දූෂණ මර්දනයට එන පනත නාමමාත්‍රයට සීමා නොකරනු


දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත අප්‍රේල් මස අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබෝදා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

දූෂණය, වංචාව ඇතුළු ඉහළම මට්ටමින් සිදුකෙරෙන සොරකම් නැවැත්වීම සඳහා අවශ්‍ය නීති සම්පාදනයට කිසිවකුටත් විරුද්ධ විය නොහැක. එවැනි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට එයට සහයෝගය ලබාදී පනතේ කිසියම් හෝ අඩුපාඩුවක් තිබේ නම් ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කර පනත සම්මත කරගැනීමට සියලු‍ මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතුය. එවැනි පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම ප්‍රශ්නයක් වනු ඇතැයි අපි නොසිතමු.

එහෙත් නිසැකවම ගැටලු‍ මතුවන්නේ එවැනි පනතක් ක්‍රියාත්මක කිරීමට යාමේදීය. විශේෂයෙන් බලවත් පුද්ගලයකුට එරෙහිව මෙවැනි පනතක් යොදාගැනීමේ දී නීතිය ක්‍රියාත්මක කරවන පුද්ගලයන් මුහුණදෙන ප්‍රායෝගික දුෂ්කරතා පිළිබඳ අපට තිබෙන අවබෝධය හේතුවෙන් එසේ කීමට අපි මැලි නොවෙමු.

අපේ රටේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය දූෂණ සහ වංචා සමඟ එකට බැඳී පැවතීම රටට මහත් කැළලකි. එය කොතරම් බරපතළ ගැටලු‍වක් වී දැයි කිවහොත් රටේ ආර්ථිකයට යන්තමින් හෝ හුස්ම ගැනීමට ඉඩක් සැලසූ මූල්‍ය අරමුදලේ ණය සහනය ලබාදීමේදී රටේ පවතින දූෂණ සහ වංචාව පිටුදැකීමට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත විධිමත් නීතිමය යාන්ත්‍රණයක් සකස් කිරීමද එක් කොන්දේසියක් වශයෙන් හඳුන්වා දී තිබේ.

එය එක් පැත්තකින් මේ රටේ සිදුවූ ආර්ථික කඩා වැටීමට ඉහළම මට්ටමින් සිදුවූ දූෂණ සහ වංචා ද හේතුවූ බවට නිල වශයෙන් පිළිගැනීමක් ලබාදීමකි. ළිඳේ වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ ආ යුතු බවට වන පිරුළට අනුව මෙය ගළපා ගත් විට දූෂණ සහ වංචා හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකයක් යළි ගොඩගැනීමට නම් දූෂණ සහ වංචා දුරු කිරීමකින් තොරව එය සිදුකළ නොහැකි බව පිළිගත යුතුය.

කෙසේ වුවද මේ රටේ පවතින නීති පද්ධතිය තුළ හඳුන්වා දී තිබෙන අල්ලස් හෝ දූෂණ විරෝධී පනත ද දූෂණ සහ වංචා දුරු කිරීමට ඉතා සක්‍රීයව යොදාගත හැකි ශක්තිමත් පනතක් බව මේ රටේ බොහොමයක් නීති විශාරදයන්ගේ පිළිගැනීමය. එහෙත් ගැටලු‍ව වන්නේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදී මුහුණ දීමට සිදුවන තාක්ෂණික සහ ප්‍රායෝගික ගැටලු‍ය. 

තමන්ට අත්පත් කරගත නොහැකි දේපළක් භුක්ති විඳින්නේ කෙසේදැයි සිදුකරන පරීක්ෂණයකට පෙනී සිටින්නැයි අල්ලස් හෝ දූෂණ මර්දන නිලධාරීන් විසින් කරනු ලැබූ කැඳවීමකට පිළිතුරු වශයෙන් තමා නයකුගේ දෂ්ට කිරීමට ලක්වූ බව ප්‍රකාශ කර එයින් ගැලවී යාමට දේශපාලකයකු ක්‍රියා කළ ආකාරය සැමට මතකය.

සිද්ධිය සම්බන්ධයෙන් රටේ මහත් ආන්දෝලනයක් හට ගත්තත් එම චූදිත දේශපාලනඥයා රැකගැනීමට ඉතා බලවත් පුද්ගලයන් ඉදිරිපත් වූ බැවින් එම පරීක්ෂණය එතැනින් නැවතුණි. කොතරම් ශක්තිමත් මුළු ජාත්‍යන්තරයම පිළිගන්නා දූෂණ විරෝධී පනතක් හඳුන්වා දුන්නත් එය ක්‍රියාත්මක වන්නේ ඉහත ආකාරයටම නම් එවැනි පනතක් නමට පමණක් පවතින පනතක් බවට පත්වීම වැළැක්විය නොහැක.

එසේ වුවද යහපාලන ආණ්ඩුව මගින් වඩාත් ශක්තිමත් කරන ලද එම පනත යටතේ ඒ කාලයේදී බරපතළ ගණයේ දූෂණ සහ වංචා කිහිපයක් අල්ලාගෙන එහි වරදකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බවද සඳහන් කළ යුතුය. දූෂණ සහ වංචාවලට එරෙහි පනතක් ක්‍රියාත්මක විය යුත්තේ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පමණක් නොවේ. එය දේශපාලනඥයන්ට එරෙහිවද එකසේ ක්‍රියාත්මක විය යුතුය. මේ රටේ සිදුව ඇති බොහොමයක් බරපතළ ගණයේ වංචා සහ දූෂණ පිටුපස දේශපාලනඥයන් සිටින බව ප්‍රකට රහසක් බැවිනි.

දකුණු ආසියාවේ නොව ලෝකයේ හොඳම දූෂණ සහ වංචා මර්දන පනත සම්මත කරගත්තත් එම පනතින්ද සිදුවන්නේ තෝරු හෝ මෝරුන් බේරා හාල්මැස්සන් පමණක් කොටුකර ගැනීම පමණක් නම් ජනාධිපතිවරයාගේ යහපත් අරමුණු මුදුන්පත් කර ගැනීමට එයින් පිටිවහලක් ලැබෙන්නේ නැත. නව දූෂණ මර්දන පනත එවැනි දුර්වලතා මගහැර සකස් කෙරෙන ශක්තිමත් පනතක් වනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනයයි.

(***)