මහා බ්‍රිතාන්‍යයේ මෙන්ම ලෝකයේම වැඩිම කලක් රජ කිරුළ දරා සිටි දෙවැනි එලිසබෙත් මහ රැජින ඉකුත් 8 වැනිදා දිවි සැරිය නිම කළාය. අවුරුදු 96ක් ආයු වළඳා දෙවැනි එලිසබෙත් රැජින ඉන් වසර 70ක්ම මහා බ්‍රිතාන්‍යයේ කිරුළ දැරුවාය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මුළු ලෝකයම සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන විපර්යාසයන්ට ගොදුරු වෙමින් පවතින මොහොතක කිරුළ හිස දැරූ දෙවැනි එලිසබෙත් රැජින එකී විපර්යාසයන්ට මුහුණ දෙමින් නවීකරණය වෙමින් නූතන රාජ්‍ය සංකල්පයට නව අරුතක් එක් කළාය. එහෙයින්ම ඇගේ අභාවය මුළු ලෝකයම කම්පාවට පත් කිරීමට සමත්ය. එකී සංවේගයට පත් ජනී ජනයා සමග ‘ලංකාදීප’යද එක්වන්නේ කෘතවේදීත්වය පෙරටු කර ගනිමිනි.
බලය දූෂණයට මග මෙන්ම වැඩි බලය වැඩි දූෂණයට හේතුව බව දේශපාලන විද්‍යාවේ ප්‍රකට කියමනකි. මහා අධිරාජ්‍යයක සිහසුනට පත්වීම කවර තරාතිරමේ උද්ධච්ඡ භාවයකට එමගින් මහා සාපරාධයන්ට යොමුවීමට ඉඩ තිබේද යන්න දූපත් වැසියන් වූ අපට වටහා ගැනීම අසීරු නැත. එහෙත් දෙවැනි එලිසබෙත් රැජින වඩාත් සුවිශේෂී වන්නේ එමගින් පිටමන්වීම හේතුවෙනි. නිහතමානීකම දෙවැනි එලිසබෙත් රැජින සතු වූ සාඩම්බර පදක්කම විය. ලොව පුරා ජනයාගේ අනන්තාපරිමාණ ගෞරවාදරයට ඇය පත් වූයේද එහෙයිනි.
1926 අප්‍රේල් මස 21 වැනි දින ලන්ඩනයේ සෝපියා හිදී උපත ලද එලිසබෙත් ඇලෙක්සැන්ඩ්රා 1952 වසරේදී සිංහාසනාරූඪ වූවාය. දෙවැනි එලිසබෙත් රැජින කිරුළ පළඳින මොහොත වනවිට මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටියේ දෙවැනි ලෝක යුද්ධයේ වීරයකු ලෙස සම්මානයට පත් ශ්‍රීමත් විල්සන් චර්චිල්ය. එතැන් පටන් අග්‍රාමාත්‍යවරුන් 15 දෙනකුට නායකත්වය දුන්නාය. මහා බ්‍රිතාන්‍ය ශිෂ්ට සම්පන්න මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ලොව පුරා අණසක පැතිරවීමට එම නායකත්වය හේතුබල සම්පන්න වූවාය.
පෘතුගීසීන් හා ලන්දේසීන්ගෙන් පසුව අප රට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්විය. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්වීමෙන් පසුව අප රට සමාජ, ආර්ථික, දේශපාලනික හා සමාජයීය වශයෙන් පුළුල් වෙනස්කම්වලට බඳුන් විය. එතෙක් පැවැති සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමය වෙනුවට වැවිලි ආර්ථිකයක් හඳුන්වා දුන්නේය.
බ්‍රිතාන්‍ය යටත් විජිත පරිපාලනයට වැඩි වශයෙන් ස්වදේශිකයන්ට අවස්ථාව සලසාදීම වෙනුවෙන් එතෙක් පැවැති සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය වෙනුවට ඉංග්‍රීසිය මුල් කරගත් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දුන්නේය. අද අප රටක් වශයෙන් පරිවර්තනය වී ඇත. සියල්ලටම මූලික පදනම බ්‍රිතාන්‍ය පාලනයෙන් හිමි වූවකි. මෙරට ජනයාට සර්වජන ඡන්ද බලය හිමිවීමත් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය උරුමවීමත් මහා බ්‍රිතාන්‍යයේ මැදිහත්වීමය.
1948 පෙබරවාරි 4 වැනිදා අප රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වුවද 1972 වසරේදී පූර්ණ ජන රජයක් බවට පරිවර්තනය වුවද මහා බ්‍රිතාන්‍යය සමඟ තිබූ සබඳතා ගිලිහී නොගියේය. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සාමාජික රටක් ලෙස මහා බ්‍රිතාන්‍යය සමඟ අප රටේ සම්බන්ධතාව තිරසාර විය. දෙවැනි එලිසබෙත් මහ රැජින දෙවරක්ම මෙරට සංචාරය කළාය. මහවැලි මහා ව්‍යාපෘතිය ජනගත වූයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ සුරතිනි.
සිව්වැනි කොවිඩ් එන්නත ලබාගෙන තිබුණද දෙවැනි එලිසබෙත් මහ රැජින කොවිඩ් ආසාදිත වූවාය. වියපත් නමුදු කොවිඩ් ආසාදිත තත්ත්වය බරපතළ නොවූ බවත් වෛද්‍යවරුන් විසි හතර පැය පුරාම රැජින සම්බන්ධයෙන් අවධානයෙන් සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් අයහපත් සෙඛ්‍ය තත්ත්වය හේතුවෙන් මහ රැජින ලන්ඩන් නුවර බකිංහැම් මාලිගයෙන් බැහැරව ස්කොට්ලන්තයේ බැල්මොරුල් මන්දිරයේ කල්ගත කළ බවත් එම මන්දිරය දෙවැනි එලිසබෙත් රැජිනගේ නිවාඩු නිකේතනයක් බවත් සඳහන්ය.
දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් පසු ඇගේ පුත් 73 හැවිරිදි තුන්වැනි චාල්ස් රජු පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්ෂේත්‍ර 14ක රාජ්‍ය නායකයා බවට පත්වෙයි. දෙවැනි එලිසබෙත් රැජින අවසන් සුසුම් හෙළන විට 3 වැනි චාල්ස් රජු රැජින සමීපයේ සිටි බව වාර්තාවේ. තම මවගේ අභාවයෙන් පසුව 3 වැනි චාල්ස් රජු ප්‍රකාශ කර තිබුණේ ‘තම ආදරණීය මවගේ වියෝව ඔහුට සහ ඔහුගේ පවුලේ අයට ඉතා ශෝකජනක මොහොතක් බවත් ඇගේ වියෝව එක්සත් රාජධානියට පමණක් නොව ලොව පුරා රාජ්‍යයන්ට, පොදු රාජ්‍ය මණ්ඩලයට සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත මිනිසුන්ට ගැඹුරින් දැනෙනු ඇති බවත්ය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ද දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පවත්වා සංවේගය පළ කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා මෙරට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹුකර තබන ලෙස දැනුම්දී තිබේ. කෘතවේදී ජාතියක ආධ්‍යාත්මය එසේ ප්‍රදර්ශනයට තබමින් දෙවැනි එලිසබෙත් රැජිනට අපි සමුදෙමු.
(***)