දිසාපාමොක්ලාගේ ගජබින්නාලංකාරය


(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

([email protected],[email protected])

පාසලක් වහනවා යනු හිරගෙවල් 100ක් ඇරෙනවා යන්න බව රටේ ප‍්‍රචලිත කතාවකි. එනම් පාසල් අධ්‍යාපනයේ ප‍්‍රධාන අරමුණ දරුවන් යහමගට ගැනීම යන්නයි. පාසලකින් දරුවන්ට ලබා දෙන්නේ දැනුම පමණක්ම නොවේ. කුසලතා සහ ආකල්ප ද දරුවන්ට ලබා දීම පාසල් අධ්‍යාපනයේ අරමුණයි. මෙවර සත්‍ය ගවේශණ විශේෂාංගයට පාදක වන්නේ දරුවන්ට පාසලෙන් ලැබෙන සැලකුම් ගැනයි

ගැබ්ගෙන ඇතැයි කියමින් දැරියක පාසලෙන් නෙරපීම ගැන ජනමාධ්‍යයයේ වැඩි කතාබහක් ඇති වූයේ පසුගිය ඔක්තෝබරයේය. සිද්ධිය සැකෙවින් මෙසේය. මඩාටුගම ශ්‍රී රේවත විද්‍යාලයේ දැරියකට වමනය ගියේ කුසගින්නේ සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙසය. ඉන් අනතුරුව  එය විදුහල්පතිනිය දක්වා පාසලේ ඉහළටම වාර්තා විය. ඒ දැරිය ගැබිනියක වීම නිසා වමනය ගිය බවකි. එම පාසලේ ශිෂ්‍ය උපදේශන ගුරුවරයකුද සිටියේය. විනය කමිටුවක්ද තිබුණේය. නමුත් සිදුවූයේ අනෙකකි. හදිසියේ රැස්වූ විනය කමිටුව තීරණය කළේ දැරිය පාසලෙන් ඉවත් කළ යුතු බවයි.

මානව හිමිකම් නීතිය අනුව ගැබ් ගෙන ඇතැයි යන සත්‍ය පදනමින් දරුවකුගේ ඉගෙනීමේ  අයිතිය  උදුරා ගත නොහැකි ය. මෙම දැරිය   ලෙසටම ගැබ් ගෙන ඇතිදැයි සොයා බැලීමට කළ යුතු වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ තිබිය දී ඒ කිසිවක් නැතිව දැරිය පාසලෙන් ඉවත් කළේය. 

ඉන් අනතුරුව දැරියගේ මව සහ පියා විසින් ඇය රෝහල් ගත කරනු ලැබුවාය.  රෝහලේ වෛද්‍යවරුන් දැරිය පරීක්ෂා කළ අතර ඇය ගැබ් ගැනීම්ක් තබා ඒ හා සම්බන්ධ සිදුවීමක්වත් නැති බව අනාවරණය විය. ඒ අනුව වහා සිද්ධිය ගැන පැමිණිලි කිරීමට වෛද්‍යවරු පියවර ගත්හ. ජනමාධ්‍ය ඔස්සේ එම සිද්ධිය වාර්තා කළේ ඉන් පසුවය.

ජනමාධ්‍යවල පළ වූ වාර්තා සැලකිල්ලට ගනිමින් පැමිණිල්ලක් නැතිවම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කළේය. මුලින්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කිහිප දෙනකු මඩාටුගම දැරියගේ නිවසට ගොන් ප‍්‍රකාශ සටහන් කර ගත් අතර ඔක්තෝබර් 30 වැනි දා දෙපාර්ශවයම මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා විමර්ශනයක් පැවැත්වීය.

එම පැමිණිලි විභාගයේදී වින්දිත දැරිය කොමිසම හමුවේ මෙසේ කීවාය.

‘‘ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් 3 වැනි දා පාසලේ උත්සවයක් තිබුණා. එදා   පාසලෙන් කෑම දෙන බව කියා තිබුණා. එනිසා උදේ ආහාරය නොගෙන මම පාසලට ගියා. උදේ 10 වන විටත් කෑම නොදුන් නිසා බඩගින්නට වමනය ගියා. එතනට ආපු ටීචර්ලා ‘මෙයාට සුදු පාටට වමනය යන්නේ බබෙක් හම්බ වෙන්නද දන්නේ නෑ’ කිව්වා. පන්තිබාර ගුරුතුමිය ඇහුවා ‘ඇයි වමනේ දැම්මේ?’ කියලා. ‘උදේට කාලා ආවේ නෑ.’ කියලා මම කිව්වා.  ඉන් පස්සේ චීටර්ලා කීප දෙනෙක් මාව එක්කගෙන පරණ පුස්තකාලයට ගියා. ගිහින් මගෙන් ඇහුවා දරුවෙන් ලැබෙන්න ඉන්නවද? පේ‍්‍රම සම්බන්ධයක් තියෙනවද කියලා.

ඔක්තෝබර් 11 වැනි දා ගුරුවරයකු සහ නියෝජ්‍ය විදුහල්පතිනිය මාව විදුහල්පති කාමරයට ගෙන්නුවා. ‘තමුසෙට බබෙක් ලැබෙන්න ඉන්නවා නම් ඇයි ඉස්කෝලේ එන්නේ? තමුසේ හින්දා අනෙක් ළමයි හදා ගන්න බැහැ. අනෙක් ළමයින්ගේ දෙමාපියන් ආවාම අපිට උත්තර දෙන්න බෑ.’ කියලා බැන්නා. ඒක බොරු කියලා  ඕන නම් වෛද්‍යවරයෙක් හමුවෙන්න යමු කියලා මම කිව්වා. ‘අපිට  ඕවට වෙලාවක් නෑ. හෙට අම්මයි තාත්තයි එක්කන් එන්න.’ කියලා විදුහල්පතිනිය කිව්වා. එදාම මම අම්මයි තාත්තයි දැනුම්වත් කළා.

පහුවදා මම පාසල් ගියා. උදේ 10.15ට විතර සර් කෙනෙක් මට කාර්යාලය පැත්තට එන්න කියලා අතින් කිව්වා. ඒ අනුව මම කාර්යාලයට යද්දී අම්මයි තාත්තයි කාර්යාලයේ ඉන්නවා දැක්කා. අර සර් ‘අස්වීම දෙන්ඩ  ඕනෑ.’ කියලා අම්මටයි තාත්තටයි කිව්වා. ඒ දෙන්නම අඬනවා මම දැක්කා. මම අස්වීමත් අරගෙන ගුරුවරුන් ඔක්කොටම ආචාර කරලා ගෙදර ගියා. සාමාන්‍ය පෙළ විභාගය ලියලා හොඳින් සමත් වෙන්න මම කැමතියි.’’

ඒ දැරිය මානව හිමිකම් කොමිෂන් සභාවට කී කතාවයි. එතැන් සිට කතා කළේ දැරියගේ පියාය. ඔහු මෙසේ ද කියා තිබිණි.

‘12 වෙනිදා විදුහල්පතිනිය හමුවෙන්න  ඕන කම තිබ්බා. කුලී වැඩ ඉවර කරලා විදුහල්පතිනිය හමුවෙන්න යන්නයි හිතාගෙන හිටියේ. පාසලේ ගුරුවරයෙකුගෙන් උදේ 10ට විතර දුරකතන ඇමතුමක් ආවා පාසලට එන්න කියලා. ඒ අනුව බිරිඳ සමඟ පාසල ගියා. ඒ ගුරුවරයා කිව්වා දුව ගැබ්ගෙන තියෙනවා කියලා. ඒ සර් ලියලා තිබ්බ ලියුමකට අත්සන් කරන්න කියලා අපිට කිව්වා. මට කියවිමේ හැකියාව අඩුයි. ඒ නිසා ඒ ලිපියට අත්සන් කළා. බිරිඳ ඉස්කෝලෙන් ඉල්ලූවා දුව වෛද්‍යවරයකුට ඉදිරිපත් කරලා ඉන් පස්සේ ඇය වරදක් කරලයි කියලා ඔප්පු වුණොත් අස් කරන්න කියලා.

‘අපිට ඉස්පිරිතාල ගානේ යන්න වෙලාවක් නෑ. මේ ලියුමට අත්සන් කරන්න.’ කියලා සර් කිව්වා. ඒ වෙලාවේ දුවයි බිරිඳහි හඩා වැටුණා ඉස්කෝලෙන් අස් කරන්න එපා කියලා. ඉන් පස්සේ අර සර් අස්වීමේ ලියුම බිරිඳට දුන්නා. බිරිඳ දුවට කිව්වා විදුහල්පතිතුමියට වඳින්න කියලා. ‘උඹේ වැඳුම් එපා’ කියලා විදුහල්පතිනිය කිව්වා. ඉන්පසු පාසලේ සියලූම ගුරුවරුන්ට ආචාර කරලා දුවයි අපියි පාසලෙන් පිටවුණා.

ඊට පස්සේ දවසේ 13 වැනි දා ගමේ වෛද්‍යවරයා ගාවට දුව එක්කගෙන ගියා. වෛද්‍යවරයාගෙ උපදෙස් අනුව එදා රාත‍්‍රී 7.30ට විතර දඹුල්ල රෝහලට දුව එක්කගෙන ගියා. පසුව දුවව රෝහලේ වාට්ටු අංක 08ට ඇතුළත් කළා. ඉන් පස්සේ 15 වෙනිදා වෛද්‍යවරුන් කිව්වා දුවට කිසිම කරදරයක් වෙලා නැහැ කියලා. 22 වැනිදා මාතලේ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාටත් යොමු කරලා ආයෙත් දඹුල්ල රෝහලට ගෙනාවා. ඔක්තෝබර් 23 වෙනිදා රෝහලෙන් පිටවෙලා දුව එක්කගෙන ආවා. 

මානව හිමිකම් පරීක්ෂණයට කොළඹ එන්න එපා කියලා දුරකතන ඇමතුම් වලින් තර්ජන ආවා. පිරිසක් ගෙදරටම ඇවිත් කිව්වා යන්න එපා කියලා. ’’

ඒ දැරියගේ පියාගේ කතාවයි.

ගුරුවන් යනු දරුවන්දේ දෙවැනි අම්මා සහ තාත්තා ලෙස ප‍්‍රකට කතාවක් ඇත. ඒ දෙවැනි අම්මා සහ තාත්තා එසේ නැතිනම් පාසලේදී දරුවන්ගේ දෙමාපියන්ගේ හැසිරීම ගැන මේ දෙදෙනාගේම ප‍්‍රකාශ වලින් මනාව තහවුරු වෙයි.

මානව හිමිකම් පරීක්ෂණයේදී හිටපු විදුහල්පතිනිය කියා ඇත්තේ වෙනස්ම කතාවකි.

1-0 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවිය පෙම්වතෙක් සමඟ සිනමා ශාලාවකට ගොස් ඇති බවට පාසල් දිරියන් තිදෙනකු පන්තිභාර ගුරුවරියට දන්වා ඇති බවත්, ඒ අනුව කළබල නොවී විමර්ශනයක් කරන ලෙස පන්තිභාර ගුරුවරියට උපදෙස් දුන් බවත්, ඒ අනුව විනය කමිටුව පරීක්ෂණයක් කර ඇති බවත්, ඉන් පසු දැරියගේ පෙම්වතා සිසුවියකට තර්ජනය කිරීමේ සිද්ධියක් නිසා දැරිය යළි විනය කමිටුවට කැඳවූ බවත් විදුහල්පතිනිය මානව හිමිකම් කොමිෂන් සභාවට කියා තිබේ.

ඒ ගැන දැනුම්වත් කිරීමට දෙමාපියන් කැඳවූ අවස්ථාවේ දෙමාපියන් ආවේගශීලීව හැසිරී දැරිය මහනුවර පාසලකට ඇතුළත් කරන බව කියා අස්වීම ඉල්ලූ බව ද විදුහල්පතිනිය කියා ඇත.

විදුහල්පතිනිය එසේ කීවද වමනය ගැන සිදුවීම සත්‍යයක් බව පන්තිභාර ගුරුවරියගේ ප‍්‍රකාශයෙක් තහවුරු වෙයි. සිසුවියගේ පන්තිභාර ගුරුවරිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා විමර්ශනයේ දී කියා ඇත්තේ ඔක්තෝබර් 3 වැනි දා සිසුවියට වමනය ගොස් ඇති බව දැනගන්නට ලැබුණු බවයි. ‘උදේ කෑම කාලද ආවේ? මොනවා හරි අසනීපයක් තියෙනවද?’ කියා තමා විමසූ විට ‘කෑම කාලා ආවේ නැහැ’ යැයි ඇය පිළිතුරු දුන් බවත්, ඉන් පසු තමා ආපන ශාලාවෙන් කෙටි කෑමක් සහ තේ ලබා දුන් බවත් පන්ති භාර ගුරුවරිය කියා තිබේ.

ඉන්පසු ඔක්තෝබර් නව වැනි දා තෙක් ඇය පාසලට නොපැමිණි බවත්, දැරියට බබෙක් ලැබෙන්නට සිටින බව ඇගේ මිතුරියන් තමාට දැන්වූ බවත්, තමා එය විදුහල්පතිනියට දැනුම් දුන් බවත්, මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට විදුහල්පතිනිය උපදෙස් දුන් බවත් පන්තිභාර ගුරුවරිය කියා ඇත.

දෙමාපියන් පාසලට කැඳවූ පසු මෙම දැරිය ගැබ්ගෙන ඇති බව විදුහල්පතිනිය කියා ඇති බව ද, මීට පෙරත් විනය ගැටලූ ඇති නිසා දැරිය පරිවාස ගත කිරීමට සිදුවන බව විදුහල්පතිනිය කියා ඇති බව ද, ඒ අවස්ථාවේ දෙමාපියන් ආවේගශීලීව දැරිය පාසලෙන් අස්කර ගෙන ගෙදර තබා ගැනීම අස්වීම දෙන ලෙස ඉල්ලා ඇති බව ද පන්තිභාර ගුරුවරිය කියා තිබිණි.

මේ කතාවේදී මෙතෙක් වේලා ‘සර්’ කෙනෙක් ගැන කතා කළේය. ඒ ‘සර්’ පාසලේ උපදේශන ගුරුවරයාය. උපදේශන ගුරුවරයා මානව හිමිකම් කොමිසම හමුවේ කියා ඇත්තේ දැරිය ගැබ් ගෙන ඇති බවට වෙනත් සිසුවියන් තිදෙනකු කරන ප‍්‍රකාශය ගැන සොයා බලන ලෙස විදුහල්පතිනිය දැනුම් දුන් බවයි. ඒ අනුව පරීක්ෂණයක් කළ බවත්, දැරිය ගැබ්ගෙන නැති බව තහවුරු වුවත් ඒ බව කිසිවකුට නොකී බවත්, දැරියගේ දෙමාපියන් ගෙන්වා දැනුම්වත් කළ යුතු බව විනය කමිටුවේදී තීරණය වූ බවත්, ඒ අනුව විදුහල්පතිනියගේ උපදෙස් මත දෙමාපියන් ගෙන්වීමට ඇමතුම් ගත් බවත් ගුරුවරයා කියා තිබිණි.

සියලූ දෙනාගේ දීර්ඝ ප‍්‍රකාශ ගැන අවධානය යොමු කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවසානයේ නිරීක්ෂණය කර ඇත්තේ දැරිය සම්බන්ධ විනය කටයුතු නිසි ක‍්‍රමවේදයට අනුව සිදුවී නැති බවයි.

වමනය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් සිසුවියක ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් ඉවත් කිරීම නිසා මඩාටුගම ශ‍්‍රී රේවත විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය, උපදේශන ගුරුවරයා, විනය මණ්ඩලය සහ පන්තිභාර ගුරුවරිය ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කළේය.

එලෙස කටයුතු කළ හිටපු විදුහල්පතිනිය ඇතුළු පිරිසට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා එහි නිර්දේශ මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙස එම කොමිසම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට නිර්දේශ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ චක‍්‍රලේඛ අනුව දැරිය සම්බන්ධ විනය පරීක්ෂණ පාසලෙන් පවත්වා නැති බවත්, විනය මණ්ඩලය අත්තනෝමතිකව එකම දිනයක රැස්වී ඉතාම හදිසියේ දැරිය පාසලෙන් ඉවත් කිරීමේ තීන්දුව ගෙන ඇති බවත් කොමිසම නිරීක්ෂණය කර ඇත. දැරිය පාසලෙන් ඉවත් කර ගත්තේ දෙමාපියන්ගේ කැමැත්තෙන් බව වගඋත්තරකරුවන් කීවද, දෙමාපියන් දැරිය ඉවත් කර ගෙන ඇත්තේ විදුහල්පතිනිය, විනය මණ්ඩලය සහ උපදේශන ගුරුවරයාගෙන් ඇති වූ බලපෑම නිසා බව ද, උපදේශන ගුරුවරයා විසින් ලියා දෙන ලද ලිපියකට දෙමාපියන්ගේ ඌන සාක්ෂරතාවය සහ අසරණකම නිසා දෙමාපියන් අත්සන් තබා ඇති බව ද මානව හිමිකම්  කොමිසම සඳහන් කරයි.

ගුරුවරුන් යනු ශිෂ්‍යයන්ගේ ස්ථානීය දෙමාපියන් නම් වූ නීතිමය සංකල්පය අනුව ශිෂ්‍යයන්ගේ සුබ සිද්ධියට හේතුවන අයුරින් කටයුතු කිරීමට ගුරුවරුන් බැඳී සිටින බවත්, මෙම සිද්ධියේදී පාසල් උපදේශන ගුරුභවතාගෙන් එම කාර්ය භාරය සිදුවී නැති බවත් කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබේ. පාසලක ප‍්‍රධාන පරිපාලනමය නිලධාරිනිය වන විදුහල්පතිවරිය අධ්‍යාපන අමාත්‍යංශ චක‍්‍රලේඛ ගැන සැලකීමකින් තොරව අත්තනෝමතිකව ක‍්‍රියා කර ඇති බව ද කොමිෂන් සභාවේ අවධානයට ලක් වී ඇත.

මේ අනුව විදුහල්පතිනිය, විනය මණ්ඩලය, උපදේශන ගුරුවරයා සහ පන්තිභාර ගුරුවරිය ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ජේදයේ 11 වැනි ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ‘‘කිසිම තැනැත්තු වධ හිංසාවන්ට හෝ කෘර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය.’’ යන වගන්තිය සහ 12 (1) ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ‘‘නීතිය පසිඳලීම සහ ක‍්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුතුය.’’ යන්න උල්ලංඝණය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

දැරිය මේ වන විට වෙනත් පාසලක අධ්‍යාපනය ලබන බැවින් ඇය වඩාත් කැමැත්ත දක්වන්නේ දැනට ඉගෙනුම ලබන පාසලටද එසේත් නැතිනම් කළින් අධ්‍යාපන ලැබූ මඩාටුගම ශ්‍රී රේවත විද්‍යාලයටද යන්න විමසන ලෙස පළාත් අධ්‍යාපන ලේකම්වරයාට නිර්දේශ කර ඇති කොමිසම, දැරිය රේවත විද්‍යාලයට කැමති නම් දින 14ක් ඇතුළත දැරිය ඊට ඇතුළත් කිරීමට ද නිර්දේශ කර ඇත.

දැරිය රේවත විද්‍යාලයට ඇතුළත් කළහොත් නැවත ගැටලූවක් ඇති නොවීමේ පසු බිමක් සෑදීමේ ගැන විදුහල්පති වගකිව යුතු බව ද කොමිසම නිර්දේශ කර තිබේ.

සිසුවකුගේ බරපතල විනය කරුණක් සම්බන්ධයෙන් සාක්කි කැඳවා විනය පරීක්ෂණයක් කරන්නේ නම් පාසලෙන් පරිබාහිරව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හෝ නියෝජිතයකු ඉදිරියේ සිදු කළ යුතු බවත්, දරුවකු විනය ක‍්‍රියාමාර්ගයකට මුහුණ දුන් විට පාසලේදී යම් අගතියක් සිදුවන්නේ ද යන්න කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිරීක්ෂණය කළ යුතු බවත්, එවැනි කරුණක් අනාවරණය වන්නේ නම් ඒ ගැන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දැනුම්වත් කළ යුතු බවත්  අධ්‍යාපන අමාත්‍යංශයට පොදු නිර්දේශ නිකුත් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව කියයි.

දඬුවම් දීමේ ක‍්‍රියාදාමයේ අරමුණ විය යුත්තේ දරුවකු නිසි මගට ගැනීමට මිස දරුවාගේ අනාගතය අඳුරු කිරීමේ අරමුණින් නොවන බව අවධාරණය කරන මානව හිමිකම් කොමිසම පාසල් විනය පවත්වාගෙන යෑම සඳහා වූ අධ්‍යාපන අමාත්‍යංශ 12/2016 චක‍්‍රලේඛය සංශෝධනය කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට නිර්දේශ කර තිබේ.

දරුවන් සම්බන්ධයෙන් මෙවැනි තීරණ ගත් පළමු අවස්ථාව මෙය නොවේ. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවකු පාසලෙන් ඉවත් කිරීම ගැන මෙවැනිම සිද්ධිය මීට වසරකට පමණ පෙර වාර්තා විය. ඒ ගැන ද විමර්ශන සිදු කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කළේ සිසුවා පාසලෙන් ඉවත් කිරීම වැරදි බවයි. දරුවා වහාම යළි පාසලට ඇතුළත් කර ගන්නා ලෙස කොමිසම නිර්දේශ කළ අතර ඒ අනුව සිසුවා යළි පාසලට ගැනීමට බලධාරීන්ට සිදු විය.

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් මීට මාස එක හමාරකට පමණ පෙර යළිත් එවැනිම සිද්ධියක් වාර්තා විය. ඒ පේ‍්‍රම සම්බන්ධතාවක් ඇතැයි කියමින් සිසුවකු පාසලෙන් ඉවත් කිරීමකි. ඒ ගැන මාධ්‍යවල පළ වීමත් සමඟ සිසුවා යළිත් පාසලට ඇතුළත් කර ගත්තේය. ඒ සම්බන්ධ මානව හිමිකම් පරීක්ෂණය තවම අවසන් වී නැත.  විදුහල්පතිටගේ අක‍්‍රමිකතා ගැන ප‍්‍රසිද්ධියේ කතා කළැයි සිසුවකුට උසස් පෙළ ලිවීමට ඉඩ නොදීමේ සිදුවීමක් ද මීට වසර දෙකකට පමණ පෙර වාර්තා විය.

මෙවැනි කතා කොතෙක් වාර්තා වුවද ඊට නැවතීමක් තැබෙන බවක් පෙනෙන්නට නැත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර තිබූ එක් කරුනක් යළිත් සිහිපත් කිරීම වටී. එනම් ගුරු විදුහල්පතිවරුන් සිටින්නේ සිසුන් යහමඟට ගැනීමට මිස සිසුන් අමාරුවේ දැමීමට නොවන බවයි. සිසුන් වැරදි කරනවා නම් ඔවුන් නිවැරදි කරවීම ගුරු විදුහගල්පතිවරුන්ගේ වගකීමකි.