දුප්පතාට හිතවාදී අයවැයක්


පාර්ලිමේන්තුවට සඳුදා ඉදිරිපත් කරන ලද 2024 වසර සඳහා වූ අයවැය ලේඛනය පිළිබඳව සාකච්ඡා කළ හැකි වන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව ද සැලකිල්ල දක්වමිනි.

විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් 12 වැනි දින බංකොළොත්භාවය ප්‍රකාශට පත් කළ අතර මේ වන විට ඊට මාස 19ක් ගත වී තිබේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ගිවිසුමක් අත්සන් කළ ද තවමත් බංකොළොත්භාවයෙන් අත්මිදීමට හැකි වී නැත. නැවත ණය ගෙවීමට හැකි වූ පසු බංකොළොත්භාවයෙන් අත්මිදෙන අතර තවමත් ඒ සඳහා වූ කාල නියමයක් ඇති කර ගැනීමට හැකි වී නැත.

අනෙක් කරුණ කොරෝනාවෙන් පසු ශ්‍රී ලංකාව අත්විඳිමින් සිටින ආර්ථික පරිහානියයි. 2019 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඍණ 0.2ක් විය. 2020 වසරේ එය ඍණ 4.6ක් විය. 2021 වසරේ දී 3.5ක ධන වර්ධනයක් හිමිකර ගැනීමට හැකි වුවද 2021 වසරේ දී වර්ධන වේගය ඍණ 7.8ක් විය. මේ වසරේ දී ද වර්ධන වේගය ඍණ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක අතකින් බංකොළොත්භාවයත් තවත් අතකින් දැවැන්ත ආර්ථික පරිහානියකුත් අත්විඳිමින් සිටින රටකට ආර්ථිකය සම්බන්ධයෙන් එම තත්ත්වයෙන් අත්මිදී අලු‍ත් ගමනක් ආරම්භ කිරීමට සිදුවන්නේ කවදාද යන්න නිශ්චය කර ගැනීමට හැකියාවක් නැත.

එසේ වුවද මේ වසරේ අයවැය ලේඛනය දෙස බලන විට මෙතෙක් නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත පටන්ගෙන, කෘෂිකාර්මික අංශය, කාර්මික අංශය සහ සේවා අංශවල නව ව්‍යාපෘති ක්‍රියාත්මක කර ජාත්‍යන්තරයේ සිදුවන ආර්ථික සමාජීය සහ තාක්ෂණික වෙනස්කම්වලට අනුකූල වන ආකාරයෙන් රටේ ආර්ථිකය ද හැඩ ගැස්වීමට යෝජනා වී තිබීම හැඳින්විය හැක්කේ තරමක ප්‍රාතිහාර්යයක් වශයෙනි.

එයට හේතුව නව ආර්ථික සැලසුම් කෙසේ වෙතත් බංකොළොත් බවින් අත්මිදීම පමණක් වුව ද විස්මිත කරුණක් ලෙස සමහර අය සලකන බැවිනි. සමහරෙකුගේ අදහස වී ඇත්තේ ශ්‍රී ලංකාව අලු‍ත් ආර්ථික ගමනක් යෑම කෙසේ වෙතත් බංකොළොත් වීමට පෙර පැවති තත්ත්වයට නැවත ළංවීම පවා සිදුවිය නොහැක්කක් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා ලෙස අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුලින්ම ප්‍රකාශ කළේ සුරංගනා කතා කියමින් දේශපාලනඥයන් විසින් මහජනතාව රැවටීමත්, මුදල් ණයට ගෙන කෙටි කාලීන දේශපාලන අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීමට ක්‍රියා කිරීමත් හේතුවෙන් රට ආර්ථික වශයෙන් පසුබැසීමට ලක්ව ඇතිව තිබෙන බවයි.

එබැවින් මේ දක්වා අනුගමනය කළ එවැනි ක්‍රියා පිළිවෙත් වලින්  බැහැරව ආර්ථිකය ජය ගැනීමේ සැබෑ අරමුණෙන් සියලු‍ දෙනාම එකතුව නව ගමනක් ආරම්භ කළ යුතු බවයි. එවැනි ගමනක් සඳහා අවශ්‍ය ආකාරයේ ආර්ථිකයේ සියලු‍ අංශවල වෙනස්කම් ඇති කෙරෙන යෝජනා සහ ඒ සඳහා වන ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා මෙම අයවැය ලේඛනය මගින් කටයුතු කර තිබේ.

බොහෝ දෙනකුගේ අවධානය යොමුව ඇත්තේ මෙවර අයවැය ලේඛනය මගින් අඩු ආදායම්ලාභී දිළිඳු කොටස්වලත් මධ්‍යම පන්තිය දක්වා කොටස්වලත් ආර්ථික පීඩනය අවම කිරීම සඳහා ගෙන ඇති සහන සැලසීමේ ක්‍රියාමාර්ග කෙරෙහිය. රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කර තිබේ.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ රාජ්‍ය සේවකයන්ට මේ ආකාරයට ඉහළම වැටුප් වැඩිවීමක් ලබාදුන් දෙවැනි අවස්ථාව මෙය වේ. 2016 වර්ෂයේ දී අග්‍රාමාත්‍යවරයා ලෙස  රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් වැඩි කර එය මූලික වැටුපට එකතු කිරීම හේතුවෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉතා ඉහළ මට්ටමකට පත් විය.

මෙවර එම ප්‍රමාණයෙන්ම වැටුප් වැඩිකර ඇති අතර එය ජීවන වියදම් දීමනාවට එකතු කර තිබේ. ජීවන වියදම් දීමනාවට එකතු කළ විට උපයන විට බදු ගෙවීම් සඳහා එය අදාළ කරගනු නොලැබේ. රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.3කි. ඒ හා සම්බන්ධ පවුල් සංඛ්‍යාවකට එම වැඩිවීම භුක්ති විඳීමට ඉඩ සැලසේ යැයි සිතමි.

විශ්‍රාමිකයන්ගේ වැටුප මසකට රුපියල් 2500කින් වැඩිකර ඇති අතර ප්‍රතිලාභ ලැබෙන පවුල් සංඛ්‍යාව 730,000ක් පමණ වේ. ආබාධිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවමින් සිටි රුපියල් 5000ක දීමනාව රුපියල් 7500 දක්වා වැඩි කර තිබේ. ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව 130,000කි. රජයේ නිවාස කුලියට ගෙන ජීවත් වන නාගරික ප්‍රදේශවල පුද්ගලයන් 50,000කගේ ගෙවල් කුලිය අහෝසි කර ඔවුනට එම නිවාසවල හිමිකම ලබාදීමට කටයුතු කර තිබේ.

ඉහත සඳහන් සහනාධාර ක්‍රම වලින් ප්‍රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව 2,210,000කි. ඒ අනුව දිළිදු සහ මාධ්‍යම පාන්තික පවුල් විශාල සංඛ්‍යාවකට සැලකිය යුතු සහනයක් හිමි වන බව පැහැදිලි වේ. එබැවින් මෙම අයවැය හඳින්විය හැක්කේ දුගී ජන සහන සැලසෙන අයවැයක් ලෙසය.

නව මහ බැංකු පනතට අනුව රජයට මුදල් අච්චු ගැසීමට නොහැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම අනුව රජයට අධික ලෙස මුදල් ණයට ගැනීමට ද නොහැකිය. එසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට ද පිළිගත හැකි අයුරින් සහ ඒවායින් විරෝධතාවක් ඉදිරිපත් නොවන ආකාරයට ඉහත සඳහන් සහන සැලසීමට හැකිව තිබේ. එයට හේතුව දිළිඳු හා මධ්‍යම පාන්තික ජන කොටස්වලට මේ අවස්ථාවේ දී සහන සැලසීමේ අවශ්‍යතාව ඒත්තු ගැන්වීමට රජයට හැකි වීමයි.

අයවැය ලේඛනයට එරෙහිව විවිධ පාර්ශවවලින් විවිධ විවේචන එල්ල වී තිබේ. එය පසුගිය අයවැය ලේඛනයේම කාබන් කොපියක් යැයි සමහරු පෙන්වා දී ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එය හඳුන්වා දී තිබුණේ ‘සට කපට නරි නාඩගමක් වැනි සිල්ලර අයවැයක්’ බවය. ණය ගැනීම, විකිණීම සහ මුදල් අච්චු ගැසීම  රනිල්ගේ එකම මාවත බව අයවැය ගැන සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබුණි.

එසේ වුව ද මෙම අර්බුදකාරී අවස්ථාවේ ශ්‍රී ලංකාව බංකොළොත් බවින් බේරා ගැනීමට ණය ලබාදීම මගින් උදව් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව ලැබෙන ආකාරයේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කර තිබීම අතිශය විශේෂ කරුණක් බව සඳහන් කළ යුතුව ඇත.

ඇතැමුන් හඳුන්වන ආකාරයේ ‘මැතිවරණ අයවැයක්’ ඉදිරිපත් කිරීමට මේ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවක් ලැබෙන්නේ නැත. එහෙත් දිළිඳුකම පිටු දැකීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය වීමත් රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවල පවත්නා විද්‍යාත්මක ස්වරූපයත් හේතුවෙන් එම යෝජනාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විරෝධතාවක් එල්ල වී නැති බව පෙනේ.

කොරෝනා සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා දමන ලද මහා පරිමාණ ව්‍යාපෘති ද ඇතුළුව අනෙකුත් සියලු‍ම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කටයුතු කර ඇත. ණය ප්‍රතිව්‍යූහකරණයෙන් පසු මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු විශාල ව්‍යාපෘති ද ඊට පෙර ග්‍රාමීය මාර්ග සහ පාලම් ගොඩනැගීම් වැනි ව්‍යාපෘති ද ආරම්භ කෙරෙනු ඇත. නවතා දමා ඇති අනෙකුත් මහා මාර්ග යෝජනා ක්‍රම ද ක්‍රියාවට නැංවෙනු ඇත.

අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා ගෙන ඇති යෝජනා ක්‍රම ඉතා වැදගත්ය. රජයේ විශ්වවිද්‍යාලවල වැඩි දියුණුව සඳහා නව ව්‍යාපෘති වෙනුවෙන් මුදල් වෙන් කර ඇති අතර පෞද්ගලික විශ්වවිද්‍යාල කිහිපයක් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය නීතිරීති ගෙන ඒමට ද යෝජනා කර තිබේ. අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති අතර සෞඛ්‍ය අංශයේ ගැටලු‍ විසඳීම සඳහා ද ඒ ආකාරයෙන්ම යෝජනා ඉදිරිපත් කර මූල්‍ය සම්පත් ද වෙන් කර තිබේ.

අයවැය යෝජනා නිරීක්ෂණය කරන විට පැහැදිලි වන මූලික කරුණක් වන්නේ ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් වැදගත් වන සියලු‍ම අංශවල වෙනස්කම් සඳහා වූ යෝජනා එමගින් ඉදිරිපත් කර ඇති බවයි. ආවරණය නොකළ විෂයක් නැති තරම්ය. ණය ප්‍රතිව්‍යූහගතකරණය, මූල්‍ය අංශයේ ස්ථායීකරණය, ප්‍රවාහන ක්ෂේත්‍ර, අවතැන් ජනතාවගේ ප්‍රශ්න, කාන්තාවන් සවිබල ගැන්වීම, කෘෂිකර්මය, කර්මාන්ත, ධීවර සහ ආයෝජන අංශ ආදිය මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය වැනි කටයුතු  පිළිබඳ යෝජනා ද එයට ඇතුළත් කර තිබේ. විපක්ෂයේ බොහෝ අය චෝදනා කර තිබුණේ යෝජනා ඉදිරිපත් කර තිබුණත් රජයේ ආදායම් ඉලක්ක පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බැවින් ඒවා ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැකි බවයි.

තෙල් පෝලිම් නැති වී දැන් ඕනෑම කෙනකුට අවශ්‍ය තරම් තෙල් මිලදී ගැනීමට හැකියාව ලැබී තිබේ. ගෑස් පෝලිම් නැවතී ඇත. විදුලිය කැපීමක් දැන් සිදුවන්නේම නැත. භාණ්ඩ ආනයන සීමා ඉවත් කර ඇත. එක කලක මෙම ගැටලු‍ විසඳීමට හැකිවේ දැයි විපක්ෂය විසින් ප්‍රශ්න කර තිබූ ආකාරය බොහෝ දෙනකුට මතක ඇතැයි සිතමි. එහෙත් ගැටලු‍ සියල්ල විසඳී ඇත. ජනතාවගේ බලාපොරොත්තුව වී ඇත්තේ අයවැය ලේඛනයෙන් රජය විසින් යෝජනා කර ඇති සියල්ල ඒ අයුරින්ම ඉටුවනු දැකීමයි.

(***)