දවස් පහේ කෑම බීමෙන් මාසයක් මුහුදේ දිවි ගෙවූ නාවිකයෝ හයදෙනා


ඉරානය, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය හා ඉන්දියාව හරහා ලංකාවට විවිධ විෂ මත්ද්‍රව්‍ය ගෙන එන බව කියැවේ. මේවා ප්‍රවාහනය කරන යාත්‍රා අරාබි මුහුද ඔස්සේ මෙරට මුහුදු තීරයට සේන්දු වන බව නොරහසකි. එම මුහුදු ප්‍රදේශයේ සිදුකෙරෙන මත්කුඩු ජාවාරම වැටලීම හා මර්දනය කිරීම සඳහා නාවික හමුදාව යුහුසුළු වෙයි. ඒ සඳහා රහසිගතව සූදානම් වීම සඳහා කරන විශේෂ නිරීක්ෂණ හා ගවේෂණ මෙහෙයුම්වලට රට වට බැඳි රන් වැට වන් නාවික හමුදාව පෙරමුණ ගනියි.

මෙවැනි බුද්ධි තොරතුරු රැස්කිරීම සඳහා වන විශේෂ මෙහෙයුමක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණයේ T-89 යාත්‍රාව දියඹට ගොස් තිබුණේ නාවික සෙබළු හය දෙනකු සමඟය. එම නාවික හමුදා යාත්‍රාව පසුගිය 2022 සැප්තැම්බර් 16 වැනිදා තංගල්ල ධීවර වරායෙන් විශේෂ ආවේක්ෂණ රාජකාරි සඳහා පිටත්ව ගොස් තිබුණි. දකුණු නාවික විධානයට අනුයුක්තව රාජකාරියේ නියුතු නාවික සෙබළු හයදෙනා සහිත T-89 යාත්‍රාව තංගල්ල වෙරළ තීරයට ඈතින් පිහිටි දකුණු මුහුදු කලාපයේ විශේෂ ආවේක්ෂණ රාජකාරියේ නිරතව තිබුණේ දැඩි කාලගුණික අපහසුතා මැදය.

තංගල්ල ධීවර වරායෙන් යාත්‍රාව පිටත් වූ සැප්තැම්බර් 16 වැනිදා උදේ 6.30ට පමණ ගොඩබිම සිට නාවික සැතපුම් 20 – 25 තරම් දුරකින් යාත්‍රාව රඳවා තිබුණේ මෙහෙයුමට ඇවැසි පරිදිය. එදා පටන් දින පහක් එකදිගට ආවේක්ෂණ රාජකාරි සිදු කිරීමට නියමිතව තිබූ අතර ඒ සඳහා අවශ්‍ය ආහාරපාන හා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යාත්‍රාව සතු විය. T-89 යාත්‍රාව දියඹට යමින් රාජකාරි ආරම්භ කළ මොහොතේ පටන් තංගල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ මෙහෙයුම් මැදිරිය සමගින් පණිවුඩ හුවමාරු කර ගනිමින් පැවතිය ද 17 වැනිදා අලුයම පටන් යාත්‍රාවේ කිසිදු සබඳතාවක් ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණු කඳවුර සමඟ තිබී නැත. එදා පටන් නාවික සෙබළුන් හයදෙනා සමඟ පුරා මාසයක් අතුරුදන් තත්ත්වයේ තිබූ නාවික යාත්‍රාව පිළිබඳ කතාව බිහිසුණුය.

දින පහකට ප්‍රමාණවත් ආහාර හා ජලය සහිතව පිටත් වූ යාත්‍රාව තුළ තිබී ඇත්තේ සීමිත ආහාරපාන ප්‍රමාණයක් පමණි. එබැවින් යාත්‍රාව සොයා නාවික හමුදාවේ නෞකා හතරක් දකුණු මුහුදු තීරය පීරමින් මෙහෙයුමක නිරත වුවද කිසිදු තොරතුරක් නොවීය. මේ නිසාම ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයේ යාත්‍රා කළ නෞකාවලටද මෙම T-89 යාත්‍රාව පිළිබඳ තොරතුරු ලබාදීමට නාවික හමුදාව පියවර ගෙන තිබුණි. අවසානයේ පුරා මාසයකට පසුව ඔක්තෝබර් 18 වැනිදා එම යාත්‍රාව හා සබඳතා ගොඩනගා ගැනීමට එම යාත්‍රාව සොයා මෙහෙයුමේ නිරත වූ නාවික හමුදාවේ A-521 නෞකාව සමත් විය.

මේ ආකාරයට නාවික සෙබළු හයදෙනා සමඟ ගොඩබිමට රැගෙන ආ යාත්‍රාවේ නාවික සෙබළුන් ලද ත්‍රාසජනක හා බිහිසුණු අත්දැකීම් සමුදාය නාවික හමුදාවට අනන්‍ය වූ දුෂ්කර රාජකාරි අතර අත්දැකීමක් පමණක් නොව නාවික සෙබළුන්ගේ පුහුණුව, කණ්ඩායම් හැඟීම, අප්‍රතිහත ධෛර්ය, නොපසුබස්නා උත්සාහය, කළමනාකරණය, නිර්මාණශීලීත්වය මෙන්ම ස්ථානෝචිත ප්‍රඥාව තුළින් කණ්ඩායමක් ලෙස අභියෝග ජයගත් අවස්ථාවකි.

එම අත්දැකීම විස්තර කරන එම නාවික කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නාවිකයා වූ T-89 යාත්‍රාවේ සුළු නිලධාරී අයි.ජී.ජේ.එස්. ගුණරත්න මෙසේ පැවසීය.

''මා ඇතුළු නාවික සෙබළු හයදෙනෙක් T-89 යාත්‍රාවෙන් සැප්තැම්බර් 16 වැනිදා පස්වරුවේ පිටත් වුණා. දකුණු මුහුදු ප්‍රදේශයේ ආවේක්ෂණය කිරීම සඳහා අපි ගියේ. පහුවෙනිදා උදේ 6.30 වෙද්දි අපි නාවික සැතපුම් 20 – 30 පමණ දුරක රුඳී සිටියා. අපිට උපදෙස් ලැබී තිබුණා සිග්නල් තිබෙන ඒරියා එකේ රැඳී ඉන්න කියලා. එහෙම ඉඳලා 17 උදේ අපි යාත්‍රාවේ එන්ජිම ක්‍රියාත්මක කරන්න හැදුවා. නමුත් ක්‍රියාත්මක වුණේ නෑ. පස්සේ තේරුණා යාත්‍රාවේ ප්‍රොප්ලරයේ යමක් පැටලී තියෙනවා කියලා. එතනදි නායක නැව් වර්ණකුලසූරිය සහ නායක නැව් කාරියවසම් මුහුදට බැහැලා බැලුවා. එතකොට දැනගත්තා ප්‍රොප්ලරයේ ධීවර දැලක් පැටලිලා තියෙන බව. දැලේ කොටස් ඉවත් කරලා නැවත ස්ටාර්ට් කරන්න හැදුවත් ක්‍රියාත්මක වුණේ නෑ. මුහුදේ දැඩි සුළඟ නිසා රළු බවක් තිබුණෙ. ඒ නිසා යාත්‍රාව ගැඹුරු මුහුදට ගහගෙන ගියා. 16 වැනිදා ඉඳන් 17 උදේ වෙනකම් යාත්‍රාවේ ලයිට් දමා තිබුණු නිසා සහ එන්ජිම අක්‍රිය වීම නිසා යාත්‍රාවේ බැටරි ආරෝපණය වුණේ නෑ. ඒ නිසා සංඥා යන්ත්‍රය ක්‍රියාත්මක වුණෙත් නෑ. ඊට පස්සෙ පණිවුඩ හුවමාරුවත් ඇණහිටියා. අපේ යාත්‍රාව දිගටම ගැඹුරු මුහුද පැත්තට පාවෙමින් ගියා.'' 

මෙසේ දින 4ක් ගතවූ පසුව ක්‍රමයෙන් GPS යන්ත්‍රය ක්‍රියාත්මක කර ගැනීමට හැකි වී තිබිණි. එහිදී ඔවුන් හඳුනාගෙන තිබුණේ යාත්‍රාව සංගමන්කන්ද සිට නාවික සැතපුම් 160ක් දුරින් ගිණිකොණ ප්‍රදේශයේ ගැඹුරු මුහුදේ සිටින බවකි. එම අත්දැකීම පිළිබඳ බලනැව් ඒ.පී.සී. කුමාර මෙසේ විස්තර කළේය.

''මම මුහුදු ආවේක්ෂණ රාජකාරිවල අවුරුදු 14ක පළපුරුදු කෙනෙක්. ඒත් මේ වගේ අත්දැකීමක් ලැබුණෙ පළමු වතාවට. අපේ යාත්‍රාව ගැඹුරු මුහුදට ඇදිලා ගියේ රළු සුළඟ නිසයි. සුළඟේ වේගය පැයට නාවික සැතපුම් තුනකට වැඩියි. සැප්තැම්බර් 20, 21 වෙද්දි සුළඟ වැඩි වුණා. පණිවුඩ හුවමාරුව නැවතුණා. GPS යන්ත්‍රය ඇණහිටියා. ඉන්න තැනක් සොයාගන්න බැරි වුණා. ඉර පායනවා, රූ වෙනවා විතරයි මතක. රූ එළිවෙන විදියට දින ගණන් පොතක ලියලා තමයි දවස දින දැනගත්තේ. අපිට දවස් පහකට විතරයි කෑම තිබුණේ. අපි හයදෙනා සාකච්ඡා කරලා තීරණය කළා, ආහාර ගැනීම පාලනය කළ යුතුයි කියලා. ඒ අනුව දවසට වේලක් විතරක් කෑවා. ඒ වෙද්දි තේරුණා අපිට කිසිම සබඳතාවක් නැතිව ගැඹුරු මුහුදට පාවෙලා යනවා කියලා. වතුර බීමත් පාලනය කළා. දවස දෙක ගෙවෙද්දි අපි දවසට කැඳ විතරක් බොන්න හිතුවා. එහෙම කරන අතරේ දැලට පැටලෙන මාළු එකා දෙන්නා තම්බලා හෝ වේළලා කෑවා. යාත්‍රාවේ සමබරතාව රුකෙන්න අයිස් පුරවා තිබුණා. ඒවත් දියවෙමින් තිබුණෙ එන්ජිම අක්‍රිය නිසා. ඒ පාර ඒ වතුර පිරිමහගෙන බොන්න ගත්තා.''

මෙම යාත්‍රාවේ එන්ජිම ස්වයංක්‍රියව පණගැන්වෙන එකක් නමුත් සිදු කළ සෝදිසි කිරීමේදී අතින් පණගැන්වීමට හැකි බව හඳුනා ගැනීමට හැකිවිය. ඒ සඳහා චේන් කොටසක් අවශ්‍ය බවද හැඟී තිබිණි. නායක ඉංජිනේරු කාර්මික ඩබ්ලිව්.එස්.එල්. මදුශාන් ඒ පිළිබඳව විස්තර කළේ මෙසේය.

''යාත්‍රාව පණගැන්වීම නොකළොත් නැවත ගොඩබිමට යන්න වෙන්නැති බව දැනගත්තා. ඒ නිසා පණගැන්වීම සඳහා උපක්‍රමයක් සිතුවා. එහෙම ඉද්දි ගැලවූ චේන් කොටස් තුනක් හමුවුණා. ඒවා එකලස් කරලා අතින් කරකැවීමට සුදුසු ලෙස සකස් කර ගත්තා. ඒ වෙද්දි අපි හයදෙනා ශාරීරිකවත් දුර්වල වෙමින් ඉන්න බව තේරුණා. ඒත් අපි මාරුවෙන් මාරුවට අපහසුව නොතකා උත්සාහ කරලා එන්ජිම පණගැන්වුවා. පැයක් විතර යද්දි GPS යන්ත්‍රය ක්‍රියාත්මක වුණා. එතනදි දැනගත්තා ගොඩබිමට නාවික සැතපුම් 460ක් දුරින් ගැඹුරු මුහුදේ ඉන්න බව. දවස් ගාණක් පාවෙවී හිටිය නිසා ගොඩබිමට එන්න ඉන්ධන ප්‍රමාණවත් කියලා හිතුණා. එහෙම ඔක්තෝබර් 11 සහ 13 රඩර් පොම්පය දෙපාරක් කැඩුණා. ඒ පාර යකඩ බටයකින් එය පාලනය කරමින් හිටියා. 15 වැනිදා වෙද්දි තෙල් අඩුවීම නිසා එන්ජිමට හුළං අදින්න ගත්තා. එහෙම අපහසුවෙන් යද්දි 16 වැනිදා නිල්වැල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් හමුවුණා. ඒ යාත්‍රාව මගින් අපේ යාත්‍රාව දවසක් පුරා මගට ඇදගෙන ආවා. ඒ නිසා ඔවුන්ගේ ගමන ප්‍රමාද වුණා. අපිට ඒ යාත්‍රාවට නගින්න කීවත් අපි T-89 යාත්‍රාවෙම හිටියා. ඒ නිසා ඔවුන් 17 වැනිදා පාන්දර අපේ යාත්‍රාව අතහැර ගොඩබිම දෙසට ගියා.'' 

අනතුරුව නාවික සෙබළු GPS යන්ත්‍රය අනුව ආසන්නම ගොඩබිමක් වෙත යාත්‍රා කරන්නට වූහ. ඒ වනවිට යාත්‍රාව සතුව පැවතියේ ඉන්ධන අවම මට්ටමකය. තෙල් ටැංකිය පහළ පිරිසුදු කරන කොටසේ අපද්‍රව්‍ය සමඟ තිබූ තෙල් රුස්කර තේ ගොටුව හා කිරි ගොටුව ආධාරයෙන් පෙරා තෙල් ලීටර් 12ක් පමණ එක්කර ගැනීමට පිරිස සමත් වූහ. මේ වනවිට මුහුදේ රළු බව අඩු වී තිබීම නිසා යාත්‍රාවේ වේගය තරමක් වැඩිකර ගැනීමට හැකිවිය. මේ අතර ඔක්තෝබර් 18 වැනිදා උදේ 10ට පමණ යාත්‍රාවේ සංඥා යන්ත්‍රය සමඟ A-521 නෞකාව සබඳතා ගොඩනගා ගනිමින් පණිවුඩ හුවමාරු කරගෙන තිබුණි.

මේ අතර සිය අත්දැකීම විස්තර කළ නායක නැව් එම්.ආර්. වර්ණකුලසූරිය මෙසේ ද පැවසීය.

''දවස් පහකට තිබුණු ආහාරපාන මාසයක් පුරාම පාලනය කරමින් අපි හයදෙනා හොඳ අවබෝධයකින් හිටියා. හැමෝගෙම අධිෂ්ඨානය වුණේ මොන අපහසුතාව ආවත් එක අරමුණක ඉඳලා ගොඩබිමට පැමිණීමයි. ඒ නිසා අපිට නැවත පණිවුඩ සබඳතාව තිබෙන මුහුද සීමාවට එන්න හැකි වුණා. අපි හැමෝගෙම මව්පියන්, බිරින්ඳෑවරුන්, දරුවන් දිනපතාම සිහි වුණා. ඒ නිසා අපේ අධිෂ්ඨානය වුණේ මොන අපහසුතාව ආවත් සංඥා සබඳතා ගොඩනංවා ගන්නා තෙක්ම යාත්‍රාව අත්නොහැර සිටීමයි. අපි හයදෙනාගේ එකමුතුකම, කැපවීම නිසා අපේ අරමුණට එන්න හැකි වුණා.''

දින 30ක් පුරාවට අතුරුදන්ව තිබූ T-89 යාත්‍රාව සෙවීම සඳහා නාවික හමුදාවේ A-521 නෞකාව සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකාවට යාබද සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ධීවර හා නාවික ප්‍රජාව ඇතුළු පාර්ශ්වකරුවන්ට මෙන්ම ඉන්දියාව, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව ඇතුළු රාජ්‍යයන් වෙත ද ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ස්තූතිය පළ කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ T-89 යාත්‍රාවේ සිය නාවික සෙබළු හයදෙනා මුදාගැනීමෙන් පසුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ බවත් ඔවුන් මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට තහවුරු කළ බවත්ය.

ස්තූතිය -
ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක 
කපිතාන් ඉන්දික ද සිල්වා මහතාට

 සටහන - සමන්ත ප්‍රදීප් විල්තෙර
ඡායාරෑපය - නාවික හමුදා මාධ්‍ය ඒකකය

(දේශය පුවත්පතේ පළවූ ලිපියකි)