‘‘දූෂණ විරෝධය’’ හුදු ජනප්‍රිය සටන් පාඨයකි. එය තම තමන්ගේ දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා තමන්ට අවශ්‍ය මාත්‍රාවෙන් වරනගන ලද්දකි. එහෙයින් එම සටන් පාඨයෙන් රටට ලැබුණු අලුත් ජයග්‍රහණ නැත. එහෙයින් විය යුතුව තිබුණේ දේශපාලනඥයන්ගේ කතා සාප්පුවල ‘‘සේල්’’ එකට දමා තිබූ දූෂණ විරෝධී සටන් පාඨය ක්‍රියාත්මක තලයට රැගෙන ඒමය. එහෙත් එය පහසු ක්‍රියාවක් නොවන බව ඒකාන්ත සත්‍යයකි. මන්ද යත් සියල්ලටම වඩා චෞර වළල්ල බලවත් හෙයිනි.
කරුණු කාරණා එපරිදි වුවද දූෂණ විරෝධී මෙන්ම රටට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරන දේශමාමක ජනයාට සතුටු විය හැකි පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ රටේ දූෂණ සහ වංචා නැවැත්වීමට විධි විධාන ඇතුළත් දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඉකුත් 8 වැනිදා ඒකමතිකව සම්මත වූ බවය.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී මීට මාස කිහිපයකට පෙර සම්මත කෙරුණද පනතේ අඩුපාඩු කිහිපයක් හේතුවෙන් එම පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් නැවතත් ඇතුළත් කර අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එය දෙවැනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඒකමතිකව සම්මත වූ බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
මෙරට දේශපාලනය ඇතුළතින් බොහෝ සේ දිරා ගොස් ඇති බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂය. සාමාන්‍ය පොදු සමාජ මතයට අනුව මෙරට දේශපාලනය යනු චෞර කප්පිත්තන්ගේ, මං පහරන්නන්ගේ, තක්කඩියන්ගේ තිප්පොළක් බවට පත්වී තිබේ. එහෙයින්ම එදවස ගරු කටයුතු සමාජ සේවයක් බවට පත්ව තිබූ දේශපාලනය බඩ රස්සාවක් බවට පරිවර්තනය විය. ගරු කටයුතු අවංක මහත්වරුන් සිටියද ඔවුන්ට වඩා චෞරයන්ගේ තත්ත්වය බලවත්ය.
දේශපාලනය මෙන්ම රාජ්‍ය සේවය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිරිසුදු විය යුතුය. මන්දයත් රටේ අනාගතය තීරණය වන්නේ ඔවුන් අතින් බැවිනි. එහෙත් එය එසේ නොවන බව සක්සුදක් සේ පැහැදිලිය. එබඳු පරිහානියකට දේශපාලනයත්, රාජ්‍ය සේවයත් පත් වූයේ කෙසේද යන්න විමසිය යුතුය.
හේතුවකින් තොරව ඵලයක් හට නොගනී. දේශපාලනය නරා වළක් බවට පත්වීමට පවතින මැතිවරණ ක්‍රමයත් හේතුවී තිබේ. පෙර පැවැති මැතිවරණ ක්‍රමය තුළ පාර්ලිමේන්තුවට ගියේ ගම හඳුනන, ගමේ ජනතාවගේ ප්‍රශ්න දන්නා ‘‘ගමේ එකෙකි.’’ එහෙත් සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ අපේක්ෂකයකුට දිස්ත්‍රික්කයක්ම ආවරණය කිරීමට සිදුවී තිබේ. ඒ සඳහා මහ ධන නිධානයක් වැය කළ යුතුය. අවසානයේදී පාර්ලිමේන්තු වරම හිමිවන්නේ එම මහ ධන නිධානය වැය කළ හැකි අයට පමණි.
පාර්ලිමේන්තුවට තේරී පත්වූ දිනයේ සිට බොහෝ අයගේ අපේක්ෂාව වනුයේ වියහියදම් කළ මුදල් සොයා ගැනීමය. ඒ වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහයද දේශපාලන බලයේ අනුහසින් ලබා ගනී. දේශපාලනයත්, රාජ්‍ය සේවයත් විනාශ වන්නේ එසේය.
මෙම සැහැසි ඉරණමෙන් රට ගලවා ගැනීම අණපනත් මගින් පමණක් කළ නොහැකිය. එම තත්ත්වයට බලපාන හේතුද තුරන් කළ යුතුය. හෙට ඉපදීමට සිටින දරුවාත් ලෝකයට ණයකාරයකු බවට පත් කර තිබෙන රටක ඉරණම වෙනස් කළ හැකි වන්නේ එබඳු බලගතු දියුණු මෙහෙයුමකිනි.
(***)