දැන් තියෙන්නේ ’ලිව්වා ගැහුවා’ පොත් කලාවක්


මෙරට පුවත්පත්, සංගීත, සිනමා සහ ප්‍රකාශන ක්ෂේත්‍රවල අඩ සියවසක අත්දැකීම් පදනම් කොටගෙන ප්‍රේම් දිසානායක මහතා විසින් රචනා කරන ලද ‘ප්‍රේම පුරාණය’ නම් ජීවන විත්ති කෘතිය එළිදැක්වීමේ උළෙල මෙම මස 25 වැනිදා සිකුරාදා සවස 3.30 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.

ආචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ආචාර්ය මාලනී ෆොන්සේකා, තිලකරත්න කුරුවිට බණ්ඩාර‌, කුලරත්න ආරියවංශ, ප්‍රසන්න විතානගේ, සමන් අතාවුදහෙට්ටි මෙම උළෙලේ දී ප්‍රේම පුරාණයේ රස මතු කරති. මතු දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් අප කළ සංවාදයක සටහනකි.

• ප්‍රේම පුරාණය ලෙස මෙසේ ලියැවෙන්නේ ඔබේ අඩ සියවසක පුවත්පත්, සංගීත, සිනමා සහ ප්‍රකාශන ක්ෂේත්‍රයේ අත්දැකීම් එකතුවක්. ප්‍රේම පුරාණය ගැන මුලින්ම කතා කරමු.

‘ප්‍රේම පුරාණය’ නමින් මේ මස 25 වැනිදා එළිදකින්නේ අතීත ජීවිත විත්ති ඇසුරු කර ගනිමින් මා විසින් රචනා කරන ලද මගේ ස්වයංලිඛිත චරිතාපදානයයි. මගේ ජීවිතයේ විවිධ වෘත්තීන් හා බැඳුණු අසාමාන්‍ය තොරතුරු හා විවිධාකාර අත්දැකීම් පිළිබඳව දන්නා සමීප මිතුරන් වසර ගණනාවක සිට ඒ තොරතුරු පොතකට ගොනු කරන ලෙසින් නිරන්තරයෙන් මගෙන් ඉල්ලීම් කළා. එහෙත් ඒ හෙළිදරව් කිරීම පිළිබඳ මා තුළ කිසිදු උනන්දුවක් තිබුණේ නෑ. වසර 30-40ක පමණ කාලයක් තිස්සේ ඉතා සූක්ෂම ලෙසින් එම ඉල්ලීම මග හරිමින් සිටියා.

මේ අතර මේ වසර මුල් භාගයේ දී හදිසි විවෘත හදවත් සැත්කමකට  භාජන වීමෙන් පසු ගත කළ ආරක්ෂාකාරී කාලය තුළ ජීවිතයේ කිසිදාක අත්විඳ නැති හුදෙකලා නිදහසක අසිරිය අත්විඳින්නට මට ඉඩ හසර සැලසුණා. මාරාන්තික සැත්කමකින් පසු සාත්තු සප්පායම් ලබන රෝගියකු තුළ සාමාන්‍ය ජීවිතයේ අන් දිනවලට වඩා බාහිර අයගේ ඉල්ලීම්වලට කන්දීමේ හා අවනත වීමේ ගුණාංගය ඉස්මතුවීම ස්වභාවයක්.

මේ නම්‍යශීලීභාවය ප්‍රයෝජනයට ගත් මගේ සමීප මිතුරන් විසින් කරන ලද ඉල්ලීමට  අවනතවීම හා දෛනික කාලය ගෙවා දැමීම පිණිස කිසියම් කාර්යයක නියැලීමේ අවශ්‍යතාව යන හේතු මත මම මගේ අතීත මතක විත්ති ගොනු කරන්නට පටන් ගත්තා. ජීවිතයේ කිසිම දිනෙක දින පොතක් හෝ පාවිච්චි කර නැති මා මේ සියලු සිද්ධීන් හා තොරතුරු හාරා අවුස්සා ගත්තේ මගේ මතක ගබඩාවෙන්. අතීත මතකය යළි යළිත් ආවර්ජනය කරමින් ලියන්නට ගත් ‘ප්‍රේම පුරාණය’ මාසයක පමණ කාලයක් තුළ ලියා අවසන් කළා.

• ඔබේ ජීවන අත්දැකීම් හරහා මෙරට දශක කීපයක සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍ර පිළිබඳ යම් කියවීමක් කළ හැකියි. විශේෂයෙන් ම සාහිත්‍ය, කලා ක්ෂේත්‍රවල දශක කීපයක සිදුවූ වෙනස්කම් ඔබ අධ්‍යයනය කරන්නේ කොහොමද?

මෙහිදී මගේ ළමා විය, තුරුණු විය, පැසුණු විය හා බැඳුණු සංසිද්ධි වගේම වෘත්තීය වශයෙන් මා සම්බන්ධ වුණු විවිධ ඉසව්වල ඉතිහාසය ද සංක්ෂිප්තව ගොනු කරන්නට මම උත්සාහ ගත්තා. ඒ අනුව පුවත්පත් කලාව, සංගීතය, කැසට් කර්මාන්තය, ග්‍රැෆික් නිර්මාණ ශිල්පය,  සිනමාව සහ ප්‍රකාශන ක්ෂේත්‍රය පිළිබඳ මගේ අත්දැකීම් ඔස්සේ ඒ ඒ අංශවල ඉතිහාසය හා ඒවා මුහුණ දුන් අභියෝගවල කිසියම් හරස්කඩක් ද මේ තුළින් නිරාවරණය කෙරෙනවා.

මේ කෘතියේ සඳහන් වන්නේ පුද්ගලයකු තමන් ඉදිරියට පැමිණෙන ඇදහිය නොහැකි අන්දමේ බාධක හිරිහැර හා අභියෝගවලට මුහුණදෙමින් ජීවිතය ජයගැනීම සඳහා දරන ලද අප්‍රතිහත උත්සාහය සහ නොබිඳුණු ආත්ම ධෛර්යයේ අධිෂ්ඨානශීලී කතා පුවතයි.
පසුගිය දශක කිහිපය තුළ සිදුවූ සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික පෙරළි සියල්ලටම මුහුණ දෙන්නට මගේ ජීවිත කාලය තුළ මට අවකාශ ලැබුණා. 

මේ අතරින් හැට දශකය සහ 70 දශකය මෙරට සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රවල දීප්තිමත්ම අවධිය ලෙසින් සඳහන් කරන්නට පුළුවන්. මේ කාලය පුවත්පත්, ගුවන්විදුලිය, සාහිත්‍යය, සිනමාව, නාට්‍ය, සංගීතය ඇතුළු සෑම කලාංගයකම ඉතා ප්‍රබෝධජනක වර්ධනීය ප්‍රගතියක් සටහන් කළ යුගයක් ලෙසින් සැලකිය හැකියි. ඉහත කී හැම කලා ක්ෂේත්‍රයක්ම ඇපවී කැපවී කටයුතු කළේ ජනතාව වෙනුවෙන්. උදාහරණයක් ලෙසින් ගතහොත් පැරැණි පුවත්පත්වල වැඩියෙන්ම තිබුණේ සමාජ දැනුමට, සාහිත්‍ය හා කලා රසවින්දනයට මුල්තැන දෙන ලිපි රචනා හා විශේෂාංගයි.

ඉතිහාස තොරතුරු, ජනප්‍රවාද, ජනශ්‍රැති, චරිත කතා, කවි, කෙටිකතා, සිනමා, නාට්‍ය හා සාහිත්‍යමය විචාර ලිපි, ආගමික හා ජාතික වීරයන්ගේ තොරතුරු ඇතුළත් පුවත්පත් ඒ අවධියේ ජනතාවට තිළිණ කළ රසාකරයක් වුණා. ගුවන්විදුලියත් එහෙමයි. නාට්‍ය, විචිත්‍රාංග රසවින්දන වැඩසටහන්, නව සරල ගී නිර්මාණ, විචාර, සංවාද, ළමා හා යොවුන් නිර්මාණ මණ්ඩප, ආගම් කතිකාවත්, විද්‍යා දැනුම ගෙනෙන වැඩසටහන් ආදී වශයෙන් ඉතාම සාරගර්භ නිර්මාණශීලී වැඩසටහන් හා විචිත්‍රාංගවලින් එවක ගුවන් විදුලිය පෝෂිතව තිබුණා. ඒත් 77 විවෘත ආර්ථිකයත් සමග හමාගිය දේශපාලන හා වාණිජකරණ සැඩ කුණාටුව හමුවේ ඒ සියල්ල ඉතාම කර්කශ ලෙසින් විනාශයට පත්වුණා. සිනමා කර්මාන්තයට ද වුණේ ඒ සන්තෑසියමයි.

• පිටකවර නිර්මාණය. ග්‍රන්ථවලට නම් තැබීම ඇතුළු බොහෝ කාරණවල දී එදා පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ පැවැති කලාත්මක හැඩය අද  තත්ත්වය සමග ගලපා ගන්නේ කොහොමද?

එදා මේ හැම කලා නිර්මාණ කටයුත්තක්ම සිදුවුණේ ඒ ඒ නිර්මාණ ශිල්පීන්ගේ කලා කුසලතා උපයෝගී කර ගනිමින්. පොතක පිටකවරයක් සකස් කිරීමේ දී චිත්‍ර සටහනක් හෝ පොතේ නම සඳහා අකුරු නිර්මාණය කිරීම හෝ වර්ණ ගැන්වීම යන මූලික දේවල් සියල්ල කෙරුණේ චිත්‍ර ශිල්පීන්ගේ දෑතින්. ඒ අනුව විවිධ නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කරනු ලැබූ පොත් පිටකවරවල ඒ ඒ ශිල්පීන්ගේ අනන්‍යතාව රැඳී තිබුණා. නම සඳහන් නොකළත් පොත් කවරයක චිත්‍ර හෝ අකුරුවල හැඩතල ඔස්සේ ඒ නිර්මාණය කුමන ශිල්පියාගේදැයි හඳුනාගත හැකිව තිබුණා. මේ නිසා ඒ පොත් කවර හැමෙකක්ම එකකට එකක් වෙනස් නිර්මාණ ගුණයෙන් පෝෂිතව පැවතියා. කවර නිර්මාණ ශිල්පියාගේ අනන්‍යතාව ඒ තුළින් මතුවී පෙනුණා. 

ඒත් අද තත්ත්වය එයට මුළුමනින්ම වෙනස්. අද පොත් කවරයක් හෝ වෙනත් නිර්මාණයක් කරන්නට චිත්‍ර ශිල්පියෙකු හෝ නිර්මාණ ශිල්පියෙකු හෝ වීම අවශ්‍ය නොවන තරමට එය පිරිහිලා. අකුරක් අඳින්නට බැරි, චිත්‍රයක් අඳින්නට බැරි, නිසි ලෙස වර්ණ ගැලපුමක් කරන්නට බැරි, කොටින්ම චිත්‍ර කලාව ගැන මෙලෝ හසරක් නොදන්නා කෙනෙකුටත් අද මේ කාර්යයේ නියැලී වැඩ පෙන්වන්නට පුළුවන්. ඒ අනුව එදා පොත් පිටකවරවල තිබූ ජීව ගුණය වෙනුවට අද දක්නට ලැබෙන්නේ යාන්ත්‍රීකරණය වූ බංකොළොත් ස්වභාවයක්.

අද පරිගණකය ඔස්සේ ඕනෑම කෙනෙකුට චාරයක් නැතිව මේ කටයුත්තේ නියැලෙන්නට පුළුවන්. ෆොටෝෂොප් වැනි මෘදුකාංගයක් යනු නිර්මාණ ශිල්පියෙකුට එක්තරා ටූල් එකක් පමණයි. එය ඔහුගේ නිර්මාණ කටයුතුවලට අත්වැලක් සපයන, එම කාර්යය කඩිනමින් හා නිවැරැදිව කරගත හැකි මෙවලමක් පමණයි. එසේ නමුත් පරිගණක මෘදුකාංග මතින් සියලු නිර්මාණ කටයුතු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කිරීමෙන් වන්නේ නිර්මාණ බංකොළොත්භාවයක්.

අර කලින් කී ශිල්පීය අනන්‍යතාව වෙනුවට ඇත්තේ  නිසරු ඒකාකාරී ස්වභාවයක්. ඇත්තෙන්ම අද පරිගණක ශිල්පවලින් කෙරෙන්නේ කිසිවකු විසින් නිර්මාණය කරන ලද නිර්මාණ කීපයක් ණයට ගෙන එකලස් කිරීම පමණයි. මෙන්න මේ හේතුව මත පැරැණි ශිල්පීන් විසින් සිය දෑතින් කරන ලද නිර්මාණවල තිබූ විශිෂ්ටත්වය ජීව ගුණය වෙනුවට අද නිර්මාණවල ඇත්තේ ඒකාකාරී අජීවී ස්වභාවයක්.

• ඔබේ අත්දැකීම් මෙසේ ලියා තැබීමෙන් එම තොරතුරු අනාගත පරපුරට ආදර්ශයක් ලෙස භාවිතා කළ හැකියි. චරිතාපදාන කෘති කියැවීමට දරුවන් පෙළඹවීම ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට බලපාන්නේ කොහොම ද?

සැබෑ චරිතාපදාන පුද්ගල පෞරුෂ වර්ධනයට කිසියම් බලපෑමක් කළ හැකියි. ලොව ශ්‍රේෂ්ඨත්වයට පත් බොහෝ පුද්ගලයන්ගේ චරිතාපදානවලින් නව පරපුරට ගත හැකි ආදර්ශ එමටයි. මේ සඳහා එම චරිතාපදාන අවංක සහ නිර්ව්‍යාජ ඒවා විය යුතුයි. ඒත් බොහෝ චරිතාපදාන රචනයන් කිසියම් පුද්ගලයෙකුගේ චරිතයක් ගැන තොරතුරු ලිවීමේ දී ඔහු හෝ ඇය සතුටට පත් කිරීම සඳහා ඇතැම් විට කටුක යථාර්ථය යටපත් කොට අනවශ්‍ය සුදුහුණු ගෑම් ඔස්සේ පුද්ගල ප්‍රතිරූපය ඉස්මතු කිරීමට උත්සාහ ගත් අවස්ථා ද එමට දක්නට ලැබෙනවා.

මේ හේතුව නිසා වෙනත් කෙනෙකු ලියන චරිතාපදානයට වඩා ස්වයංලිඛිත චරිතාපදානය වඩාත් වැදගත් හා ප්‍රතිඵලදායී බවයි මගේ හැඟීම. පුද්ගලයකු පිළිබඳව වඩාත් හොඳින් දන්නා එකම පුද්ගලයා ඔහුම පමණක් වන නිසා. හැබැයි මෙතැන දී අවංකභාවය සහ නිර්ව්‍යාජත්වය ඉතාම වැදගත්.

• මෙරට පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ අනාගතය කෙබඳු වේවිද? එය සාහිත්‍යයට කෙසේ බලපායි ද?

මෙරට ප්‍රකාශන ක්ෂේත්‍රයත් මා ඉහතින් විස්තර කළ අනෙක් හැම අංගයක් මෙන්ම විශාල පිරිහීමකට ලක්වී ඇති බව රහසක් නොවෙයි. තුත්තිරි ගස් ගාණට පොත් පළ වුවත් ඒවායින් හරවත් වැදගත් පොත් ඇත්තේ අතළොස්සයි. අද තියෙන්නේ ‘ලිව්වා ගැහුවා’ කියන මට්ටමේ ප්‍රකාශන කලාවක්. ඕනෑම කෙනෙකුට කිසිම ප්‍රමිතියක් නැතිව පොතක් පළකරන්නට අද හැකියාව තිබෙනවා. ලෝකයේ ප්‍රකාශන ආයතනවල පිටපත් සංස්කරණය යනුවෙන් ඉතා වැදගත් කාර්යයක් සිදුකරන පිටපත් සංස්කාරකවරුන් සිටිනවා. ලේඛකයකු ලියන කෘතියක අඩුපාඩු සකස්කොට වැරැදි නිවැරැදිකොට ඔහුගේ නිර්මාණය වඩාත් පිරිපහදු කර ඉදිරිපත් කිරීම කරනු ලබන්නේ ඔවුන් විසින්. 

ඒත් ලංකාවේ එවැනි ක්‍රමවේදයක් දක්නට නැහැ. අනෙක බොහෝ ලේඛක ලේඛිකාවන් තුළ තමන් ලියන දෙයක් අනෙකෙකුගේ සංස්කරණයට නතු වෙනවාට කැමැත්තක් නොදක්වන උඩඟු ස්වභාවයක් තිබෙනවා. මේ හේතුව මත අටෝරාශියක් වැරැදි සහිත පොත් සමාජය පුරා ව්‍යාප්ත වීමේ ස්වභාවයක් තිබෙනවා. මේ හේතුව මත අටෝරාශියක් වැරැදි සහිත පොත් සමාජය පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. අන්තර්ගතයේ වැරැදි, අක්ෂර වින්‍යාස, ව්‍යාකරණ දොස් ඇතුළු විවිධාකාර වැරැදි බහුල ප්‍රකාශන පොත් ලෙසින් එළිදැක්වීම කනගාටුවට කරුණක්.

පරිවර්තන කෘතිවල තත්ත්වය ද ඉතාම පහත් මට්ටමකට ඇදවැටී තිබෙනවා. සමාජයේ ඒවා කියවන්නට බැරි තරම් ඉතා කඨෝර කෘත්‍රිම භාෂාවකින් රචනා වී තිබෙනු දක්නට පුළුවන්. මවු පොතට අහලකින්වත් තියන්න බැරි ගූගල් තාක්ෂණය ඔස්සේ කෙරෙන නීරස පරිවර්තන තොග ගණනින් බිහිවෙමින් තිබෙනවා.

විචාරයකින් අධීක්ෂණයෙන් තොරව කෙරීගෙන යන මේ ‘ලිව්වා ගැහුවා’ ප්‍රකාශන කලාව මගින් කෙරෙන විනාශය නිසා අනෙක් සාහිත්‍යාංග මෙන්ම එයද බොහෝ දුරට ජනතාවගෙන් වියුක්ත වූ හුදෙකලා කලාවක් බවට පත්වීමේ අනතුර අප ඉදිරියේ තිබෙනවා.


ප්‍රේම් දිසානායක

සංවාද සටහන ගාමිණි කන්දේපොළ