දහතුනේ බාලගිරි දෝෂය


ඉන්දු - ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වූ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් යළි සංවාද ඇතිවෙමින් තිබේ. 13 වැනි සංශෝධනය මේ වනවිට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසකි. එහෙත් පුදුමය නම් අනෙක් සංශෝධන මෙන් නොව 13 වැනි සංශෝධනය ව්‍යවස්ථාවේ කොටසක් ලෙස පවතිද්දීත් එය හරිහැටි ක්‍රියාත්මක නොවී පැවතීමය.

ඊට වගකිව යුත්තෝද නිහඬව සිටිති. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි. කවුරු බලය හෙබවුවද ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ඔවුහු බැඳී සිටිති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරිහැටි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමේ වගකීම ජනාධිපතිවරයාට ද තිබේ.

එවැනි පසුබිමක් තිබියදී 13 වැනි සංශෝධනය නිසිලෙස ක්‍රියාත්මක නොවීම අඩුපාඩුවකි. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරිහැටි ක්‍රියාත්මක නොවීම ව්‍යවස්ථානුකූල පාලනක්‍රමයක පවතින දුර්වලතාවකි. එනිසා  මේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්ද යන ප්‍රශ්නය නිතැතින්ම මතුවෙයි.

13 වැනි සංශෝධනය මෙරට ව්‍යවස්ථාවට එක්වූයේ අපේ ජන සමාජයෙන් මතුවූවක් වශයෙන් නොවේ. ඉන්දියාවේ බලපෑම මත ගෙනඑන ලද්දක් වශයෙනි. එනිසා මේ සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේ දේශපාලනඥයන් අතර ඇත්තේ අකැමැත්තකි. ඒ වගේම මෙය සංවේදී කාරණයක් බවටද පත්ව තිබේ. එයට හේතුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ පා සිටින දේශපාලන ගැටලුවලට විසඳුම් ලබාදීමය. මේ විසඳුම කරළියට පැමිණියේ රටේ බහුතරයකගේ විරෝධය මැදය.

මේ විසඳුමට සිංහල සමාජයේ පූර්ණ එකඟතාවක් තිබුණේ නැත. ඒ වගේම දෙමළ සමාජයේ එල්.ටී.ටී.ඊ කොටස්වලින් ද එකඟතාවක් පළවූයේ නැත. එවකට ආණ්ඩු පක්ෂයේ ඇතැම් ඇමැතිවරු අතර පවා 13 වැනි සංශෝධනයට එකඟත්වයක් දක්නට ලැබුණේ නැත. එවක අගමැතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් පවා ප්‍රකට වූයේ විරෝධයකි. ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී.ල.නි.ප මේ විසඳුම පිළිබඳ දැඩි උරණ තත්ත්වයක සිටියේය. මේ කාරණය පදනම් කරගනිමින් ලංකා දේශපාලනයට දෙවැනිවරටත් ප්‍රචණ්ඩත්වය එන්නත් කිරීමට ජ.වි.පෙ ක්‍රියා කළේය. 13 වැනි සංශෝධනය බලගැන්වූයේ එවන් පසුබිමකය. මෙයින් පෙනෙන්නේ ඒකමතිකභාවයකින් තොරව මෙකී විසඳුම ගෙන එන ලද බවය.

මේ සංශෝධනය ව්‍යවස්ථාවට එක්කිරීමෙන් පසු වරින් වර බලයට පත්වූ ආණ්ඩුවලට මෙම විසඳුම ක්‍රියාත්මක කිරීමේ ඇත්ත වුවමනාවක් තිබුණේ නැත. රටේ ජාතික ප්‍රශ්නය දිගින් දිගටම නොවිසඳුනු ප්‍රශ්නයක් බවට පත්වන්නේ ඒ අනුවය.

බලයට පත්වූ ආණ්ඩු 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොකළේ ප්‍රධාන කරුණු දෙකක් පදනම් කරගෙනය. පළාත් සභාවලට පොලිස් බලතල ලබාදීම ඉන් එකකි. ඉඩම් ප්‍රශ්නය පිළිබඳ කාරණය දෙවැන්නය. මේ කාරණා දෙක සංවේදී මෙන්ම මතභේදාත්මකය. පොලිස් කටයුතු පළාත් සභාවලට දිය යුතුද යන ප්‍රශ්නය මෙහිදී මතුවන්නකි.

ජනවාර්ගිකත්වයට වඩා බරපතළ කාරණයක් මෙහි තිබේ. පළාත් සභාවලට පොලිස් බලතල දීමේදී එය උතුරට පමණක් සීමා වන්නේ නැත. සෙසු පළාත්වලටත් එම බලතල බෙදෙනු ඇත. ප්‍රාදේශීය වශයෙන් පොලිසි දේශපාලනීකරණයට, පොලිසිය දේශපාලන ග්‍රහණයට ගැනීමට මේ වනවිටත් දේශපාලනඥයන් කටයුතු කර ඇති බව අපි දන්නෙමු. මැතිවරණ කාලවලදී මෙය විශේෂයෙන් දැකගත හැකිය. අනෙක් කාලවලදීත් අඩු වැඩි වශයෙන් මේ තත්ත්වය පෙනෙන්නට තිබේ.

පූර්ණ වශයෙන් ස්වාධීන නොවූ පොලිස් සේවාවක් පළාත් සභාවලට නතු කිරීමේ බරපතළ ගැටලුවක් තිබේ. මෙවන් බලයක් පළාත් සභාවලට දීමෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? මෙවැන්නක ප්‍රතිලාභ ලබන්නෝ ජනතාව නොවේ. ප්‍රාදේශීය දේශපාලනඥයෝය. උතුරු නැගෙනහිර පමණක් නොව පළාත් බලය හසුරුවන අනෙක් පළාත්වල දේශපාලනඥයන්ද පොලිස් බලතල ලැබෙනවාට කැමැතිය. එනිසා මෙහිදී විය යුත්තේ පළාත් සභාවලට පොලිස් බලතල දීම නොව පොලිස් සේවාව ජාතික වශයෙන් ප්‍රතිසංවිධානයකට, ප්‍රතිසංස්කරණයකට ලක්කිරීමයි.

එවැනි පියවරකදී මුලින්ම කළ යුත්තේ පොලිසිය දේශපාලනීකරණයෙන් මුදාගෙන එය ස්වාධීන කිරීමය. ඒ වගේම නීතිමය වශයෙන් පොලිසිය පුහුණු කිරීමක් අවශ්‍යය. වෘත්තීමය වශයෙන් උසස් ප්‍රමිතිකරණයක් පොලිසිය තුළ ඇතිකළ යුතුය. වදහිංසා සහ අමානුෂික භාවිතයන් පොලිසියෙන් ඉවත් කිරීමද ඉහත කී ප්‍රතිසංස්කරණයේදී අවධානයට ගතයුතු කරුණකි. මෙකී වෙනස්කම් නොකර හුදු පොලිස් සේවාවම පළාත් සභාවලට පවරන්නේ නම් එය විනාශකාරී ප්‍රතිඵල ගෙනදෙන්නක් විය හැකිය.

පොලිස් සේවාව ජරාජීර්ණ තත්ත්වයට පත්විය හැකිය. එනිසා පොලිස් සේවාව පැවතිය යුත්තේ ජාතික සේවාවක් ලෙස මිස පළාත්බද සේවාවක් වශයෙන් නොවේ. දියුණු ප්‍රජාතන්ත්‍රීය රටක තිබෙන පොලිස් සේවාවට සමාන පොලිස් සේවාවක් ඇතිකිරීම අවශ්‍යය. පළාත් ජනතාව පවා ඉල්ලා සිටින්නේ එවන් සේවාවක් මිස පොලිස් බලතල නොවේ. බලයේ වුවමනාව ඇත්තේ දේශපාලනඥයන්ටය.

ඉඩම් හිඟ සම්පතකි. ජාතික වශයෙන් වැදගත් කාරණාවකි. මධ්‍යම ආණ්ඩුවට අමතරව පළාත් සභා විෂය පථයටත් කෘෂිකර්මය අයත් වන්නේ නම් ඉඩම් සම්බන්ධ බලතල පළාත් සභාවලට ලැබිය යුතුය. ඉඩම් සහ ඉඩම් නිරවුල් කිරීමේ බලය ඊට අයත් විය යුතුය. මේ බලය අවශ්‍ය වන්නේ කෘෂිකර්මයේදී පමණක් නොවේ. පළාත් මට්ටමෙන් සිදුවන ප්‍රජා සංවර්ධනයේදී, නිවාස ප්‍රශ්නවලදී මෙකී බලය පළාත් සභා සතුවිය යුතුය. එහෙත් එම බලය අත්තනෝමතික බලයක් නොවිය යුතුය. පළාත් ඉඩම් බලය අත්තනෝමතිකව ඉඩම් යම් යම් දේවල්වලට යොදා ගැනීමට, අන්සතු කිරීමට හැකි බලයක් නොවිය යුතුමය.

මෙහිදී අනුගමනය කිරීමට වන්නේ එක්තරා ආකාරයක සමුපකාර බලය බෙදීමකි. එනම් මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩු අතර අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කිරීමකි. පළාත් අතර රාජ්‍ය ඉඩම් බෙදී ඇත්තේ අසමාන ආකාරයෙනි. නැගෙනහිර පළාතේ රාජ්‍ය ඉඩම් වැඩිය. එහෙත් බස්නාහිර පළාතේ ඇත්තේ අඩු ප්‍රමාණයකි. ඒ වගේම ඇතැම් පළාත්වල රාජ්‍ය ඉඩම් ඉතා ඉහළ මට්ටමකින් භාවිතයට ගත්තද තවත් පළාතක ඇත්තේ අඩු භාවිතයකි. එනිසා රාජ්‍ය ඉඩම් පිළිබඳ ප්‍රතිශතාත්මක බෙදාහැරීමක් මධ්‍යම ආණ්ඩුවටත් පළාත් සභාවලටත් තිබිය යුතුය. මේ කටයුතු වෙනුවෙන් බලගතු ස්වාධීන ඉඩම් කොමිසමක අවශ්‍යතාව තිබේ.

එහි පූර්ණ නිරීක්ෂණයකට මැදහත්වීමකට යටත්ව පළාත්වලට ඉඩම් බලතලදීම ගැටලුවක් නොවේ. රාජ්‍ය ඉඩම් පරිහරණය ඉඩම් පිළිබඳ සංගණන, සමීක්ෂණ සිදුව නැත. එනිසා එවැන්නක අවශ්‍යතාවද තිබේ. ඉඩම් පිළිබඳ ප්‍රශ්න හේතුවෙන් පළාත් ජනතාව පීඩාවට, ගැටලුවලට මුහුණදී සිටින බව රහසක් නොවේ. ඒවාට සවන්දීම වැදගත්ය. ඒ වගේම 13 වැනි සංශෝධනයෙන් පළාත් සභාවලට ලබාදී තිබෙන ඇතැම් බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩම් බලතල නොමැතිවීම ප්‍රශ්නයකි.

13 වැනි සංශෝධනයේ සෙසු බලතල සම්බන්ධයෙන් ද අවධානය යොමුකළ හැකිය. පළාත් සභා සතු එම බලතලවලටද මධ්‍යම ආණ්ඩුව අතපොවන තත්ත්වයක් දිගින් දිගටම දැකගන්නට ලැබුණි. අදත් එහි වෙනසක් නැත. මධ්‍යම ආණ්ඩුවේ ඇතැම් සීමා කිරීම් සහ කැමැත්ත අනුව පළාත්වල බලය හැසිරවීමක් මෙහිදී සිදුවන බව කිව යුතුය. සෙසු කාර්යවලදී බලය යොදවන විට නිලධාරීන්ගේ අපක්ෂපාතීත්වය ස්වාධීනත්වය සම්බන්ධ ගැටලුවලට මුහුණදීමටද පළාත් සභාවලට සිදුව තිබේ.

පළාත් සභාවල පැවැත්ම තිබෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ හොඳහිත මත බව ගෙවුණු දශක කීපයේ දී අත්විඳ තිබෙන්නකි. වසර හයක කාලයක් මහජන නියෝජනයක් නොමැතිව පළාත් සභා වසා දමන තත්ත්වයකට පත්ව තිබීමෙන් එම කාරණය වඩාත් හොඳින් තහවුරු වන්නකි. මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට පළාත් සභා ක්‍රියාත්මක වන්නේ නම් එයින් අපේක්ෂිත අරමුණු ඉටුවන්නේද? පළාත් මහ ඇමැතිවරයාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඒවායේ ඉරණම තීන්දු කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුය.

මෙය ලොකු ගැටලුවකි. පළාත් සභා වසාදමන තැනට පත්කළේ 2017 දී සියලු පක්ෂවල එකමුතුවෙනි. සියලු පක්ෂවල තිබෙන දේශපාලන බලලෝභීත්වය මේ හරහා ප්‍රකට කර තිබේ. වර්තමානයේ 13 වැනි සංශෝධනය ඉදිරියට ගැනීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ විවිධාකාරයෙන් වාසි ගැනීමට වෙහෙසෙන්නට පුළුවන. ඒ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙනය.

මේ වනවිටත් මොවුන් ක්‍රියා කරන ආකාරය අනුව එය තවත් තහවුරු වනු ඇත. මේ රටේ ජාතික ප්‍රශ්නයට 13 වැනි සංශෝධනය ස්ථිර විසඳුමක් නොවී තිබෙන්නේ විවිධ පක්ෂවල දේශපාලන නායකයන් ගේ පටු ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලනය හේතුවෙනි. වෙනත් හේතුවක් නිසා නොවේ.

රටේ මූලික නීතිය ක්‍රියාවට නැංවීමට අකැමැති පාලකයන් හෝ දේශපාලනඥයන් රටට ගැළපෙන අලුත් නීති සම්පාදනය කරයිද? ජනතා හිතවාදී, ප්‍රජාතන්ත්‍රවාදී වපසරිය පුළුල් කරන, ව්‍යවස්ථානුකූල ආණ්ඩුක්‍රමයක රාමුව පුළුල් කරන පාලන ක්‍රමයකට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරයිද යන්න ප්‍රශ්න සහගතය.

රටේ පවතින මූලික නීතියේ කොටසක් ක්‍රියාවට නැංවීමට පස්සගසන දේශපාලනඥයන් ගෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? පොදුවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් 13 වැනි සංශෝධනය දඩමීමා කරගෙන කරනු ලබන දේශපාලන නාඩගම අනුව ඔවුන් දැඩි පරික්ෂාවකට ලක්කිරීමට අවකාශ උදාවී තිබේ.

සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වුණේ මෙවන් පසුබිමකය. 13 වැනි සංශෝධන සම්බන්ධයෙන් තවමත් නොවිසඳුණු ප්‍රශ්න තිබෙන අවස්ථාවකය. ඉන්දියානු බලපෑම පැහැදිලිවම මේ ක්‍රියාවලියට තිබෙන බවද පැහැදිලිය. 13 වැනි සංශෝධනයේ සහ පළාත් සභාවල නිර්මාපකයන් ඔවුන්වීම එයට හේතුවය.

තමන්ගේ නිර්මාණයක් අංගසම්පූර්ණ වනවා දැකීමේ අවශ්‍යතාවද ඉන්දියාවට තිබේ. තමිල්නාඩු දේශපාලනය තුලනය කරගැනීමේ වුවමනාවද ඒ තුළ අන්තර්ගතය. ඒ වගේම ලංකාවේ දෙමළ නායකයන්ගේ ඉල්ලීම් කෙරෙහි සාවධාන වීමටද ඉන්දියාවට සිදුව තිබේ. ලංකාවේ නායකයන් සියලු ප්‍රශ්න අමතක කර ජනවාර්ගික ප්‍රශ්නය ඉදිරියට ගන්නේ ඇයිද යන්නත් ප්‍රශ්නයකි.

සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් දේශපාලකයන් පළමුවෙන් කළ යුත්තේ මෙතෙක් කල් තමන් අතින් වූ වැරැදි සම්බන්ධයෙන් වින්දිතයන්ගෙන් සමාව ගැනීමය. සංහිඳියා වැඩපිළිවෙළට ජනාධිපතිවරයා පිවිසෙන්නේ කළු ජූලියෙන් දශක හතරකට පසුවය. එහෙත් කළු ජූලියට හේතු ඊට වගකිව යුත්තන් පිළිබඳ දැඩි සොයා බැලීමකට කිසිදු දේශපාලනඥයකු යොමුව නැත. එය කනගාටුදායක තත්ත්වයකි. යළිත් මෙවැනි ප්‍රශ්න ඇති නොවීමට වගබලාගත යුතු ආකාරය සොයා බැලීමක් නැත. උතුරේ මෙන්ම දකුණේ දේශපාලනඥයන්ද එවැන්නක් ප්‍රකට නොකිරීම ලංකා දේශපාලනයේ ලොකුම දුර්වලතාවකි.

එවැන්නක් සිදුනොවී මේ මොහොතේ එක්වරම ජාතික සංහිඳියාව කතා කිරීම විහිළුවකි. සංහිඳියාව රටේ සමස්ත අර්බුදයේ කොටසකි. එනිසා කළ යුත්තේ පවතින බැරෑරුම් සමාජ දේශපාලන, ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට සියලුදෙනා සමග එකමුතුව ගොඩනැගීමය. ප්‍රශ්නවලින් කොටස් ඉදිරියට ගැනීමෙන් ජනතාවට පාලකයන් කෙරේ ඇතිවන්නේ සැකයකි. ඒ වගේම එකහෙළාම මේවාට විරුද්ධවන විරුද්ධ පක්ෂ කෙරෙහිද ජනතාවට ඇත්තේ අවුලකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුල විතානවසම්

සටහන – චමින්ද මුණසිංහ