දැයක් අවදි කළ මහාචාර්ය විනී විතාරණ


අභාවප්‍රාප්ත මහාචාර්ය විනී විතාරණ සූරීන්ගේ දෙවැනි ගුණ සැමරුම අදට (2) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

වර්තමාන අවධියේදී බටහිර තාක්ෂණ ඥානයත්, පර් යේෂණ කුසලතාවත් සමග පෙරදිග දැනුම් සම්භාරයක් එක්කර ගත් වියතුන්, ශ්‍රී ලංකේය විශ්වවිද්‍යාලවලින් බිහිවන්නේ අල්ප වශයෙනි. එහෙත් මෙයට දශක හයකට පමණ පෙර, මහාචාර්ය හෙට්ටිආරච්චි, මහාචාර්ය කේ.ඇන්.ජයතිලක, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය කොටගම වාචිස්සර හිමි, මහාචාර්ය වල්පොල රාහුල හිමි වැනි වියත්තු විශාල පිරිසක් බිහිවූහ. ඒ වියතුන් අතරටම එක් වූ මහ පඬිවරයාණ කෙනෙක් 2019.12.02 දින දැයෙන් සමුගත්හ. ඒ මහාචාර්ය විනී විතාරණයෝය.

මහාචාර්ය විනී විතාරණයන් උපත ලබා ඇත්තේ 1928.06.02 වැනිදා තංගල්ලේ පල්ලිකුඩාව නම් පිටිසර ගම්පියසකය. තංගල්ල ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් සහ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ විනී විතාරණ දරුවාට උපන් හපන්කම් ඇති කෙනකු නිසාම, අවුරුදු 17 දී, ලංකා විශ්වවිද්‍යාලයෙන් සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය ලබාගැනීමට හැකිවිය.

පසුව එතුමා 1949 දී ගාල්ල මහින්ද විද්‍යාලයේත්, 1954 දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේත් ගුරුවරයකු වශයෙන් සේවය කර ඇත. 1958 දී පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ පිහිටි ශබ්ද කෝෂයේ සහකාර කර්තෘවරයකු වශයෙන් පත්වීම, විනී විතාරණයන්ගේ චරිතයේ හැරවුම් ලක්ෂයක් විය. එහිදී ඔහු සිංහල විශේෂවේදී උපාධියෙන් ප්‍රථම පෙළේ සාමාර්ථයක්ද ශාස්ත්‍රපති උපාධියක්ද දිනාගත්තේය. එනිසාම විනී විතාරණ තරුණායට විද්‍යෝදය (ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්ය ධුරයක් 1960 දී ලබාගැනීමට හැකිවිය. 

ඤාණ ගවේෂකයකු වූ විනී විතාරණයෝ, 1966 දී භූගෝල විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් ද 1968දී සිංහල පිළිබඳව ආචාර්ය උපාධියක් ද ලබාගත්හ. 1981දී රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අංශාධිපති වී මාතරට ගිය විනී විතාරණ ඇතුළු ආචාර්යවරුන්ට අධ්‍යාපන කටයුතු කිරීමට සිදුවූයේ එළිය කන්දේ කාර්මික විද්‍යාලයේ කුඩා ගොඩනැගිලිවල බොහෝ දුෂ්කරතා මධ්‍යයේය.

පාඨමාලා සකස්කර ගනිමින්, ශිෂ්‍යයන්ගේ දුක සැප සොයමින් ගුරුපියකු මෙන් ක්‍රියා කිරීම නිසා විශ්වවිද්‍යාල ප්‍රජාවගේ විශේෂ ගෞරවයට පාත්‍ර වූ විනී විතාරණ, දක්ෂ ගුරුවරයෙක් විය. අලුතින් නැගී එන විශ්වවිද්‍යාලය, විෂය සංවර්ධනය අත්‍යවශ්‍ය කරුණක් බව තේරුම් ගත්  විනී විතාරණ ආචාර්යතුමා, සනාතන සහ පාලක සභාවලට කරුණු දක්වා, පාලි සහ බෞද්ධ සංස්කෘතිය විෂයයන් ආරම්භ කිරීමට අවශ්‍ය කෙටුම්පත් පිළියෙල කර අනුමත කරවාගෙන සිංහල අධ්‍යයන අංශය යටතේ පාලි සහ බෞද්ධ සංස්කෘතිය විෂයයන් ඉගැන්වීමත් විභාග පැවැත්වීමත් කළේය. විශේෂයෙන් කලා අංශයේත්, අනෙකුත් විෂය ක්ෂේත්‍රවලත් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලත් සංවර්ධනයට, විශාල දායකත්වයක් මහාචාර්ය විනී විතාරණයන්ගෙන් රුහුණ විශ්වවිද්‍යාලයට සිදුවිය.

1993 දී විශ්‍රාම යනතුරු ම, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වශයෙන් රුහුණු විශ්වවිද්‍යාලයට කරන ලද සේවය අත්‍යුදාරය. එතුමා විශ්වවිද්‍යාලයට හෝ රටට ණය නැත.

හැදෙන ගස දෙපෙත්තෙන් පෙනේ යැයි කියන්නා සේම, විනී විතාරණ තරුණ අවධියේ (1945) සිටම සුබස, එඩිය, සංස්කෘති, වීමංසා, දිනදින, සාහිත්‍ය, සංඛ පුරාවිද්‍යා සංහිතා වැනි සඟරාවලට සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම විවිධ විෂයන් යටතේ ලිපි ලියා ඇත. ඔහුගේ භාෂාව ව්‍යක්තය, ව්‍යාකරණානුකූලය. එයට හේතුවක් වුයේ, විනී විතාරණයන්, කුමාරණතුංගයන් සමග එක්ව හෙළ හවුලේ සාමාජිකයකු වීමයි.

පසුව අරිසෙන් අහුබුදු සමගත් සම්බන්ධ වී හෙළ හවුලේ භාෂා සම්ප්‍රදාය සංවර්ධනයටත් පෙරගමන්කරුවෙක් විය. එනිසාම විනී විතාරණයන් විසින් ලියන ලද පහදුව (1992) පබඳ අත්වැල, (1993), පදය, වාක්‍ය හා ජේදය (2001), වියරණ විසිතුරු (2013) වැනි ග්‍රන්ථ සිංහල භාෂාව හදාරණ අයට නිර්දිෂ්ට ග්‍රන්ථ සේ භාවිත කළ හැකි කෘතීන්ය. 1975 දී ලියා ඇති ලිපි අට නම් සංග්‍රහයෙන්, සිංහල සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ ව පැහැදිලි විමර්ශනයක් කෙරේ.

විනී විතාරණයෝ පරිවර්තනයටත් සූරයෙකි. ඉංග්‍රීසි කවියකු වූ එඩ්වින් ආර්නෝල්ගේ කෘතිය, ආසියාවේ එළිය (1956) නමින් ගද්‍යයෙන්ද 2001දී ආසියා පෙහෙළිය නමින් පද්‍යයෙන් ද ඉදිරිපත් කළ අතර එයට 2001 රාජ්‍ය සාහිතය සම්මානයත් ලැබුණි. තව ද මිදි විත, ගොඩ මානෙල, රුබෙයියාතය, ගීතාංජලිය වැනි පරිවර්තන ග්‍රන්ථත් සම්භාවනාවට ලක්වී ඇත. මහාචාර්ය විනී විතාරණයන් විසින් විශ්‍රාම සුවයෙන් සිටි අවදියේ දී කරන ලද මුවදෙව්දාවත, සසදාවත, සැළලිහිණි සන්දේශය, තිසර සන්දේශය කව්සිළුමිණ, ගිරාසන්දේශය යන සම්භාව්‍ය සිංහල පද්‍ය කෘතීන් ද සද්ධර්ම රත්නාවලිය ද ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලදී. එය හෙළ සාහිත්‍යයේ අගය ලෝකයාට කියාපාන මහවියතකුගේ වියත් මෙහෙවරක් ම වනු ඇත. 

එතුමා 1962දී සිංහල සාහිත්‍ය සඳහා ප්‍රදානය කෙරෙන යුනෙස්කෝ සම්මානයද 1978, 2002 වර්ෂවල දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයද 1993 දී කලාකීර්ති සම්මානයද 2002 දී සර්වෝදය ජාතික සම්මානය ද 2004දී සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ මහාචාර්ය ජී. පී.මලලසේකර සම්මානයද 2007 දී දකුණු පළාත් රෝහණ රන්සිළු සම්මානයද 2012 දී ජාතික උරුම පිළිබඳ අමාත්‍යාංශයේ උරුම ප්‍රසාද සම්මානය ද 2013දී හෙළ හවුලෙන් දෙටු සුබැසි හරසර සම්මානය ද 2019 දී ගොඩගේ සහෝදර සමාගමෙන් පිරිනැමෙන ගොඩගේ දිවමන් ප්‍රසාද සම්මානයද අභිධාන වශයෙන් ලබාගෙන ඇත. 

මහාචාර්ය විනී විතාරණ නම් සත්පුරුෂයාණන්ට නිවන් සුව අත්වේවා.


මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි.