ලංකාවේ මෙතෙක් පැවැති (1947-2019) මහා මැතිවරණ 17 න් වැඩිම දින ගණනක් ඡන්ද විමසීමක් පවත්වා ඇති මැතිවරණයට (ජුලි 23 – අගෝස්තු 20 දක්වා) 2023 ජුලි 23 ට වසර 76 ක් ගතවේ. ශ්‍රී ලංකාවේ විවිධ මැතිවරණ නොව මහා මැතිවරණයකට දින 19 ක්ම ඡන්දය පැවැත්වීම අපූර්ව සිද්ධියකි.
සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පිහිටුවන ලද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පැවැතියේ ශ්‍රී ලංකාවේ නොව ලංකාවේ බව අපි පළමුව අවබෝධ කරගත යුතු වෙමු. අපේ රට ශ්‍රී ලංකාව වූයේ 1972 මැයි 22 දා බව සිහිපත් කර ගත යුතුවේ. 1947 මැතිවරණයෙන් ජයගත් ප්‍රමුඛ පෙළේ නියෝජිතයකු දැනට ජීවතුන් අතර නැතැයි අපි විශ්වාස කරමු.
එහෙත් එදා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මැති ඇමැතිවරුන්ගේ ලේ නෑයෝ වත්මන් පාර්ලිමේන්තුව ද නියෝජනය කරති. සක්‍රීය දේශපාලනයෙහි ද නියුක්තව සිටිති.
පො.එ.පෙ. නායක හිටපු ජනාධිපතිවරයකු වන මහින්ද රාජපක්ෂ අදත් පාර්ලිමේන්තුව නියෝජනය කරයි. ඔහුගේ පියාණන් වනුයේ 1947 බෙලිඅත්ත කොට්ඨාසයට එජාප නියෝජනය කරමින් පත්වූ ඩී.ඒ. රාජපක්ෂ මහතාය. වත්මන් රජයේ අගමැති දිනේෂ් ගුණවර්ධන 1947 අවිස්සාවේල්ල අසුනට ලංසසපයෙන් පත්වූ පිලිප් ගුණවර්ධනයන්ගේ පුතණුවන්ය. පසුගියදා යාපනයේ මරදන් කේනි රෝමානු කතෝලික පාසලේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේ දී පොලිසිය සමග කලහයක් ඇති කරගත් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ සීයා යාපනයේ මන්ත්‍රී ධුරය දැරූ පනහට පනහේ භාෂා ප්‍රතිපත්තියට ශක්තියක් දුන් ජී.ජී. පොන්නම්බලම්ය.
1952 කැබිනට් මණ්ඩලයේ කර්මාන්ත ඇමැතිය. මේ පොන්නම්බලම් මෙන්ම ඒ පොන්නම්බලම් ද නමගිය චණ්ඩියෙකි. අපි ඒ ගැන වෙනම කතා කරමු. එපමණක් නොවේ. 47 මැතිවරණයේ දී ලංකා ඉන්දියානු සංගමයෙන් අංක 28 නුවරඑළියට පත්වූ වී.කේ.ආර්.එස්. තොණ්ඩමන් සෞම්‍ය මුර්ති තොණ්ඩමන්ගේ මුණුබුරා අද හැටන් මස්කෙළිය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ය.
සේනානායක බණ්ඩාරනායක ජයවර්ධන සහ කොතලාවල මුල් පෙළේ නායකයන්ගේ ලේ නෑයෝ වත්මනෙහි දේශපාලන මැති ඇමැති ධුර නොදරති. එහෙත් අදත් දේශපාලන තලය තුළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරියෙන් සිටී. රුවන්වැල්ල සහ යටියන්තොට භූමිතලයෙන් පොදු ජන රණ හඬ නැගූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මාමණ්ඩිය වූ මහාචාර්ය තිස්ස විතාරණ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි. ඩී.එස්. සේනානායක හිටපු අගමැතිවරයාගේ මුණුබුරා අද යුගයේ සක්‍රිය චරිතයක් නොවේ.
එදා 14 දෙනකුගෙන් සැදුම්ලත් කැබිනට් මණ්ඩලයේ සිටි මැති ඇමැතිවරුන්ගේ ලේ නෑයෝ අප්‍රසිද්ධියේ සමාජ දේශපාලනයේ නිරතව අදත් සිටින බව ද මාධ්‍ය මගින් අනාවරණය වේ.
1947 මහා මැතිවරණය පුරා දවස් 19 ක් පැවැත්වූයේ කුමක් නිසා ද යන ප්‍රශ්නය වත්මනෙහි අනිවාර්යයෙන්ම මතුවේ. ජුලි 23 සිට 30 දක්වා ද අගෝස්තු 1-4-6-8-9-10-11-13-15-16-18-20 මැතිවරණයට වෙන් කර තිබූ දින 19 යි. එකල ද ඉරිදා අනිවාර්ය නිවාඩු දිනයකි. එකල පසළොස්වක පොහොයට නිවාඩු නැත. ජාතික වීර දින නැත. මැයි දින නැත. 1947 මහා මැතිවරණයට ලංකා සමසමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය සහ කම්කරු පක්ෂය ද තරග වැදුණි.
ද්‍රවිඩ සංගමය සහ ලංකා ඉන්දියානු සංගමයත් ස්වාධීන සහ නිදහස් අපේක්ෂකයෝ බහුතරයක් තරග වැදුණහ. මෙම පක්ෂ සංවිධාන නිසා එ.ජා. පක්ෂයට දේශපාලන බලය නොලැබෙතැයි එජාපයේ ඉහළම පෙළේ නායකයෝ බිය සංකා පළ කළහ. යටත් විජිතය රජ පවුලට අහිමි වෙතැයි අධිරාජ්‍යවාදී කඳවුරම සැක භීතිය දනවන්නට ඇත. රදල ධනපති ප්‍රතිගාමී කඳවුර ද සැක මුසු භීතිය දැක්වූහ. තම කඳවුරට ඉතාම වැඩි දායක කොට්ඨාසවල මුල් දින කිහිපයේ ඡන්දය පැවැත්වීමට එජාප මුල් පෙළේ නායකයෝ සැලසුම් කළහ. ප්‍රථම දින ආසන දහයක පැවැත්වූ මැතිවරණ ප්‍රතිඵල ඔවුන්ගේ විස්මයට හේතු විය.
කොට්ඨාස දහයෙන් හතරක්ම ලංකා සමසමාජ පක්ෂයටත් තුනක් ස්වාධීන අපේක්ෂකයන්ටත් එකක් කොමියුනිස්ට් පක්ෂයටත් ලැබුණි. එ.ජා. පක්ෂයට ලැබුණේ කොට්ඨාස දෙකකි. ප්‍රථම දිනයේම ලං.ස.ස. පක්ෂයේ ප්ලොරන්ස් සේනානායක මහත්මිය කිරිඇල්ල ජයග්‍රහණය කළාය. වමේ පක්ෂ අපේක්ෂකයන්ට එරෙහිව මැර බලය යෙදවිය. මාක්ස්වාදීන් පල්ලි පන්සල් පුළුස්සන පින්තූර පත්‍රිකා ඡන්ද පොළ සමීපයේ ද දක්නට තිබුණි. මැර බලය ඉතා තදින් ක්‍රියාත්මක විය.
1947 මහා මැතිවරණයේ දී ඡන්ද පත්‍රිකා 44,353ක් නරක්වී තිබුණි. ප්‍රධානම හේතුව විය හැක්කේ කලින් පැවැති ඡන්ද ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කිරීමයි. අපේක්ෂකයාට හිමිවූ පාටින් යුත් පෙට්ටියට ඡන්ද පත්‍රිකාව බහාලීම වෙනුවට 47 තිබුණේ අපේක්ෂකයාට හිමි සලකුණ ඉදිරියේ කුඩා කොටුවෙහි සලකුණු කිරීමය.
අඩු මට්ටමේ අධ්‍යාපනයක් ලැබූ හෝ කිසිදු අධ්‍යාපනයක් නොලැබූ හෝ අය අතින් ඡන්ද සලකුණු වැරදි වන්නට බොහෝ ඉඩකඩ තිබුණි. නරක් වූ ඡන්ද පත්‍රිකා ඉතාම අඩු වශයෙන් තිබුණේ මන්නාරමය. මුළු ඡන්ද සංඛ්‍යාව 14,588 කි. ඉන් 9871 ක් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර ප්‍රතික්ෂේප වී තිබුණු ගණන 71 කි. නරක්වූ ඡන්ද පත්‍රිකාවලින් සියයට 36 ක් හෙවත් ඡන්ද 16,303 ක් බහු මන්ත්‍රී ආසනවලින් වීම තවත් ගැටලුවක් විය.
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ද අධ්‍යාපන ඇමැති ධුරය හෙබවූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා පරාජය වීම විශේෂ සිද්ධියක් විය.
පොළොන්නරුව ආසනයට ඉදිරිපත් කළ අපේක්ෂකයන් හය දෙනාගෙන් පස් දෙනකුම එක්සත් ජාතික පක්ෂයට අයත් වීම විශේෂ සිද්ධියකි.
වාමාංශික පක්ෂ අතර තිබූ න්‍යායාත්මක ගැටලු නිසා ආසන 42ක් ජයග්‍රහණය කළ එජාපයට රටේ පාලන බලය හිමිවිය. ස්වාධීන අපේක්ෂකයෝ විවිධ උප්පරවැට්ටි ඔස්සේ බල තුලනය සඳහා රඳවා ගත්හ. 1947 ඔක්තෝබර් 14 වැනිදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රථම රැස්වීම සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ පැවැත්විණි. පළමු නිල කටයුත්ත වශයෙන් කතානායකවරයකු පත්කර ගැනීම සිදු විය.
බලන්ගොඩ මන්ත්‍රී ඒ.ඇස්. මොලමුරේ සහ කුරුණෑගල මන්ත්‍රී රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක අතර පැවැති තරගයෙන් ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම සභාපතිවරයා වූ මොලමුරේ මහතා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ද ප්‍රථම කතානායක ලෙස පත් වූයේය.
සොල්බරි ආණ්ඩුක්‍රමය අනුව ස්ථාපනය කරන ලද උත්තර මන්ත්‍රී මණ්ඩලයට (සෙනට් සභාවට) මන්ත්‍රීවරුන් පත් කර ගැනීම 1947 ඔක්තෝබර් 16 වැනිදා සිදු විය.
සභිකයන් තිස් දෙනෙකි. 15 ක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙනි. 15ක් පත් කළ මන්ත්‍රීවරුන්ය. ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද උත්තර මන්ත්‍රී 15 අතරින් ස්වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන ඇමැති වශයෙන් සර් ඔලිවර් ගුණතිලක පත් කර ගන්නා ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අයත් නීති රීති මතය. ඒ අතර සර් ලලිත රාජපක්ෂ සෙනට් සභාවෙන් අමාත්‍ය මණ්ඩලයට පත් කර ගන්නා ලදී. මේ ක්‍රමවේදය වෙනස් වූයේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. කැබිනට් මණ්ඩලයට අනුරූපව උප ඇමැතිවරු ද පත් කර ගත්හ.
1947 නොවැම්බර් 12 වනදා උත්තර මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රථම රැස්වීමේ දී සර් ජෙරාඩ් විජේකෝන් සභාපති පදවියට එක් වැඩි ඡන්දයකින් පත් වූයේය. උප සභාපති පදවියට පෙරීසුන්දරම් තෝරා ගන්නා ලදී. උත්තර මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වූ ඩී.ඩබ්ලිව්.ජේ. පෙරේරා එම මණ්ඩලයේ මංගල සභා රැස්වීමේදීම උත්තර මන්ත්‍රී මණ්ඩලයටත් රටට අනවශ්‍ය බරක් වන හෙයින් එය වහාම අහෝසි කළ යුතු යැයි යෝජනා කිරීම බ්‍රිතාන්‍යය සාමි මන්ත්‍රණ මණ්ඩලයේ ද දැඩි අවධානයට ලක් විය. එම යෝජනාව සක්‍රිය වූයේ වසර 25 කට පසුවය.
අපේ වර්තමාන දේශපාලන ශබ්ද කෝෂයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් ගැන කිසිදු සටහනක් නැත. නවක මන්ත්‍රීවරු බහුතරයක්ම සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් ගැන ද දැනුවත් නැත. මාධ්‍ය මගින් සෙනට් මන්ත්‍රී මණ්ඩලය ගැන නොව 1947 මහා මැතිවරණයෙන් පත්වූ ඇමැතිවරුන් ගැන ජනතාව දැනුම්ත් කරන්නේ ඉතා ස්වල්ප පිරිසක් ගැන පමණි.
විවිධ මැතිවරණ ප්‍රතිඵල ගැන සඳහන් සමාජ දේශපාලන මැතිවරණ තොරතුරු ඇතුළත් සංග්‍රහ රාශියක් ප්‍රසිද්ධ කරන නමුත් ඒ පොත්වල ද සඳහන් වන්නේ එ්කාකාර තොරතුරු පමණකි.
(මලල්ගොඩ බන්දුතිලකගේ ‘ශ්‍රී ලංකාවේ මැතිවරණ පුරාණය’ 2002 මාර්තු ප්‍රථම මුද්‍රණයෙන් ද තොරතුරු උපුටා ගත් බව සඳහන් කරමු.)
බන්ධුල ආර්. ගුලවත්ත
(***)