දුප්පත්කමේ අඩියටම වැටුණූ රටක්


ලෝක බැංකුව කියන හැටියට ආසියාවේ දුප්පත්ම රටවල් අතර ලංකාවට හිමි වී තිබෙන්නේ 20 වැනි ස්ථානයයි. ආසියාවේ රටවල් අතරින් දුප්පත්කම අතින් ඉහළින්ම සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි. 2020 දී එරට ඒකපුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 500 කි. 2020 දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 3,720 කි. 2020 දී මාලදිවයිනේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 6,830 කි. ඒ අනුව ලංකාව දුප්පත්කම අතින් මාලදිවයිනටත් වඩා පොහොසත්ය.

නැතහොත් දුප්පත්කම අතින් මාලදිවයින ලංකාවට වඩා පහළින් සිටියි. ලෝක බැංකුවේ පෙළගැස්ම අනුව ලංකාව දුප්පත්කම අතින් ආසියාවෙන් 20 වැනි ස්ථානය හිමි කරගනිද්දී මාලදිවයින හිමිකරගෙන සිටින්නේ 28 වැනි ස්ථානයයි. අවධාරණය කළ යුතු කාරණය වන්නේ මේ සංඛ්‍යා දත්ත 2022 හෝ 2023 වසරවලට අදාළ දත්ත නොව 2020 වසරට අදාළ දත්ත බවය.

2022 වසර අවසන් වෙද්දී ලංකාවේ ඒක පුද්ගල දල ජාතික ආදායම ඇමෙරිකන් ඩොලර් 3,388 ක් දක්වා අඩුවෙයි. 2020 දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 3,720 කි. ඒ අනුව අවුරුදු දෙකක් ඇතුළත දී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 332 කින් අඩු වී තිබේ. ඒ නිසා ආසියාවේ දුප්පත්ම රටවල් අතර ලංකාවට හිමි ස්ථානය තවත් ඉහළ යයි. 2022 දී ඒක පුද්ගල දල ජාතික ආදායම ඇමෙරිකන් ඩොලර් 3,430 ක් වූ පිලිපීනයට හිමි වී තිබුණේ 18 වැනි  ස්ථානයයි. ඒ අනුව මේ 2023 දී ලංකාවට හිමිවන්නේ 20 වැනි ස්ථානය නොව 18 වැනි තැනටත් ඉහළ ස්ථානයක් බව පැහැදිලිය. හේතුව ලංකාවේ ආර්ථික බංකොලොත්භාවය නිසා ජනතාවගේ ආදායම දිගින් දිගටම කඩා වැටීමය. 

ලංකාව හැර ආසන්න අනෙක් රටවල තිබෙන්නේ ආර්ථික වර්ධනයකි. පිලිපීනය, වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දියාව ආදී සෑම රටකම පවතින්නේ ධන ආර්ථික වර්ධනයකි. ඒ අනුව ඒ රටවල නිෂ්පාදනය ඉහළ යයි. ඒකපුද්ගල ආදායමත් වර්ධනය වෙයි. කර්මාන්ත ශාලා, වැසී සේවකයන්ට රැකියා අහිමිවීම සහ රැකියා කරන නොකරන කාගේත් ආදායම් පහළ යාම හේතුවෙන් දුප්පත්කම අතින් ලංකාව ඇෆ්ගනිස්ථානයට කිට්ටු වෙයි.

ලෝක බැංකුවම කියන හැටියට 2019 දී සියයට 11.3 ක්ව තිබූ ලංකාවේ දිළිඳුකම 2022 වන විට සියයට 25 දක්වා ඉහළ ගොසිනි. ඒ අනුව ලංකාවේ දුප්පතුන් සංඛ්‍යාව දෙගුණ වී තිබේ. රටේ ජනගහනයෙන් සියයට 25 ක් කියන්නේ ලක්ෂ 55 කි. ලංකාවේ ජනගහනය ලක්ෂ 220 කි. ඉන් ලක්ෂ 55 ක දිනක ආදායම ඇමෙරිකන් ඩොලර් 3.65 කට අඩුය. රුපියල්වලින් නම් දවසක ආදායම රුපියල් 1,084 කට අඩුය. ලෝක බැංකුව දුප්පතුන් ලෙස සලකන්නේ දවසක ආදායම ඇමෙරිකන් ඩොලර් 3.65 කට අඩු පුද්ගලයන් සහ පවුල්ය.

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ලංකාවේ දුප්පත් පවුල් සංඛ්‍යාව 14,98,649 කි.  ඒ පවුලවලට අයත් සාමාජිකයන් සංඛ්‍යාව දළ වශයෙන් 59,94,596 කි. ඒ අනුව ලංකාවේ සැබෑ දුප්පතුන් සංඛ්‍යාව ලෝක බැංකුව කියනවාටත් වඩා වැඩිය. ලෝක බැංකුව කියන්නේ  ජනගහනයෙන් සියයට 25 ක් හෙවත් ලක්ෂ 55 ක ජනතාවක් දුප්පත්කමින් පෙළෙන බවය. එහෙත් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 55ක් නොව ලක්ෂ 60කි.

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2021 දී වාර්තා කළ ආකාරයට 2021 දී ලංකාවේ දුප්පත් පවුල් සංඛ්‍යාව 7,84,000කි. එය 2023 දී ලක්ෂ 15 ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ නිසා සමෘද්ධි සහනාධාර වැනි රටේ සුබසාධන වියදම් ඉහළ නැංවීමට රජයට සිදුවෙයි. 2021 දී සමෘද්ධි සහනාධාර සඳහා වෙන්කළ මුදල රුපියල් බිලියන 55කි. 2022 දී එය බිලියන 121 ක් දක්වා වැඩි කර තිබේ.

2023 දී එය බිලියන 140 සිට 150ක් අතර වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති. ඒ අනුව සමෘද්ධි සහනාධාරය පමණක් රුපියල් බිලියන 95කින් වැඩි වෙයි. එය විශාල වියදමකි. ඒ වියදමට කර ගැසිය යුත්තේ බදු ගෙවන ජනතාව මිස නාස්තිය දූෂණය ඉහළ නංවන දේශපාලකයන් සහ අකාර්යක්ෂම හා නිසි ඵලදායිතාවක් නැති රාජ්‍ය සේවකයන් නොවේ.

ඍජු හා වක්‍ර බදු දැනටත් උපරිම මට්ටමක් දක්වා ඉහළ නංවා තිබෙන නිසා රජයේ වියදම් පියවා ගැනීමට තව තවත් ණය ගැනීමට සිදුවෙයි. එමගින් රට දැනටත් වඩා බංකොළොත් තත්ත්වයකට තල්ලුවෙයි. ණය නොගෙන සල්ලි අච්චුගැසීමෙන් මුදල් රැස් කර ගත්තොත් උද්ධමනය ඉහළ යයි.

උද්ධමනය ඉහළ යාමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල තවත් ඉහළ යාමෙන් තවත් වටයකින් දුප්පතුන් සංඛ්‍යාව ඉහළ යයි, වර්ධනය වෙයි. රටේ දැනටත් පවතින්නේ ආදායම් අඩුවෙමින් වියදම් වැඩි වන තත්ත්වයකි. දුප්පතුන් සංඛ්‍යාව ඉහළ යන්නේ එමගිනි. එසේ දුප්පතුන් ගොඩට එකතු වන්නෝ දවසකට රුපියල් 1,084කට වැඩි ආදායමක් උපයන පුද්ගලයෝය. පවුල් පිටින් එසේ දුප්පතුන්ගොඩට වැටීමෙන් ඔවුනට ඇතිවන මානසික පීඩනය කිසිවකුට මුදලින් තක්සේරු කළ නොහැකිය.

දුප්පත්කම නිසා ඔවුනට තම වියදම් අඩු කිරීමට සිදුවෙයි. වියදම් අඩු කිරීමට නම් පරිභෝජනය අඩු කළ යුතු වෙයි. දැනට මස්, මාළු, කරවල, බිත්තර කන අයට ඒවා අතහැර සෝයා මීට් කෑමට සිදුවෙයි. එසේම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කරන වියදම් සේම ලෙඩ රෝගවලට ප්‍රතිකාර සඳහා කරන වියදම් අවම කිරීමටද සිදුවෙයි. ඒ සියල්ල අවසානයේ රටේ මන්දපෝෂණය ඉහළ යයි. රෝගී ජනගහනය ඉහළ යයි. එමගින් රටේ සෞඛ්‍ය සඳහා වන රජයේ වියදම් ඉහළ යයි. මානව සම්පත් සංවර්ධනය පහළ යයි. එමගින් කාර්යක්ෂමතාව හා ඵලදායිතාව පහළ යයි. ඒ ජනතාවට හොඳ රැකියාවක් සොයා ගැනීමට තිබෙන ඉඩ ඇහිරී යයි. ඒ තත්ත්වය අවුරුද්දකින් දෙකකින් සමනය නොවී දසක ගණනාවක් පවතියි.

මානව සම්පත් සංවර්ධනය පහළ ගොස් ශ්‍රම බලකායේ ගුණාත්මක බව පහළ යාම ඉතාමත් අහිතකරය. ලංකාවට විදේශ ආයෝජන පැමිණීමට රටේ ශ්‍රම බලකායේ නිපුණතාද හේතුවිය.

ශ්‍රම බලකායේ උගත්කම, තේරුම් ගැනීමේ හැකියාව, නිර්මාණශීලී බව, ව්‍යවහාර ඥානය, නවොත්පාදන හැකියාව, සෞඛ්‍ය සම්පන්න බව යනාදිය පහළ වැටුණොත් ලංකාවේ ශ්‍රම බලකායට ලොව පුරා තිබෙන පිළිගැනීම අහෝසි වෙයි.

එසේ වීම විදේශ ආයෝජකයන් නොපැමිණීමට හේතු වෙයි. මානව සම්පත් දර්ශක කඩා වැටෙයි. ඒ සියල්ල නිසා රට ලෝකයේ කුණු මුල්ලකට තල්ලුවීමේ අවදානම ඉතා ඉහළය.

2021 දී ලංකාවේ මුළු දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් බිලියන 88.5කි. 2022 එය ඩොලර් බිලියන 77.1ක් දක්වා ඩොලර් බිලියන 11.4කින් කඩා වැටෙයි. එසේ වූයේ රටේ නිෂ්පාදනය අඩුවීම නිසාය. ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 3,720 සිට 3,388ක් දක්වා පහත වැටෙන්නේද එබැවිනි. 2020ට පෙර ලංකාව පැවැතියේ මැදි ආදායම් ලබන රටක් ලෙසය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේ ලංකාව පහළ ආදායම් ලබන  රටක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙයි.

මේ සියල්ලේ යටි අරමුණු ඇතැයි කෙනකුට සැක පහළ  විය හැකිය. එනම් රටේ ආර්ථිකය කඩා වට්ටවා දුප්පත් රටවලට දෙන ජාත්‍යන්තර ණය ලබා ගැනීමය. ඒ ණය දෙන්නේ අඩු පොලියකටය. එහෙත් වැඩි ණය මුදලකි.දුප්පත් රටක් ලෙස දිගුකාලීන ණය ගෙන රටේ ණය බර තව තවත් ඉහළ නංවා රට තව තවත් බංකොළොත් කරවා ලෝක බලවතුන් අභියස රට දණගැස්සීම ඒ යටි අරමුණය කියා කෙනකුට සැක කළ හැකිය. හේතුව ලංකාව රටක් ලෙස බංකොලොත් වුණා නොව බංකොලොත් කළ බව ජාත්‍යන්තරයේ පිළිගැනීමයි. ලංකාවේ ආර්ථික අපරාධකරුවන් සිටින තවත් ඔවුනට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කියන්නේ එහෙයිනි. පාලකයන් විසින් රට බංකොලොත් කරනු ලැබූ බව දන්නා ණය දෙන ජාත්‍යන්තර සංවිධාන සහ රටවල් අඩු පොලියකට දිගු කාලීන ණය දෙනු ඇතැයිද යන්න සැක සහිතය.

ලංකාවේ දුප්පත්කම ඉහළ යාමත් සමග ජනගහයෙන් සියයට 68ක් පමණ අනුභව කරන ආහාර ප්‍රමාණය අඩුකර තිබෙන බව ලෝක බැංකුව කියයි. කෑම කන වේල් ගණන අඩු කිරීමෙන් හා මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය අඩු කිරීමෙන් ජනතාව ඒ තත්ත්වයට වැටී සිටින බව ලෝක බැංකුවේ නිරීක්ෂණයයි.

පරිභෝජනය එසේ අඩු කිරීම නිසා 2021 දී සියයට 7.4ක් වූ ලංකාවේ මන්දපෝෂණය 2022 දී සියයට 9.4ක් දක්වා වර්ධනය වී තිබෙන බව ලෝක බැංකුව හෙළි කරයි. පරිභෝජනය සහ මන්දපෝෂණය ඉහළ යද්දී ආදායම් විසමතාව ඉහළ ගොසිනි. 2019 දි ලංකාවේ සමස්ත ආදායම් අසමානතාව සියයට 37.7කි. 2022 දී එය සියයට 39.8 කි. සාමාන්‍ය ස්වභාවය විය යුත්තේ ආදායම් විසමතාව ඉහළ නොගොස් පහළ වැටීමය. එහෙත් වී තිබෙන්නේ එහි කණපිටය.

ලංකාවේ මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 57කි. ඒ අතරින් ඉහළම ආදායම් ලබන හෙවත් ධනවත්ම පවුල් සියයට 20 රටේ සමස්ත ආදායමෙන් හෙවත් දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 51.3. ක් අනුභව කරති.  ඒ සියයට 20ට අයිති පවුල් සංඛ්‍යාව ලක්ෂ 11කි. රටේ දුප්පත්ම පවුල් සියයට 20 හෙවත් දුප්පත්ම පවුල් ලක්ෂ 11ට භුක්ති විඳීමට ලැබෙන්නේ රටේ සමස්ත ආදායමෙන් සියයට 4.6කි. ඒ ලස්සනය කියන ලංකාවේ ජාතික ආදායම් බෙදී යන අවලස්සන ස්වරූපයයි. දුප්පතුන් සංඛ්‍යාව ඉහළ යාම මගින් 2023 සිට ඉදිරියට ආදායම් බෙදීයාමේ විසමතාව තවත් වර්ධනය වනු නිසැක බව ආර්ථික විශ්ලේෂකයන්ගේ පුරෝකතනයයි.

රටේ මුළු දළ ජාතික නිෂ්පාදිතය 2021 සිට 2022 වන විට එනම් අවුරුද්දක් ඇතුළතදී ඇමෙරිකන් ඩොලර් බිලියන 11.4කින් කඩා වැටී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරි අවුරුදු හතරටම දෙන බව කියන්නේ ඩොලර් බිලියන 2.9කි. ණය මත නොයැපී රට ඇතුළේ නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමේ වැදගත්කම ඒ ඉලක්කම් සංසන්ධනයෙන් මැනවින් අවබෝධ කරගත හැකිය.

ඒක පුද්ගල ආදායම ඉහළ නංවාගෙන දුප්පත්කමින් නැගිටින්නට හැකියාව ලැබෙන්නේ නිෂ්පාදන කර්මාන්තවලට ඔක්ෂිජන් සැපයීමෙනි. එහෙත් අදටත් වන්නේ නිෂ්පාදන කර්මාන්ත වැසීයාමය. දැනට රැකියා කරන අයටත් රැකියා සහ ආදායම් මාර්ග අහිමිවීමය. එහි කෙළවර කුමක්දැයි ඉතා පැහැදිලිය.

සටහන ගුණසිංහ හේරත්