දූෂණය පිටුදකින්න අවියක්


මෙරට තුළ මහජන මුදල් අවභාවිතය සහ දූෂණය පිළිබඳව කතිකාව අන් කවරදාටත් වඩා වැඩි බරකින් නැවතත් කරළියට පැමිණ තිබේ. විශේෂයෙන්ම පෙනී යන කාරණයක් වන්නේ පසුගිය වසරේ සිදුවූ දේශපාලන වෙනස්කම් සමගින් මේ තත්ත්වය වඩාත් සංකීර්ණ තලයකට පැමිණ ඇති බව ය.

රට පාලනය කළ ප්‍රධාන පක්ෂ හා කණ්ඩායම් කිසිවෙක් ‘හොරුන්ට දඬුවම් නොදෙනු ඇතැයි’ බොහෝ අය සිතන බව ද පැහැදිලිව පෙනෙන්නට පටන්ගෙන තිබේ. ජවිපෙ ඇතුළු සමහරුන්ගේ ප්‍රධාන සටන් පාඨය බවට ‘හොරුන්ට දඬුවම් කිරීම’ පත්වී තිබෙන්නේ මෙම සන්දර්භය තුළ ය. 

මේ කතිකාව තුළින් පෙනී යන්නේ රාජ්‍ය දේපොළ අවභාවිතය සහ දූෂණය සම්බන්ධ සටන් පාඨය මීළඟ මැතිවරණවලදී ප්‍රධාන තැනක් ගන්නා බව ය. රටේ ආර්ථික බංකොළොත්භාවයට හේතු ගණනාවක් ම ඇති බව සැබෑවක් ය. ඒ අතර මූලික හේතුවක් වන්නේ වැරැදි ආර්ථික ප්‍රතිපත්ති මත රටේ ආර්ථිකය හැසිරවීම ය. එසේම දූෂණය සහ මූල්‍ය අවභාවිතය ද මේ අතර ඉතාමත් තීරණාත්මක කාරණයක් බව සැබෑවක්ය. හොරුන් ඇල්ලීමෙන් පමණක් ආර්ථිකය ප්‍රතිසංස්කරණය සිදුවන්නේ නැති නමුත් රටේ ආර්ථිකය නිවැරැදි මගට ගැනීමේ දී හොරුන් හා දූෂිතයන් සම්බන්ධව ශක්තිමත් තීරණයක් ගැනීමත් අත්‍යවශ්‍ය ය.

මා මේ පූර්විකාව මෙවර කිවිදා දැක්මට එක් කළේ වැදගත් හේතුවක් නිසා ය. මෙවර මගේ මාතෘකාව වන්නේ රාජ්‍ය මූල්‍ය ක්‍රමවේදය අවභාවිත කරමින් දිගින් දිගටම සිදුවන එක් ගනුදෙනුවක් වූ එල්.එන්.ජී. මිලදී ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීම ය. මේ ප්‍රශ්නය පිළිබඳව පමණක් කථා කිරීම හරහා වුවත් රාජ්‍ය මූල්‍යයේ බරපතළ අවභාවිතයක් පිළිබඳව කරුණු තේරුම් ගත හැකි ය. සමහර අවස්ථාවල මෙවැනි අවභාවිත සිදු කරන්නෝ නිලධාරිහු ය. සමහර අවස්ථාවල ඒවා කරන්නෝ විෂයභාර ඇමැතිවරු ය. තවත් සමහර අවස්ථාවල ඇමැති මණ්ඩලයේ ම ආශිර්වාදයෙන් ය. මේ පැති තුනටම එක ලෙස සම්බන්ධ කාරණයක් ලෙසින් මේ ප්‍රශ්නය තේරුම් ගැනීම වැදගත් ය.

LNG කියන්නේ කුමක්ද? 
මෙහිදී මුලින්ම තේරුම්ගත යුතු කාරණය වන්නේ LNG යනු කුමක්ද කියන එක ය. LNG යන අකුරු තුනෙන් අදහස් කරන්නේ Liquid Natural Gas කියන අදහස ය. එය සිංහලෙන් කියන්නේ ද්‍රව්‍යකෘත ස්වභාවික වායුව කියා ය. මෙම වායුව රටට ආනයනය කළ යුතු දෙයක් වන අතර එය රටකින් වෙනත් රටකට ගෙන යන්නේ ද්‍රව්‍යයක් බවට පත් කිරීමෙන් පසු ය. එසේ ද්‍රව්‍යයක් බවට පත් කර අප රටට ආනයනය කළ යුතු මෙම වායුව රට තුළ ගබඩාකර තබාගෙන නැවත වායුවක් බවට පත්කර විදුලි බලාගාර සඳහා භාවිතා කළ යුතු ය. 

2018-08-12 දින මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති මෙරට විදුලි ජනන සැලැස්ම මගින් 2018-2037 කාලයේ ජනනය සම්බන්ධ උපාය මාර්ග යෝජනා කර ඇත. එම සැලැස්මට අනුව මෙරට විදුලි උත්පාදනය සඳහා වැයවන පිරිවැය අඩුකර ගැනීමේ එක් යෝජනාවක් ලෙසින් ඉදිරිපත් කර ඇත්තේ මෙරට සමහර විදුලි බලාගාර LNG මගින් ක්‍රියාත්මක කරන බලාගාර බවට පරිවර්තනය කිරීම ය.

මෙම ද්‍රව්‍යකෘත කරන ලද (දියරයක් බවට පත් කරන ලද) වායුව ගබඩා කිරීමත් එසේ ගබඩා කිරීමෙන් පසු නැවත වායුවක් බවට පත් කිරීමත් සම්බන්ධව ගත යුතු එක් තීරණයක් වන්නේ අපේ රට තුළ මේ සම්බන්ධව ක්‍රියාකෙරෙන්නේ කෙසේද යන්නය. විදුලිබල ක්ෂේත්‍රයට අදාළව LNG වායුව ගබඩා කිරීමේ ක්‍රම 02ක් භාවිතා කරනු ලැබේ. එයින් එකක් වන්නේ ගොඩබිම ඉදිකරන ගබඩා සහ ප්‍රතිවායුකරණ පද්ධතියක් (Land-based storage and regasification) ගොඩගැනීම ය. අනෙක් ක්‍රමවේදය වන්නේ ජලය මත පාවෙන ගබඩා හා ප්‍රතිවායුකරණ පද්ධතියක් (floating storage and  regasification) ඉදිකිරීමය.

මේ අනුව ලංකාවේ  LNG වායුව ගබඩා කිරීමේ ක්‍රමවේදය ලෙසින් පිළිගෙන ඇත්තේ මවිසින් මෙහි දෙවැනියට කියූ පාවෙන ගබඩා සහ ප්‍රතිවායුකරණ පද්ධතියක් ඉදිකිරීම ය. ඒ සඳහා වෙනමම ඒකකය FSRU යනුවෙන් හඳුන්වනු ලැබේ.

LNG ටෙන්ඩර් පටිපාටිය
මෙම තත්ත්වය තුළ මෙරට තුළ පළමු  LNG බලාගාරය කෙරවලපිටියේ ඉදිකර ඇති අතර එයට අමතරව කැලණිතිස්ස තාප බලාගාරයද  LNG හරහා ක්‍රියාත්මක කරවන ආකාරයෙන් නවීකරණය කිරීමට තීරණය කර ඇත.

මේ අනුව 2021 පෙබරවාරි 18 දින විදුලිබල අමාත්‍යංශය මගින් ඉහත සඳහන් ආකාරයේ  LNG ක්‍රියාදාමය සඳහා ගබඩා සහ ප්‍රතිවායුකරණ පද්ධතියක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත. රටේ  LNG සම්බන්ධ සාකච්ඡාව අලුත් වටයකින් පටන් ගත්තේ මේ ටෙන්ඩර් පටිපාටිය ආරම්භවීමත් සමග ය.

මේ සඳහා මීට පෙර කාලවල ගත් සමහර උත්සාහයන් ද පවතින බව මෙහිදී සටහන් කළ යුතුය. ඒ කියන්නේ 2021 ටෙන්ඩර් දැමීමට පෙර කාලවලදීත් LNG හඳුන්වාදීමට කීප වතාවක්ම උත්සාහ දරා ඇති බව ය. එම අසාර්ථක පැරැණි උත්සාහයන් අතර ජපානය-ඉන්දියා, සමාගම් ඒකාබද්ධවත්, කොරියානු බලශක්ති සමාගම වෙනමමත් සිදුකරන ලද මැදිහත්වීම් වැදගත්ය. එහෙත් ඒවා පිළිබඳව මේ ලිපියෙන් සාකච්ඡා නොකෙරෙන අතර මගේ අවධානය යොමුවන්නේ 2021 ආරම්භ වූ ටෙන්ඩර් පටිපාටිය ගැනය.

නිව් ෆෝට්‍රස් මගඩිය
මා ඉහතින් සඳහන් කළ ටෙන්ඩර් කැඳවීම 2021 ජුනි මස 25 දින අවසන්වී ඇති අතර ටෙන්ඩර් විවෘතය සහ ඇගැයීම් කටයුතු ආරම්භ කෙරී ඇත. රටේ සමහරුන්ගේ මතකයේ ඇති New Fortress සමාගම මෙම ටෙන්ඩරයට ඉදිරිපත්වූ අයකු නොවන අතර එවකට සිටි රජයේ ප්‍රධානියකුගේ බලපෑම මත කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් හරහා මෙම ක්‍රියාවලියට සම්බන්ධ වූයේ ඒ අතරය.

2021 සැප්තැම්බර් 21 දින ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම සමාගම ලංකාවේ ආණ්ඩුවත් සමග එකඟතාවකට පැමිණි බවත් ඒ අනුව කෙරවලපිටියේ යුග දනවි බලාගාරය හරහා මෙගාවොට් 310 විදුලි ධාරිතාවක් නිපදවීමට පාවෙන LNG ප්‍රතිවායුකරණ ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත්ය.

මෙම නිව් ෆෝට්‍රස් ක්‍රියාදාමය රටට පැමිණියේ මිලදී ගැනීම් පටිපාටියෙන් සහ ඒ වනවිට කැඳවා තිබූ ටෙන්ඩර් පටිපාටියෙන් පිටස්තරවය. මෙහිදී සඳහන් කළ යුතු කාරණයක් වන්නේ කැබිනට් මණ්ඩලයට අලුත් ව්‍යාපෘතියක් පිළිගැනීමේ ඉඩක් තිබෙන බව ය. එහෙත් ඒ වනවිට විවෘත ටෙන්ඩර් ක්‍රමයට රජය විසින් සිදු කරමින් යන මිලදී ගැනීමක් සිදුවෙමින් පවතින අවස්ථාවක කැබිනට් මණ්ඩලය විසින් එම කාර්යයට ම වෙනත් මිලදී ගැනීමක් හෝ වෙනත් එකඟතාවක් අනුමත කිරීම ඉතාමත් නුසුදුසු හා ප්‍රශ්න සහගත දෙයක් බව මගේ අදහසයි.

දැන් සිදුවන්නේ කුමක්ද?
මෙම  LNG ගනුදෙනුවේ මීළඟ කොටස් පටන්ගෙන තිබෙන්නේ දැන් ය. ඔබට මතක ඇති පරිදි 2021 පටන්ගත් නිව් ෆෝට්‍රස් ගනුදෙනුව ඒ ආණ්ඩුව කඩා වැටීමත් සමග නිමාවිය. එහෙත් 2021 ආරම්භ කළ ටෙන්ඩර් පටිපාටිය සහ ටෙන්ඩර් ඇගැයීම් කටයුතු විදුලිබල අමාත්‍යංශය යටතේ සිදුවෙමින් පැවතිනි.

අලුත්ම ක්‍රියාවලියක් විදුලිබල ඇමැතිවරයා පටන්ගෙන ඇත්තේ මේ අතර ය. ඔහු විසින් 2023 ජුලි 14 වැනි දින ඉදිරිපත් කරන නව කැබිනට් පත්‍රිකාවකින්  LNG ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය නැවැත්වීමටත් එසේම ලංකාවේ ස්වභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය වෙනස් කිරීමටත් සහ එසේ නව ප්‍රතිපත්තියක් හදන තුරු  LNG ගබඩාකරණය හා ප්‍රතිවායුකරණය ‘වෙනත් රජයක’ සහයෝගය මත සිදු කිරීමටත් යෝජනා කර ඇත. (මේ කියන ‘වෙනත් රජය’ යනු පසුගියදා ඉන්දියාවත් සමග අත්සන් කළ ගිවිසුම් මගින් ඉදිරිපත්වූ යෝජනාවක් බව ඉතාමත් පැහැදිලි ය.) ඒ සඳහා නව කැබිනට් පත්‍රිකාවක් සහ නව ට්විටර් පණිවිඩයක් ඉදිරියේ නිකුත් කිරීමට ඉඩ ඇති බව ඉතාමත් පැහැදිලි ය.

ආණ්ඩුවේ මේ කැබිනට් පත්‍රිකාව මගින් උත්සාහ කරන්නේ  LNG ටෙන්ඩරය නැවැත්වීම සඳහා වෙනත් ක්‍රමයක් නොමැති නිසා රටේ සමස්ත ස්වභාවික වායු භාවිත ප්‍රතිපත්තිය ම උස්සලා විසි කරන්නටය. ඒ අනුව 2020 අනුමත කළ 2197/27 ගැසට් පත්‍රයේ නිකුත් කළ සමස්ත ප්‍රතිපත්තියම නැවත සමාලෝචනය කරන්නට යෝජනා කර ඇත. නිදිකුම්බා ගසක් ගලවන්නට ඕන නිසා බුල්ඩෝසරයක් දමා සියලු පස් ඉවත් කරනවා වැනි දෙයක් ආණ්ඩුව යෝජනා කරන්නේ ඒ නිසා ය.

කැබිනට් තීරණය සහ නිරීක්ෂණ
මෙම කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ලබාදී ඇති නිරීක්ෂණය මෙහිදී සලකා බැලිය යුතුය. එම නිරීක්ෂණය මගින් විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා කියන්නේ මෙම කාරණය සඳහා දැනටමත් සිදුවෙමින් පවතින ටෙන්ඩර් ක්‍රියාදාමය නැවැත්වීම කළ යුත්තේ ඒ සඳහා පිළිගත හැකි සාධක තිබේනම් සහ එම නැවැත්වීම කළ යුත්තේ වෙනත් කිසිදු විකල්පයක් නොමැති අවසාන තත්ත්වයක් (as a last resort) ලෙසින් බව ය. එහෙත් මේ කැබිනට් පත්‍රිකාවෙන් එවැනි දුෂ්කරතා කිසිවක් වත්මන් ටෙන්ඩර් ක්‍රියාදාමයේ පෙන්නුම් කර නැති බව ද මෙහිදී පැවසිය යුතු ය.

මෙම කැබිනට් පත්‍රිකාව 2023 ජුලි 24 වන දින අනුමත වී ඇති අතර ඒ අනුව කටයුතු කරන්නට පටන්ගෙන ඇත.

මා මේ සටහනින් මතුකරන ප්‍රධාන කාරණයක් වන්නේ රටේ ප්‍රසම්පාදන ක්‍රමවේදය උඩු යටිකුරු කරන්නට විධායකය (කැබිනට් මණ්ඩලය) අවස්ථා 02ක දී ගත් උත්සාහයන්ය. 2021 දී මුදල් ඇමැතිවරයා විසින් ටෙන්ඩර් පටිපාටිය යද්දී නිව් ෆෝට්‍රස් ගෙනාවේය. 2023 විදුලි බල ඇමැතිවරයා ටෙන්ඩර් පටිපාටිය නවත්වා ‘වෙන රටක’ කොම්පැණියක් ගෙනෙන්නට නියමිත ය. අපට හදන්නට තිබෙන්නේ මෙවැනි වූ ‘වැටත් නියරත් ගොයම් කන’ රටක් ය.

මහාචාර්ය චරිත හේරත්