තෙවසකින් ඔබ්බට පියවරක්


කලකට පසු බක්මහ වසන්තය සමරා පවුල තුළ, ගම තුළ, රට තුළ නෑ හිත මිතුරුකම් අලු‍ත් කර ගැනීමට මෙන්ම ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ද සතුටු වීමට ද මෙවර අලු‍ත් අවුරුද්ද නිසා ඉඩක් ලැබුණේ යැයි සිතමි. පසුගිය සතියේ කාලීන සංවාද පිටුවෙන් ශ්‍රී ලාංකිකයන්ට පිට පිටම වසර තුනක් සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්ද සැමරීමට ඉඩක් නොලැබුණු ආකාරයත් මේ වසරේ දී අලු‍ත් අවුරුද්ද සැමරීමට හැකියාව ලැබී ඇති ආකාරයත් පිළිබඳව සඳහන් කළෙමි.

මෙවර සැබවින්ම, ශ්‍රී ලාංකික ජනතාවගෙන් බහුතරයකට සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්ද සැමරීමට අවස්ථාව උදා වූයේ යැයි සිතමි. සැලකිය යුතු කාල පරිච්ජේදයක් තුළ කොරෝනා, අරගලය සහ ආර්ථික අර්බුදය වැනි විවිධ හේතූ මත සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්ද පමණක් නොව වෙනත් ජාතික හා ආගමික උත්සව ද පැවැත්වීමට නොහැකි වූ අතර, ඒ නිසාම කිසිදු බලාපොරොත්තුවක් ඉටු කර ගත නොහැකි අනාගතය පිළිබඳ දැඩි අවිනිශ්චිත තත්ත්වයකට රට  වැටී තිබුණි.

වසර තුනකට පසු අලු‍ත් අවුරුද්ද

අලු‍ත් අවුරුද්ද සැමරීම ද සමහර අය දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ආකාරය ඇතැම් සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමට ලැබුණි. අලු‍ත් අවුරුද්ද හොඳින් සැමරිය හැකි බව ප්‍රකාශ කිරීම පවා ආණ්ඩු විරෝධී කණ්ඩායම දුටුවේ තනිකරම ආණ්ඩුවට පක්ෂපාතීත්වය දැක්වීමේ උත්සාහයක් ලෙසය.

ශ්‍රී ලංකාවේ සිංහලයෝ සහ ද්‍රවිඩයෝ සියවස් ගණනාවක් සිංහල සහ දෙමළ අලු‍ත් අවුරුද්ද සැමරූහ. පෘතුගීසි හා ලන්දේසි කාලවලදී ද ඉංග්‍රිසීන් යටතේ ද ඔවුන්ගෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව ද ශ්‍රී ලාංකිකයෝ අවුරුදු උත්සවය සැමරූහ. එහෙත් එදා මෙදා තුර කිසිවෙක් අවුරුදු උත්සවයට දේශපාලන ස්වරූපයක් ලබා දීමට හෝ අවුරුදු සැමරීම දේශපාලනයට සම්බන්ධ කිරීමට හෝ උත්සාහ කළ බවක් නොපෙනේ.

සිංහල සහ ද්‍රවිඩ ජනතාව ඒ ඒ වසරවල තමන්ගේ හැකියාව අනුව චාරිත්‍රනුකූලව සිංහල සහ දෙමළ අලු‍ත් අවුරුද්ද සැමරීමට කටයුතු කළහ. කිසිවකුට අවුරුද්ද සැමරීමට නොහැකි නම් ඇයි සමරන්නේ යනුවෙන් ප්‍රශ්න කළේ නැත. එහෙත් මෙවර  ඇතැම් සමාජ මාධ්‍යකරුවෝ සමහරෙක් අවුරුදු උත්සවය සැමරීමට නොහැකි නම් සමරන්නේ කුමක් නිසා දැයි ප්‍රශ්න කළහ. ඔවුන්ට අනුව අවුරුදු උත්සවය සැමරීම ආණ්ඩුවට සහාය දැක්වීමකි.

පසුගිය ශතවර්ෂ කිහිපය තුළම අලු‍ත් අවුරුද්ද සැමරීමේ දී එය කිසිදු දේශපාලනයට සම්බන්ධ කිරීමට, එයින් දේශපාලන වාසි ලබා ගැනීමට කවරකු හෝ උත්සාහ කළේ නැතැයි සිතිමි. එහෙත් අවුරුදු තුනක්ම නොපැවැත්වූ උත්සවය මෙවර පැවැත්වීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ශක්තිමක් ආණ්ඩුවක් බිහි වී තිබීම නිසා බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. ඒ ගැන තව කෙනකුට විරුද්ධ විය හැකි නමුදු මහජනතාව ඇති කරගෙන තිබෙන විශ්වාසය කවරකුට හෝ වැළැක්වීමට නොහැකිය. 

කලකට පසු බොහෝ දෙනෙක් ශ්‍රීපාද වන්දනාවේ ගියහ. කැලණි දුරුතු පෙරහැර ද, ගංගාරාමයේ නවම් පෙරහැර ද ඉතා සාර්ථකව පැවැත්වුණි. ඊළඟට අවුරුදු උත්සවය ළඟා විය. රට බංකොළොත් බව මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද IMF ගිවිසුම අත්සන් කිරීමත් සමග එයින් අත්මිදීමට රටට හැකිවිය. බොහෝ දෙනෙක් අවුරුද්ද හොඳින් පැවැත් වූහ. සමහරෙක් හිතේ හැටියට නොවුණ නමුත් අවුරුදු සැමරීමට කටයුතු කළහ. අවුරුදු තුනක් තිස්සේ නොපැවැත්වුණ ජාතික මහා මංගල්‍යයක් කළ එළි දක්වන්නට ඔවුන්ට හැකියාව ලැබුණි. කඩ සාප්පුවල දක්නට ලැබුණු පෝලීම් වලින් ද අධිවේගී මාර්ගවල පෙර නොවූ විරූ ආකාරයට ආදායම වැඩි වූ ආකාරයෙන් ද රට පූරා දිස් වූ මාර්ග තදබදය තුළින් ද පිළිබිඹු වූයේ එම වෙනසයි. 

වොෂිංටනයේ වසන්ත සාකච්ජා

මෙවර අවුරුද්ද සාර්ථකව සැමරීම පිළිබඳව අපට වඩාත් සතුටු විය හැකි වන්නේ ඉදිරියේ දී එය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වතාවරණයක් රට තුළ ඇති වන්නේ නම් පමණි. රජයේ පසුගිය සතියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග පැවැත් වූ වසන්ත සාකච්ජා (Spring discussion) මගින් පැහැදිලි වන්නේ තවත් දිගු කලක් ආර්ථික වර්ධනය ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යාමට හැකි වැඩපිළිවෙළකට රට අවතීර්ණ වෙමින් සිටින බවයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ලබා ගැනීම පිළිබඳව ගිවිසුම අත්සන් කර පළමු වාරිකය රටට ලබා ගැනීමත් සමග රටේ ආර්ථික මට්ටම ඉහළ යන ආකාරයේ සිදුවීම් රැසක් වාර්තා විය. ඒ අතර රුපියල ශක්තිමත් වීම, විදේශ සේවා නියුක්තියන් විසින්  රටට එවන මුදල් ප්‍රමාණය වැඩි වීම, සංචාරක ප්‍රමාණය සහ සංචාරක ආදායම ඉහළ යාම, ඉන්ධන, ගෑස් ඇතුළු භාණ්ඩ රැසක මිල ගණන් පහළ වැටී උද්ධමනය අඩු වීම ආදිය රටේ ජනතාව මත පැටවී ඇති ආර්ථික පීඩනය සැලකිය යුතු මට්ටමකින් අඩු වීම සඳහා හේතු වනු ඇත. එසේ වුවද තව දුරටත්  එම ප්‍රවණතාව පවත්වා ගෙන යාම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා පියවර ගැනීමට සිදු වේ. රජය ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ. 

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාත් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාත් ඇතුළත් නියෝජිත කණ්ඩායමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ඇමෙරිකානු රජය සහ ජපන් රජය සමග අප්‍රේල් මස 10 සිට 16 වැනිදා දක්වා සාකච්ජා මාලාවකට සහභාගි වූහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝජියේවා, නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කේන්ජි නකමුරා, ලෝක බැංකුවේ දකුණු ආසියාව පිළිබඳ උප සභාපති මාටරින් රේසර් වැනි අය සමග සාකච්ජා පැවැත් වූ අතර, ඇමෙරිකානු සහ ජපන් රාජ්‍ය නියෝජිතයන් සමග ද සාකච්ජා පැවැත් වූහ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් ඩොලර් බිලියන 7ක පමණ ආධාරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම්වලට අමතරව ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතය. ඒවා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට එම ආයතන සමග සාකච්ජා කර ණය මුදල් ලැබෙන ව්‍යාපෘති පිළිබඳව එකඟතාවට පැමිණීමට ද දැනටමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට ද සිදු වේ. 

ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලබා දීම මගින් රට තව දුරටත් බංකොලොත් තත්ත්වයක නොපවතින බව පිළිගත්තේය. දැන් ශ්‍රී ලංකාවට ඇති මූලික වගකීම වන්නේ විවිධ පාර්ශවවලින් ලබා ගෙන ඇති ණය ගෙවන ආකාරය පිළිබඳ සැලැස්මක් ඇති කර ගැනීමටය. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම වශයෙන් හඳුන්වන්නේ එයයි. ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ජපානය, ප්‍රංශය, ඉන්දියාව යන රටවල් විසින් එම රටවලින් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ සැලැස්මක් ඉදිරිපත් කර තිබේ. චීනය ද මේ සතියේ දී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රති ව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට තම සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

ඒ අතරම පෞද්ගලික ණය හිමියන් විසින්  ඒ සඳහා සංවිධානයක් ඇති කරගෙන තමන්ගේ යෝජනා ද ශ්‍රී ලංකා රජය වෙත ඉදිරිපත් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරික ලබා දීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් ඇති කර ගත යුතුව ඇති අතර, ණය හිමි ආණ්ඩු මෙන්ම පෞද්ගලික ණය හිමියන් මේ වන විටත් ඒ සඳහා සැලසුමක්  ඉදිරිපත් කිරීමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කර ගැනීමට අවස්ථාව සැලසේ .

ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA) දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ උප සභාපති ඉමෝතෝ සචිකෝ මහත්මිය සමග පැවැත් වූ සාකච්ජාවල දී ජයිකා ආයතනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා ඉතා කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා දීමත් සමග ශ්‍රී ලංකාවට වාසිසහගත වන ආකාරයේ තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට හැකි වන බව වොෂිංටනයේ පැවැත්වුණු සාකච්ජාවලින් පැහැදිලි වේ.

ජනහද හඳුනන ආර්ථික වෙනස්කම්

මේ අතර ශ්‍රී ලංකාවේ රජය ප්‍රථම වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සඳහා ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳ විවාදය අප්‍රේල් 25 දින සිට පැවැත් වේ. විවාදය අවසානයේ ඡන්ද විමසීමකට ද ඉදිරිපත් කර තිබේ. ඒ ආකාරයේ පාරදෘෂ්‍යභාවයක් ඇති කිරීම  ඉතා වැදගත් වේ.

රට තුළ සිදුවන ආර්ථික පරිවර්තනය පිළිබඳ මහජනතාවගේ දැනුවත් භාවය අද වන විට විවිධාකාරයේ වෙනස්කම්වලට ලක් වෙමින් පවතී. අප එම වෙනස්කම් පිළිබඳ මෙම ලිපියේ සඳහන් කළොත් එය දේශපාලනයට ආවැඩීමක් ලෙස හෝ කඬේ යාමක් ලෙස ඇතැම් පිරිස් විසින් හැඳින්වීමට ඉඩ තිබේ.

එබැවින්, තමන් අවට  සිටින අය දැනට සති කිහිපයකට පෙර මෙම ආණ්ඩුව, ජනධිපතිවරයා සහ රජයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ දැරූ අදහස් අද වන විට බොහෝ දුරට වෙනස් වී ඇති ආකාරය නිරීක්ෂණය කිරීමට සහ නිගමනවලට එළඹීමට පාඨකයන්ට හැකිවනු ඇත. ආර්ථික වෙනස්කම් සහ ජනමතය අතර සෘජු සම්බන්ධතාවක් පවතින බව එවිට වටහා ගැනීමට හැකිවනු ඇත. 

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර