දැන් පළවන සමහර පරිවර්තන කියවන්න බෑ. නීරසයි


පරිවර්තන මෙන්ම විමර්ශන කෘති රැසක් අපේ සාහිත්‍යයට දායාද කොට ඇති ප්‍රවීණ පරිවර්තක ආරියරත්න විතාන මහතා රුසියානු සාහිත්‍යය මෙරට ජනප්‍රිය කරවීම උදෙසා වැඩි දායකත්වයක් ලබාදුන්  අයෙකි. එම දායකත්වය ඇගැයීම පිණිස රුසියානු සාහිත්‍ය කවයෙන් ආරියරත්න විතාන මහතා වෙත ලියෝ ටෝල්ස්ටෝයි සම්මානය පිරිනැමුණි. ප්‍රවීණ පරිවර්තක කරුණාතිලක හඳුන්පතිරණ මහතා ද එහිදී එම ඇගැයීමට ලක්විය. විතාන මහතා සමඟ මෙම සංවාදය පැවැත්වෙන්නේ එම ඇගැයීම  නිමිත්තක් කොට ගෙනය. 

 

• රුසියානු සාහිත්‍යය ලාංකිකයාට සමීප කිරීමේ මෙහෙවර වෙනුවෙන් ඔබට රුසියානු කේන්ද්‍රයෙන් ලියෝ තෝල්ස්තෝයි  සම්මානය පසුගිය දිනෙක පිරිනැමුණා. රුසියානු සාහිත්‍ය කෙරෙහි ඔබ මේ තරම් සමීප වීමට බලපෑ ආසන්න හේතු මොනවාද? 

සිංහල සාහිත්‍ය කෘති කියවන අතරතුර මට කියැවීමට ලැබුණු විදේශ සාහිත්‍ය කෘති අතර රුසියානු නිර්මාණ තමයි වැඩිපුරම තිබුණේ.  මගේ ඇල්ම බැල්ම වැඩිපුරම යොමු වුණෙත් රුසියානු ප්‍රබන්ධ සාහිත්‍යයටයි. ගොගොල්  චෙකොෆ්, දොස්තයෙව්ස්කි, තුර්ගනිෆ් සහ කුප්රින්ගේ කෘති මා කියෙව්වෙ වැඩි ඇල්මකින්. ලිපිකරුවකුගේ මරණය, හයේ වාට්ටුව, සුරතල් බල්ලා කැටුව යන කාන්තාව, පළඟැටියෝ වගේ කතාවලට මගේ හිත තදින්ම ඇදී බැඳී ගියා. ඒ හේතු නිසාම රුසියානු සාහිත්‍යය තවදුරටත් හදාරන්නට ඇල්මක් ඇති වුණා. අපරාධය හා දඬුවම  කියවා අවසන් වන විට මට දැනුණේ තියුණු කම්පනයක්. මා මිනීමරුවකු සමග ඉතා ළඟින් ඇසුරු කළා වැනි හැඟීමක් තමයි මට දැනුණේ. මිනීමරුවකුගේ මනස කපා කොටා උලුප්පා පෙන්වනා ගැඹුරින් විග්‍රහ කෙරෙන වෙනත් කතාවක් හෝ ලේඛකයකු ගැන මා අහලා නෑ. 

රුසියානු සාහිත්‍යය ශ්‍රේෂ්ඨ සාහිත්‍යයක් වන්නේ ඉන් හමන මිනිස්කමේ සුවඳ නිසයි. මනුෂ්‍යත්වය දෙසට හෙළන දයාර්ද බැල්ම මේ සාහිත්‍යයේ ඉහළින් කැපී පෙනෙනවා. එක්දහස් නවසිය පනස් ගණන්වල පටන් රුසියානු සාහිත්‍ය කෘති සිංහලෙන් කියවන්නට ලංකාවේ පාඨකයන්ට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ කෙළින්ම රුසියානු බසින් සිංහලට නැඟුණු කෘති අපේ රටේ ප්‍රචලිත වුණා. රුසියානු සාහිත්‍යය ගැන ලංකාවේ ඇතිවුණ උනන්දුව වඩාත් තීව්‍ර වුණේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ හැදෑරීම් නිසා කියලා කියන්න පුළුවන්. ඔහු ජාතක කතා ගැන මෙන්ම රුසියානු නවකතාව ගැනද අලුත් ප්‍රබෝධයක් ඇති කළා. 

ජනතා ලේඛක පෙරමුණ පිහිටුවීම නිසා අපට ජාත්‍යන්තර සබඳතා ගොඩනගන්නට අවස්ථාව ලැබුණා. ඒ මගින් අපට බොහොමයක් සෝවියට් ලේඛකයන් මුණ ගැසුණා. ඔවුන්ගේ ඇසුර සෝවියට් සාහිත්‍යය ගැන අපේ අවබෝධය පුළුල් කළා. දෙපාර්ශ්වයේ අත්දැකීම් හුවමාරුව මෙහිදී ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව කියන්න කැමතියි. දේශප්‍රේමී යුද්ධයට සහභාගි වූ ලේඛකයන් අපට මුණ ගැසුණා. ඒ හේතුවෙන් රුසියානු  සෝවියට් සාහිත්‍ය අප ළං කරන පාලම බවට පත්වුණා. 

• ඔබේ නිර්මාණාවලිය බැලුවොත් එහි වැඩි අවධානය යොමු වී තිබෙන්නේ ඇන්ටන් චෙකොෆ් හා ඔහුගේ නාට්‍ය නිර්මාණ ආදිය ගැනයි. චෙකොෆ් ගැන මේ තරම් විශේෂ අවධානයක් යොමුවීමට හේතුව කුමක්ද? 

ගොගොල්ගේ හිම කබායෙන් පිළිබිඹු වූ සාමාන්‍ය මිනිසාට චෙකොෆ් දුන්නේ නව අර්ථකථනයක්. චෙකොෆ්ගේ ලිපිකරුවාගේ මරණය හද කකියවන සංවේදී කතාවක්. සාමාන්‍ය  පොදු මිනිසාගේ බයාදුකම දිහා ඔහු බලවත් දයානුකම්පාවකින් බලන හැටි අපට මේ කතාවෙන් දකින්න පුළුවන්කම තිබෙනවා. 

චෙකොෆ් ඔහුටම අනන්‍ය කෙටිකතා කලාවක් හදා ගත්තා. ඔහුගේ ශෛලිය වගේම ඔහු තෝරා ගන්නා කතා වස්තු සරලයි. ඒත් සංකීර්ණයි. ඔහුගේ කතා හැම එකක්ම වගේ මට නම් සිත් ගන්නාසුළුයි. සුරතල් බල්ලා කැටුව යන කාන්තාව නම් කතාව ගත්තොත් සරල කතාවක් තුළ සංකීර්ණය මිනිස් සබඳතා හඳුනා ගන්න පුළුවන්. ඇතැමුන් එම කතාව දෙස සුචරිතවාදී දෘෂ්ටි කෝණයෙන් බැලුවත් බොහෝ දෙනා එය පිළිගන්නේ චෙකොෆ්ගේ උසස් නිර්මාණයක් ලෙසයි. චෙකොෆ් ආදරය දෙස මොන තරම් දයාවකින් බලනවාද කියලා ඒ කතාවෙන් මැනැවින් පැහැදිලි වෙනවා. 

වෙනත් රුසියානු ලේඛකයන්ගේ කෙටි කතාවලට වඩා චෙකොෆ්ගේ ශෛලිය වෙනස්. චෙකොෆ්ගේ ශෛලියේ බලපෑම ජගත් සාහිත්‍යයට පැතිර ගියා. රුසියාවෙන් පිටත වර්ධනය වූ කෙටි කතා කලාවට එය බලපෑවා.  කැතරින් මැන්ස්ෆීල්ඩ්, වර්ජනියා වුල්ෆ්, කැතරින් ඈන් පෝටර්  වැනි ලේඛක ලේඛිකාවෝ චෙකොෆ්ගේ ශෛලිය  අනුගමනය කළා. මැන්ස්ෆීල්ඩ්ගේ කෙටි කතාවක් කියවන විට ඇය චෙකොෆ්ගේ ශෛලියට මොන තරම් සමීපද කියල හඳුනා ගන්න පුළුවන්. 

චෙකොෆ්ගේ නිර්මාණවලට විෂය වුණේ ඔහු ජීවත්ව සිටි යුගයේ ජනතාවයි. ඒ නිසා ඇතැම් විචාරකයන් ඔහු හඳුන්වන්නේ දහඅට වැනි සහ දහනව වැනි සියවස්වල පුරාවෘත්තකයා ලෙසයි. රුසියාවේ, බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ සුප්‍රකට ලේඛකයෝ චෙකොෆ්ගේ චරිතාපදාන ලියා තිබෙනවා. මම ඒවා අධ්‍යයනය කළා. චෙකොෆ්ගේ සුවිශේෂ චරිතය හඳුනා ගැනීම නිසා ඔහුගේ නිර්මාණ දෙසට තවදුරටත් නැඹුරු වූ බව කියන්න පුළුවන්. 

• චෙකොෆ්ගේ නිර්මාණ බොහොමයක පවත්නා සමාජ දේශපාලන ගැඹුර එදා සමාජයට වගේම වත්මන් සමාජයටද වලංගුව පවතින බව පෙනෙනවා. ඔහුගේ නිර්මාණ ගැන අපි අදටත් කතා කරනවා. මේ සර්ව කාලීන නිර්මාණ ගුණය පිළිබඳව ඔබේ හැදෑරීම කෙබඳුද? 

චෙකොෆ්ගේ යුගය වැඩවසම් යුගයක්. ඒකාධිපති රජවරුන්ගේ පාලනයට නතු වූ යුගයක්. එදා පැවතුණ සමාජ අසාධාරණය නූතන ලෝකයේත් තිබෙනවා. අද ලෝකයේ කෲර ඒකාධිපති  පාලනයක් පවතින රටවල් බොහොමයක් තවමත් තියෙනවා. කෲරත්වය වගේම නූගත්කම  අප්‍රිකානු රටවල සුවිශේෂ ලක්ෂණයක් හැටියට දකින්නට පුළුවන්. අප්‍රිකානු මහාද්වීපයේ කොවිඩ් එන්නත විඳගෙන තියෙන්නේ ජනගහයෙන් සියයට පහක්ලු. චෙකොෆ් අනුව යමින් එවැනි ඛේදවාචක තමන්ගේ නිර්මාණවලට වස්තුවිෂය කර ගන්න අප්‍රිකානු ලේඛකයන් අතලොස්සක් හරි ඉන්න එක ලොකු දෙයක්. 

චෙකොෆ්ගේ නිර්මාණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කිරීම වැදගත්. ඔහුගේ ‘සහලීන්’ චාරිකාවට පෙර නිර්මාණ ඊට පසු බිහිවූ නිර්මාණවලට වඩා වෙනස්. සහලින් චාරිකාවෙන් පස්සෙ චෙකොෆ්ගේ කතා කලාව අලුත් මඟකට යොමු වුණා. ඔහු අසාධාරණය සහ කෲරත්වය මනාව වටහා ගත් මානව දයාව උතුරා යන ලේඛකයකු බවට පත්වුණා. 

රුසියානු සමාජයේ අමානුෂික  පැත්ත දෙස සානුකම්පිත දෘෂ්ටියකින් ඔහු බලන්න පටන් ගත්තා. ඔහුගේ අමරණීය නිර්මාණයක් ලෙස සැලකෙන ‘හයේ වාට්ටුව’ ඔහු ලිව්වේ සහලින් චාරිකාවට පස්සේ. එය සමාජ අසාධාරණය, විනාශකාරී ඒකාධිපතිවාදය, පීඩනය සහ කෲරත්වය අපූරුව ගෙත්තම් කරන කතාවක්. ඔහු ඒ කතාවෙන් ගැඹුරු සමාජ විචාරයක් කරනවා. ‘හයේ වාට්ටුව’ මුළු රුසියාවේම සංකේතයක් බවට පත් කරනවා. ඒ කතාව කියවපු වී.අයි. ලෙනින් කියා තිබෙන්නේ කතාව කියවද්දි තමන් හයේ වාට්ටුවේ ඉන්න හිරකාරයෙක්ය යන හැඟීම ඇතිවුණා කියලා. චෙකොෆ් තමන් ලියූ කතාවලින් කාටවත් කෝපයක් වෛරයක් පිට කළේ නැහැ. යහපත් අයහපත් හැම මිනිසකුම ඔහුගේ දයානුකම්පාවට හසු වුණා. එය චෙකොෆ්ගේ නිර්මාණ මගේ සිත ඇද බැඳ ගන්න හේතුවුණ තවත් කාරණයක්.

• චෙකොෆ්ගේ නාට්‍ය සහ සාහිත්‍ය නිර්මාණ අපේ රටේ නිර්මාණකරුවන්ට කළ බලපෑම් මොනවාද? චෙකොෆ් ඇතුළු ප්‍රමුඛ පෙළේ රුසියානු නිර්මාණකරුවන් පිළිබඳ අධ්‍යයනය අපේ නූතන පාඨක විචාරක නිර්මාණ රචකයන්ට අවශ්‍ය වන්නේ ඇයි? 

චෙකොෆ්ගේ රචනා ශෛලිය අපේ රටේ බොහෝ ලේඛකයන්ට බලපෑවා කියල කියන්න පුළුවන්. අපේ මුල් යුගයේ සිංහල කෙටි කතාවල තිබුණ වැල් වටාරම් සහිත වෙහෙසකර ශෛලිය බොහෝ දුරට වෙනස් වෙලා සරල සැහැල්ලු සිත් ගන්නා රටාවකට කෙටිකතාව වෙනස් වුණ බව පෙනෙන්න තිබෙනවා. 

දහනව වැනි සියවසේදී ලිබරල්වාදය යුරෝපයේ පැතිර යද්දී එහි බලපෑම රුසියානු සාහිත්‍යයටත් පැතිර ගියා. රුසියානු ලේඛකයන්ගේ දයානුකම්පාව පීඩිත මිනිසා දෙසට වඩ වඩාත් යොමු වුණා. දුෂ්ට රාජ්‍ය පාලනය හා නිලධාරිවාදය හෙළාදකින හැඟීම් ඔවුන්ගේ නිර්මාණවලට පිවිසෙන්න ගත්තා. රුසියානු ලේඛකයෝ තම නිර්මාණවලින් සමාජ අසාධාරණය ප්‍රකාශ කිරීමට පමණක් සීමා වුණේ නැහැ. ඔවුන් හැකි පමණින් සමාජ කටයුතුවලටද සම්බන්ධ වුණා. ඇන්ටන් චෙකොෆ් වසංගත කාලයේදී ලෙඩුන්ට නොමිලයේ ප්‍රතිකාර කළා. රෝහල් හදන්න දායක වුණා. ඒ වගේ චරිත අපේ රටේ පාඨකයන් විචාරකයන් මෙන්ම නිර්මාණ රචකයන් ද අධ්‍යයනය කළ යුතුයි කියලයි මට හිතෙන්නේ. මා ‘ඇන්ටන්  චෙකොෆ් ජීවිතය සහ නිර්මාණ’ කෘතිය ලිව්වේ ඒ අරමුණ ඇතිවයි. 

• එදා රුසියානු පරිවර්තන අපේ රටේ වඩාත් ජනප්‍රිය වුණා. එහෙත් දැන් විවිධ රටවල පරිවර්තන අසීමිතව අපට ලැබෙනවා. එදා රුසියානු පරිවර්තන හරහා අපේ රටට කළ සමාජ බලපෑම වත්මන් පරිවර්තන හරහා සිදු වෙතැයි ඔබ සිතනවාද? 

අද පරිවර්තනවලට විශාල ඉල්ලුමක් තියෙනවා. විදේශීය කෘති කියවන පාඨක සංඛ්‍යාව පුළුල්වීම හොඳයි. ඒත් අපි පරිවර්තනය කළ යුත්තේ කිනම් කෘතිද කියලා නිර්දේශ කරන කෙනෙක්වත් ආයතනයක්වත් නෑ. ඇතැම් ප්‍රකාශකයෝ විදේශවල ජනප්‍රිය වුණු පොත් පරිවර්තනය කරලා පළ කරනවා. සමහර පරිවර්තන කියවන්නත් බෑ. නීරසයි. පරිවර්තන සාහිත්‍යයේ වැදගත්කම හා වටිනාකම ගැන හරි අවබෝධයක් සමහර අයට ඇත්තේම නෑ. 


සංවාද සටහන ගාමිණි කන්දේපොළ

 

 


ප්‍රවීන පරිවර්තක ආරියරත්න විතාන