදීමට පියවර ගැනීමෙන් මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාවද ඉටුකරගත හැකි බවත් පෙන්වා දෙමු.