ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරීන් 2022 වසරේ “විස්සයි විස්ස” ලෝක කුසලාන තරඟාවලියේ දී ක්‍රිකට් ආයතනයේ මුදලින් රංගන ශිල්පීනියන් රැගෙන ගිය බවට විද්‍යුත් හා සමාජ මාධ්‍ය මගින් පසුගියදා බරපතළ චෝදනා එල්ල විය. ඒ මේ සම්බන්ධයෙන් වන විගණන විමසුමක් පදනම් කරගෙන ය.
ඔවුන් එම නිළියන් රැගෙන යාමට සාධාරණ හේතුවක් දක්වා නොතිබූ බව වාර්තා වූ අතර, ඔවුන් සඳහා වීසා ඉල්ලා කළ අයැදුම් පතෙහි අදාළ නිලධාරියාට ඇති සම්බන්ධය ලෙස දක්වා තිබුණේ “හිතවතිය” ලෙස ය. අදාළ විමසුමෙහි තව බොහෝ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ බරපතළ චෝදනා ක්‍රිකට් ආයතනය වෙත එල්ල වන බවද වාර්තා වී තිබුණි. ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම චෝදනා සපුරා ප්‍රතික්ෂේප කර තිබේ.
විගණන විමසුමක් යනු අදාළ ආයතනය විසින් බැලූ බැල්මට කරන ලදැයි සිතන වංචා, දූෂණ හෝ අක්‍රමිකතා පිළිබඳ මූලික ප්‍රශ්න කිරීමක් වන අතර, එය අවසන් වාර්තාවක් නොවන බව ද මෙහිදී සැලකිල්ලට ගත යුතු ය. ඇත්ත වශයෙන් ම එකී නළු නිළියන් ක්‍රිකට් ආයතනයේ මුදලින් විදේශ සංචාර සඳහා රැගෙන යාමට සාධාරණ හේතු එම නිලධාරීන්ට තිබීමට ද පිළිවන. එසේ නොමැති නම්, එහි දී තම පෞද්ගලික ධනය වැය කළා ද විය හැකිය.
ක්‍රිකට් ක්‍රීඩාව මෙරට ජනප්‍රියම ක්‍රීඩාව වීමත් සමගම ඊට මහජන අවධානය ද වැඩි විය.
ඒ අනුව, කෙන්ද කන්ද වීම් ද සිදුවිය හැකි ය. එහෙත්, ලංකාවේ ක්‍රිකට් ගැන පසුගිය කාලයේ නැගුණ චෝදනා ද සුළුපටු නොවේ. ලංකාවේ සිටි අද්විතීය ක්‍රිකට් තරුවක් මෙන්ම අනභිබවනීය නායකයකු ද වන අර්ජුන රණතුංග 2022 වසරේ දී ඉන්දියානු මාධ්‍යට පවසා තිබුණේ ලංකාවේ ආයතන අතරින් දූෂිතම ආයතනය ක්‍රිකට් බවයි. විශේෂයෙන් ම, එම ආයතනයේ නිලවරණ ක්‍රියාවලිය අභියෝගයට ලක්කර තිබූ හිටපු නායකයා, එය ක්‍රිකට් සංගම් 143 හෝ 144කට අල්ලස් දීමක් පමණක් බව ද පවසා ඇත. 2015 වසරේ සිට මෙම දූෂිත ක්‍රියාවලිය ආරම්භ වූ බව ද රණතුංග මහතා ප්‍රකාශ කර තිබුණි.
ඉහත චෝදනාවල සත්‍ය අසත්‍යතාව කිසිවකුට නිශ්චිතව කිව නොහැක. විනිවිද පෙනෙන සුළු පරීක්ෂණයකින් විභාග කොට එය රටට පෙන්වා දිය හැකි ය. එහෙත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වීම සඳහා බලයලත් ආයතනය කුමක්ද යන්න ගැන ද පැහැදිලිතාවක් නැති වීම අභාග්‍යකි. පසුගිය දා හිටපු කෝප් කමිටු සභාපතිවරයකු පවසා තිබුණේ ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තු බලය බරපතළ ලෙස සැලකිල්ලට නොගන්නා බවයි. එනම් ඔවුන් රාජ්‍ය මුදල් මත යැපෙන ආයතනයක් නොවන බැවින් රාජ්‍ය විගණනයට ලක්වීමේ අවශ්‍යතාවක් නැත, යන්න ඔවුන්ගේ අදහස වූ බව ඔහු අදහස් කර තිබුණි.
ක්‍රිකට් ආයතනය මගින් 2022 අගෝස්තු 29 වැනි දාතමින් යුතුව, තමාට එල්ල වන දූෂණ චෝදනා පිළිබඳ පිළිතුරු සපයන නිල නිවේදනයක ද පැහැදිලිව සඳහන් වන්නේ, තමන් වියදම් කරන්නේ තමා විසින් උපයන මුදල් බවත්, රාජ්‍ය මුදල් තමා විසින් ලබා නොගන්නා බවත් ය. ඉන් ගම්‍ය වන්නේ “තමාගේ බිස්නස් ගැන ප්‍රශ්න කිරීම කිසිවකුට කළ නොහැකි බවත් ඒවා තමාට රුචි පරිදි කරගෙන යාමට ඉඩ දෙනු” යන්න ද විය හැකි ය. ඒ කෙසේ වෙතත්, ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ස්වාධීන බව පිළිබඳව ප්‍රකාශය තාක්ෂණිකව සත්‍ය විය හැකි වුවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය අයත් වන්නේ මෙරට ක්‍රිකට් ලෝලී ජනතාවට බව පැහැදිලිව කිව යුතුය. තමාගේ නොමද අනුග්‍රහය හා අනුරාගික බව මතින් ගොඩනැගුණු ක්‍රිකට් පිළිබඳ දැන ගැනීමේ හා ප්‍රශ්න කිරීමේ බලය ජනතාවට තිබිය යුතු ය.
මේ අතර, ආන්දෝලනයට ලක්ව ඇති වත්මන් විගණන විමසුම මගින් ගම්‍ය වන්නේ, අදාළ ආයතනය රාජ්‍ය විගණනයට බඳුන් වී ඇති බව වන නිසා එය තරමක හෝ පැටලුණු නූල්බෝලය නැවත ලිහා ගැනීමේ ලකුණු පෙන්වන්නකි.
වර්තමානයේ ලංකාවේ ක්‍රිකට් පිළිබඳ ඇත්තේ අඳුරු සිතුවමකි. එහි ස්වර්ණමය යුගය නැවත අපට බලා ගැනීමට නොමැති සෙයකි. අද ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීම සඳහා ද ලෝකයේ ක්‍රිකට් ආධුනිකයන් සමග තරඟ කිරීමට ලංකාවට සිදුව ඇත. 1996 ලෝක කුසලානය දිනාගත්, එමෙන්ම 2011 වසරේ දී අනුශූරතාව දිනාගත් කණ්ඩායමක වර්තමාන තත්ත්වය එසේය. ක්‍රිකට් ආයතනය ස්වාධීනව පාලනය වන හා උපයාගත් මුදලින් යැපෙන එකක් බවට වහසි බස් කීව ද, මුදල් නැති, ක්‍රීඩකයන් තම කනකර උගස් කර සපත්තු දෙක ගෙන ක්‍රීඩා කරමින් එදා පෙන් වූ ලොව හෙල්ලූ දස්කම් පෙන්වීමට මුදලින් මහත් සේ ආඪ්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් අසමත්ව ඇත්තේ මන්ද? මෙය ක්‍රිකට් ආයතනයේ සියලු නිලධාරීන් තම හෘදය සාක්ෂියෙන් විමසා බැලිය යුත්තකි.
ක්‍රිකට් පිළිබඳ පසුගිය කාලය පුරාවට එල්ල වූ අනෙක් චෝදනාව නම්, එය කිසියම් ආගමික කල්ලියක ග්‍රහණයට ලක්ව ඇති බවකි. මෙම ආගමික කල්ලිය විසින් ක්‍රීඩකයන් තේරීම සම්බන්ධයෙන් පවා බලපෑම් එල්ල වන බව වාර්තා වී තිබුණි. අදාළ ආගමික කල්ලියට බැඳුණු පිරිස්වලට දක්ෂකම් තිබුණ ද නැත ද තරඟ සඳහා සහභාගී විය හැකි බවත්, සෙසු අය කුමන දක්ෂකම් දැක්වූව ද “කැපෙන” බවටත් චෝදනා එල්ල විය.
එක්තරා ක්‍රීඩකයකු එළිපිට ම මෙම ආගමික කණ්ඩායමේ ප්‍රචාරක වැඩසටහනක පෙනී සිටිමින් කියා සිටියේ, තම අවසන් හයේ පහර එල්ල කිරීමට හැකි වූයේ ආදළ ආගමික විස්වාසය නිසා බවයි. එවැනිම ප්‍රකාශයක්, ලංකාව විසින් නිම වූ විශිෂ්ටතම ක්‍රිකට් තරුවකගේ බිරිඳ විසින් ද සිදුකර තිබුණි. ඇත්ත වශයෙන් ම එම දක්ෂ ක්‍රීඩකයාගේ සම්පූර්ණ ක්‍රිකට් කුශලතාව බිරිඳගේ ප්‍රකාශය මගින් හෑල්ලු විය.
ලංකාවේ තමා කැමති ආගමක් ඇදහීමේ අයිතිය සියලු දෙනා සතු මූලික අයිතිවාසිකමකි. අප එය හබ කරන්නේ නැත. කෙසේ වෙතත්, එම නිදහස රටේ ප්‍රමුඛතම සන්නාමය දූෂණය කිරීම සඳහා හා එය අවභාවිතා කිරීම සඳහා යොදා ගන්නේ නම් එය ගැටලුවකි. මන්ද අවසානයේ ක්‍රිකට් ගරා වැටෙන විට එහි අපකීර්තීය කඩා පාත්වන්නේ මෙරට ජනතාව මත විනා “දෙවියන් වහන්සේලා” මතට නොවේ.
මේ සියලු දෙයින් කියා පාන කරුණු දෙකක් තිබේ. එකක් නම් ඊනියා ස්වාධීන ආයතන ලෙස පවතින ආයතන, ස්වාධීන නොවන ආයතන ලෙස හංවඩු ගසා ඇති ආයතනවලට වඩා දූෂිත බව ජනතාව සිතන බව ය. අනෙත් කරුණ නම්, සාමාන්‍යයෙන් පොදු මතය වන ‘‘දේශපාලකයන් හොරුය’’ යන ලේබලයෙන් ආවරණය ලබමින් නිලධාරී පැලැන්තිය සමග යමරෙට හොරකම් හා දූෂණවල නියැළෙන බවයි. මේ අනුව බලන විට, ආයතන “ස්වාධීන කිරීම පිළිබඳ ඉල්ලුම” ඇත්ත වශයෙන් ම රටකට අතිශය හානිකර ද විය හැකි ය. අප සාමාන්‍යයෙන් ස්වාධීන ලෙස සිතන්නේ රජයේ සම්බන්ධය නොමැති හෝ එම සම්බන්ධය අවම ආයතනයන් ය. ප්‍රශ්නය මතු වන්නේ, එකී ආයතන කිසිවකුට වග නොකියන තැන ය.
ආයතනයක් තම ස්වාධීන මුද්‍රාවට යටත් ව, එය එම ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ගේ රුචි අරුචිකම් මත පාලනය වන්නක් නම් හා එම ආයතනය කිසිදු ආකාරයක සංවරණ හා තුළන හරහා පරීක්ෂාවට භාජන නොවන්නේ නම්, එහි ඇති ස්වාධීනකමේ අරුත කුමක්ද? ඇත්ත වශයෙන්ම යමක් සැබෑ ලෙසම ස්වාධීන වීම යනු, එම ආයතනය ඊට ඉහළින් ඇති ආයතනයකට වගවීම (accountable) ය. එහෙත් ලංකාවේ “ස්වාධීන සංවාදය” තුළ මෙම වගවීමේ කොටස හැලී ඇත. ඒ අනුව, ස්වාධීන ආයතන හුදු පවුලේ ව්‍යාපාර බවට පත්ව තිබේ. මේ ගැන දැනුවත් මහජන කතිකාවක් අවශ්‍ය වේ.
දේශපාලකයන් පමණක් දූෂිතය යන්න තවත් පැතිරුණු මතයකි. එහෙත් ඇත්ත වශයෙන් ම, දේශපාලකයන් හොරුය යන ලේබලය හා ඝෝෂාව යටතේ රටේ අන් සියලු අංශවල හොරකම් හා දූෂණ වසා දමා තිබේද? විශේෂයෙන්ම නිලධාරි තන්ත්‍රයේ දූෂණ හා බලය අවභාවිතා කිරීම් මහජන සංවාද තුළ මතුවන්නේ නැති තරම් ය. මෙය අපගේ සිවිල් සමාජයේ ම පවතින දුබලතාවකි. ඊට තමා පෙළන සැබෑ ප්‍රශ්න හා ඒවාහි නිධන්ගත රෝග පිළිබඳ අවබෝධයක් නැත.
වර්තමානයේ මහජන සංවාදය තුළ විශාල භූමිකාවක් කරන සමාජ මාධ්‍යයට ද මේ ගැන අවබෝධයක් නැත. ඔවුන් ළඟචූන් පරම්පරාවකි. වැදගත් සංවාද මතුපිටට ගෙන කතාකොට සැලකිය යුතු බලපෑමක් කිරීම තුළින් ඒවා වෙනස් කිරීම පිළිබඳ කාරණයේ දී සමාජ මාධ්‍ය බාධකයක් වී ඇති සෙයකි.
මේ සියල්ල මගින් කියවෙන්නේ, අප රටේ විවිධ මට්ටමේ පවතින දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ කතා කිරීම පමණක් නොව, ඒවා කතා කරන මාදිලිය ගැන පවා මතුව තිබෙන අභියෝගයයි. මේවා ගැන දැනුවත් පුරවැසියා ස්වකීය දේශපාලන මතිමතාන්තර පසෙක තබා අවංක සංවාදයක යෙදීම අත්‍යාවශ්‍ය බව යෝජනා කරමි. ප්‍රංශ චින්තකයකු වූ ජැක් ඩෙරීඩා වරක් පවසා සිටියේ, තම විසංයෝජන ව්‍යාපෘතියේ දී තමන්ට එල්ල වන ප්‍රබලතම බලපෑම වන්නේ භාෂාව බවයි.
ඊට හේතුව, විසංයෝජනයට ලක් කරනු ලබන ඉතිහාසයම භාෂාව හරහා පෙනී සිටින හෙයින්, එය ඉක්මවා අපගේ ඉතිහාසය දෙස විමර්ශනාත්මක වීමේ අන් ක්‍රමයක් නොමැති වීමයි. තතු එසේ තිබියදීත්, විසංයෝජනය කරන දෙය මතම අප නැවත නැවතත් පතිත වන අනතුර දැක දැක පවා එම උත්සාහය අත් නොහැරිය යුතු බව ඩෙරීඩාගේ නිගමනය වූවේ ය. ඒ අනුව, දූෂණය පිළිබඳ සංවාදය විවිධ අභියෝගවලට ලක්ව තිබුණ ද එය හැකි හැම වෙරම යොදා ඉදිරියට ගෙන යාම එකම විකල්පය වේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ